නකල්ස් වන­පෙතේ සැඟ­වුණු අළු­ගල් ලෙන සොයා... | සිළුමිණ

නකල්ස් වන­පෙතේ සැඟ­වුණු අළු­ගල් ලෙන සොයා...

 

 

රාස්සිගේ අව්වද කෙමෙන් කෙමෙන් වියැකී යාමට අර අදින්නේ මිහිමඬල සමඟ උරණ වූ හිරු කුමරු තම රැකවරණය ලබා නොදීමට තීරණය කළ පරිද්දෙනි. ඒ තීරණයට වන පෙතද අවනත වෙමින් තිබෙන බව අපට ඒත්තු ගියේය. මලානික හිරු කිරණ බිඳී ගිය ප්‍රේමයක වික්ෂිප්ත වූ සිතිවිලි සේය. හෝරා කිහිපයකින් අඳුර රජයනු ඇත. තවත් රැඳී නොසිට පය ඉක්මන් කිරීමට ඉටා ගත්තේ එය අප සැමගේ යහපතට හේතුවන නිසාය.

 

අනාදිමත් කාලෙක සිට වනයේ ජීවත්වූ මිනිසා එයින් එළියට එන විට ඔහු සමඟ පැමිණි මිතුරාගේ වත්මන් පුරුකක් අප සමඟිනි. ඈ අනුගමනය කරන ලෙස අත වනා පවසන්නාක් මෙන් ඉදිරියට ගොස් හැරී අප දෙස බලයි. 'චූටී' යන ආදර බසින් ඇමතූ ඇයට කිසිදු වෙහෙසක් නොමැති හැඩකි. ඇගේ එකම අරමුණ අපට මාර්ගෝපදේශය සැපයීමය. කිසිදු ප්‍රත්‍යෝපකාරයක් බලාපොරොත්තු නොවී අපට සේවය සැපයීමට තරම් ඇය මිනිසුන්ට වඩා ගුණ යහපත් වූයේ කෙසේදැයි මා සිත වෙහෙසට පත් කරමින් තිබුණි.

තංගප්පුවට පිවිසෙන මාර්ගයේ ගමන් ගත් අපි ශීඝ්‍ර බැස්මක නිරත වූයෙමු. ඉතා වේගයෙන් පල්ලම් බසින අපේ කණ්ඩායමේ සාමාජිකයන් පය ලිස්සා ඇද වැටුණු තැන් ද නැත්තේ නොවේ. ඉහළට නැඟීම තරම් කඨෝර ගමනක් නොවූ බැවින් වේගය එක ලෙස පවත්වා ගැනීමට සැවොම උත්සාහ කළෙමු. නගරයට වඩා වේගයෙන් වනපෙතට ගොම්මන් අඳුර පැමිණෙන සලකුණු දිස්වේ.

කඳු බැස්මේ සැකසුණු මඟ වාමාවර්තව නිර්ම­ාණය වී තිබුණි. ක්‍රමයෙන් අප එළිමහන් ප්‍රදේශයක් පසු කරමින් සිටි අතර ඒ ප්‍රදේශය ගල් තලාවකින් සමන්විතය.

නැවතත් වන ගහනයකට යොමු වූ අතර එය අප පසුකරමින් පැමිණි පරිසරයට වඩා තරමක වෙනස් ස්වරූපයක් උසුලයි. සම්පුර්ණයෙන්ම තෙතභරිත පොළොවේ කූඩැල්ලන් එක දිගට අපගේ දෙකකුල් ආක්‍රමණය කරන්න වූයේ බාධකයකින් එතෙර වීමට උත්සහ කරනා සෙබළුන් මෙනි. කූඩැලි ප්‍රහාරය නිසා මා අසලින් ගමන් කරමින් සිටි භාග්‍යාගේ ගමන් වේගයෙන් හරි අඩක්ම අඩුවී තිබුණි. සොබාදහමේම කොටසක් වූ වනස්පතීන් සොබාදහමේ නියමයන්ට අනුරූපී වී ඇති බව අපට හැඟිණි. ශිඛර මුඳුන්වලදී දුටු කුරු ශාක වෙනුවට එයට වඩා උසින් වැඩුණු ශාක ස්ථරයකින් මේ භූමිය සමන්විතය.

මාර්ගය හරහා ඇදී ගිය ජල පහරක් අසල අප රැගෙන ආ දිවා ආහාරයෙන් කුස සරිකර ගත්තෙමු. විඩා නිවීමෙන් මොහොතකුදු හෝ පමා නොවීමට සිතා ගත් අපි නැවත ගමන් ඇරඹුවෙමු. එලෙස ගමන් කරන විට ගමනේ වඩා සිත් ගත් ස්ථානයක් සනිටුහන් කරමින් දොළ පහරක් හරහා වූ ඒ දණ්ඩකින් ප්‍රවිෂ්ට වීමට සිදු විය.

