පැරැ­න්නන් දැන සිටි අපි නොදැන සිටි නිල් ක­ටරොළු ගුණ | සිළුමිණ

පැරැ­න්නන් දැන සිටි අපි නොදැන සිටි නිල් ක­ටරොළු ගුණ

සංස්කෘත භාෂාවේ අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් හා ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea ලෙස හඳුනා ගන්නා නිල් කටරොළු ශාකය ආයුර්වේද විද්‍යාවේදී ඉතාම ගුණදායී ඔසුවක් ලෙසද අපේ පැරැන්නන් එහි ඇති ඖෂධීය වටිනාකම දැනගෙන සිටි හෙයින් ද අතීතයේ නිරන්තරයෙන්ම භාවිතයට ගත් ශාකයක් බව පුරාණ පොත පතෙහි සඳහන් වෙයි.

 

නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල්කටරොළු වර්තමානයේ බොහෝ විට බුදුන්ට පූජා කිරීමට, විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම සඳහා ද හින්දු පූජකවරු නවග්‍රහ ශාන්තිය වැනි ශාන්ති කර්මවලට විශේෂයෙන් භාවිතයට ගනී.

ආගමික කටයුතුවලට, ඖෂධ කටයුතුවලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද ඉතාම ප්‍රයෝජනවත් ස්වභාවික වර්ණකාරකයක් ලෙස කටරොළු මල හැඳින්විය හැකිය. අතීතයේ කෘෂි කර්මාන්තයේ කෘමි විකර්ශකයක් ලෙසත් කටරොළු මල් භාවිතයට ගෙන ඇත. එම මල්වල ඇති විශේෂිත ප්‍රෝටීනයක් නිසා කෘමින් විකර්ශක හැකියාවක් ස්වභාවයෙන්ම ලැබී ඇත. වර්තමානයේ ගෙවතු වගාවේදී කටරොළු මල් අලංකාර පුෂ්පයක් ලෙස සැලකෙන අතර කටරොළු පස සරු කරන ශාකයකි. මෙම ශාකයේ ඖෂධීය ගුණාංග මෙන්ම එය භාවිතයට ගත හැකි අයුරු පිළිබඳ වර්තමානයේ බොහෝ දෙනෙක් නොදන්නා බව අනුමාන කළ හැකිය.

 

නිල් කටරොළු ගුණ

ආයුර්වේදයේ මුලික ග්‍රන්ථවල ලියැවී ඇති පරිදි -

රුධිර රෝග, වාත රෝග, දැවිල්ල, ශරීරය ඉදිමුම වැනි රෝග නැසීමට.

ශරීරයේ ඇති විවිධ තුවාල, කුෂ්ඨ ඉක්මනින් සුව කිරීමටත්, තුවාල පිරිසුදු කරන පිරිසුදු කාරකයක් ලෙසත් කටරොළු මල හඳුනා ගැනේ.

කටරොළු තරුණ බව රැකීමේ ඖෂධයක් ලෙසද අතීතයේ ප්‍රසිද්ධය.

මිනිස් රුධිර ගත සීනි මට්ටම සමනය කිරීමට

ශරීරයේ ප්‍රතිඔක්සිකාරක හැකියාව වැඩි කිරීමට

මානසික ආතතියට

ගැස්ට්‍රයිටිස් රෝගය වැනි ආමාශ ගත රෝගවලට

ශරීරයට ඇතුළුවන පරපෝෂිතයන්ට එරෙහිව ක්‍රියා කිරීම

පිළිකා සෛල වර්ධනය වැළැක්වීම

 

කටරොළු ශාකය භාවිතයට ගත හැකි වෙනත් ක්‍රම

විවිධ රටවල්වල කටරොළු කරල් ළපටි කාලයේදී ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගනියි.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් වියළා කුඩු කර දවසට ග්‍රෑම් 2ක ප්‍රමාණයක් උණුවතුරට දමා තම්බා වේල් කීපයක් පානය කිරීම ගුණදායකය.

කටරොළු මුල් වේළා දුම ඇල්ලීමෙන්ද, කටරොළු ශාකයේ මුල්, පත්‍ර, මල් සියල්ලම තම්බා කසායක් ලෙස සකස් කර පානය කිරීමෙන් ද සෙම රෝග නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව ඇත.

කටරොළු මුලෙන් සාදා ගත් කසාය කෘමි සතුන්, සර්පයන් දෂ්ට කළ විටදී පානය කිරීමෙන් විෂ නැසීමේ ගුණය ඇත.

අර්ශස් රෝගීන්ගේ රුධිර ගැලීමේ දී හා අර්ශස් ගෙඩිවලට කටරොළු ශාකය ගලේ අඹරා තලපයක් සාදා ආලේප කිරීමෙන් සුවකර ගත හැකිය.

තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ මිටක් ගෙන තළා එයින් යුෂ බින්දු දෙකක් පමණ නහයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණිකව හිසේ කැක්කුම සුව කරගත හැකිය.

ගර්භාෂ රෝගවලට වගේම ආර්තව වේදනාවට ඉක්මන් සහනයක් ලබා ගැනීමට නිල් කටරොළු මල් කසාය ගුණය.

 

 

 

 

නිල් කටරොළු බීම

අවශ්‍ය ද්‍රව්‍ය -

සොදා ගත් නිල් කටරොළු මල් 5 ක් (එක් අයකුට)

සීනී තේ හැන්දක්

ලුණු ස්වල්පයක්

දෙහි ස්වල්පයක්

උතුරන වතුර වීදුරුවකට නිල් කටරොළු මල් දමා මිශ්‍ර කර විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගත හැකිය. නිල්කටරොළු මල් තැම්බූ වතුර පෙරා එයට සීනි, ලුණු, හා දෙහි ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර ගන්න.

 

නිල් කටරොළු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය -

නිල් කටරොළු යුෂ කෝප්ප 1/2ක්

කැකුළු හාල් කෝප්පයක්

මිටිකිරි කෝප්පයක්

දියකිරි කෝප්ප 4ක්

සුදුලූනු බික් 4-5ක්

ලියාගත් රතුලූනු ගෙඩි 3

ලුණු ස්වල්පයක්

සෝදා ගත් හාල් දියකිරෙන් ලිපේ තබන්න. බත තැම්බුණ පසු එයට සුදු ලූනු හා රතු ලූනු දමා නැවත මඳ වේලාවක් තැම්බෙන්න තබා පොල්කටු හැන්දෙන් බත පොඩි කර මිටිකිරි හා නිල් කටරොළු යුෂ දමා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරනවිට ලිපෙන් බාගන්න.

 

උපදෙස්

වී.ජී. ස්වර්ණලතා

උමංදාව දේශීය ආහාර

පර්යේෂණ ව්‍යාපෘතිය

ඡායාරූප - තිලක් පෙරේරා

 

 

Comments