අඳුර දැන් මුළු වනයම ගිලගෙන අවසානය. වනයේ සිටින එකම මිනිස් පුළුටු අපය. එකම මිනිස් ක්‍රියාකාරකම වන්නේ අළුගල් ලෙන සොයා ගමන් කරනා දස දෙනකුගේ පා ගැටීමය. කළුවරේ විදුලි පන්දම් දල්වා පැය කිහිපයක් පුරාම අප අළුගල්ලෙන බලා ගමන් කෙරුවෙමු.

විටෙක මාර්ගය හරහා වැටී තිබූ ශාක කඳන් මතින් ද තවත් විටෙක ඒ යටින් ද ගමන් කළෙමු. ගුවන නොපෙනෙන වනාන්තරයක ගන අඳුරේ ගමන් කරන විට සිතට දැනෙන ගූඨ බව කියා නිම කළ නොහැක. අඳුර විසින් මොන තරම් සුන්දරත්වයක් වසාගෙන ඇත්දැයි මට සිතේ. ගල් මුල්වල පය හැපෙමින් ද කූඩැලි ග්‍රහණයන්ට ලක් වෙමින් ද අප ගමනේ අරමුණු සාක්ෂාත් කරගනු ලැබූයේ මැදියමට පැය දෙකහමාරකට පෙරාතුවය.

අළුගල් ලෙන ලක්දිව පිහිටි ලෙන් අතරින් කිසියම් සුවිශේෂීකමක් දක්වන ලෙනක් බව සැබෑවක්මය. එහි එක් කොටසක් ඉතා විශාල ලෙස හෑරි ගුහාවක ස්වරූපයෙන් නොමැති අතර විවෘත ලෙනක ස්වභාවයක් පෙන්නුම් කරයි. අනෙක් කොටස ඇතුළට හෑරී ගිය සෙයකි. ගඩොල් බිත්තියක් බැඳ එය උචිත අයුරින් කාමරයක් ලෙසින් සකස් කර තිබුණි. වටකුරු ස්වරූපයෙන් මීටර 100කට ආසන්නව ඉහළට නැඟුණු පර්වතය ගාම්භීර පෙනුමෙන් යුක්තව නකල්ස් වනයටත් කඳු පන්තියටත් තේජසක් එක් කරන්නේය. ලෙන් බිමෙහි අළු පිහිටීම නිසා අළුගල්ලෙන ලෙසින් ව්‍යවහාර වන බව සුජාන්ගෙන් අසා දැනගත්තෙමි.

දිගැටි හැඩයෙන් පිහිටි නිසා එහි කූඩාරම් කිහිපයක්ම ඇටවිය හැකිය. නකල්ස් වනය ආශ්‍රිතව එන්සාල් වගා ප්‍රචලිතව තිබූ සමයක ගැමියන්ගේ නවාතැන් පොළ බවට පත්ව තිබී ඇත්තේ අළුගල්ලෙනය. දෙපසින් දිය සීරා දෙකකි. එකක් කඳු මුඳුනින් කඩා හැලේ. අනෙක කුඩා උල්පතකි.

නකල්ස් වනයේ කඳු අතර සුප්‍රසිද්ධ ලකේගල, යහන්ගල, මෙන්ම අළුගල්ලෙන ද රාම රාවණා පුරාවෘත්තය හා සබැඳිය. දෙපාර්ශ්වයේම මිය ගිය අය ඒ සිරුරු අළුගල්ලෙන තුළ පුළුස්සා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් ය. කෙසේ වෙතත් මෙහි ඇති පාෂාණ ස්වභාවය සම්බන්ධයෙන් මතු යම් දිනකදී විශේෂඥයන් අදහස් ඉදිරිපත් කරනු ඇත.

නකල්ස් වනය අපගේ ආදිතමයන්ගේ නිජබිමක් බවට පසු කාලයේදී රාජ් සෝමදේවයන් මහතා විසින් සිදු කරන ලද පරීක්ෂණ වලදී තහවුරු විණි. අරුමයක මහත නම් හෝමෝ සේපියන් බවට ගල්ලෙනෙහි බිත්ති මත තම වරිග පරම්පරාව සනිටුහන් කර තිබීමය. ඒ දෙස දුක්මුසුව බලා සිටි මම ඉන් මිදුණේ ගීත්මාල් මා අමතනු ඇසීමෙනි.

 

ඡායාරූප - සුජාන් රොෂාන්

Comments