දැන­ගෙන පැල­ඳිය යුතු පළිඟු ආභ­රණ | සිළුමිණ

දැන­ගෙන පැල­ඳිය යුතු පළිඟු ආභ­රණ

 

 

පළිඟුවලට විශ්වයේ පවතින විවිධ ශක්තීන් ආකර්ෂණය කර ඒවා මිනිස් ශරීරයට අවශෝෂණය කිරීමට සැලැස්විය හැකිය.

 

පළිඟු වර්ග පැලඳීම විලාසිතාවක් තරමටම දැන් ප්‍රචලිතය. එහෙත් එම පළිඟු පැලඳීමේ අරුත දන්නා අය අල්පය. පළිඟු නැතිනම් crystals යනු මොනවාද? ඒවායේ ගැබ්ව තිබෙන ශක්තියේ බලපෑම කුමක්ද යන්න දැනුම්වත් කිරීමේ අරමුණෙන් මෙම ලිපි පෙළ ඇරඹිමු.

 

පළිඟු සොබාදහමේ විශ්මිත දායාදයකි. මේ පළිඟු විශේෂවල එයටම ආවේණික වූ ගුණාංග හා ශක්ති විශේෂ අන්තර්ගතව පවතින බව අද වන විට දැනට කෙරෙන විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මැණික් තරම් වටිනාකමක් මෙම පළිඟුවලට ආරෝපණය කර නොමැති වුවද, පළිඟු වර්ගය, පළිඟුවෙන් ප්‍රකාශිත ලක්ෂණ, එම පළිඟු හටගන්නා රට හෝ ප්‍රාන්තය, එහි දුර්ලභත්වය යන කරුණු මත ඒවායේ වටිනාකම් විවිධ අයුරින් තක්සේරු කර වෙළෙඳපොළේ තිබෙනු දැකිය හැකිය.

පළිඟු ගැන කථිකාවක් නැවත ඇති වී තිබෙන්නේ මිනිසුන් පිරිසක් නැවතත් ස්වභාධර්මය හා විශ්වයේ තිබෙන ශක්තීන් සමඟ බැඳෙන අයුරු සොයා යෑම ඇරඹීමත් සමඟය. අතීතයේ අපේ මුතුන්මිත්තෝ ශක්ති ප්‍රභව පිළිබඳ අදහසක් සහිතව පළිඟු පැලැඳූහ.

රතු ඉන්දියානුවන් විසින් මෙම පළිඟු වර්ග අතීතයේ හඳුන්වා ඇත්තේ "ගල් මිනිස්සු" "stone people"යන නාමයෙනි. ඔවුන් එසේ හැඳින්වූයේ, පළිඟුවලට දක්වන ගරු කිරීමක් වශයෙනි. පළිඟුවලට සිතීමට, මානවයන්ගේ දිවියේ භෞතික වෙනස්කම් සිදුකිරීමට, මෙන්ම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට හැකියාවද තිබූ බවට ඔවුහු විශ්වාස කළහ.

එම විශ්වාසයන්වල සත්‍යයක් ඇති බව තහවුරු කරන, අත්දැකීම් සහිත පුද්ගලයෝ අද සමාජයේ වෙති. සමහර පළිඟු හිටිහැටියේ හිටිවනම පහළ වූ බවත් තවත් සමහර පළිඟු හිටි වනම අතුරුදන් වන බවත් ඔවුහු පවසති. පළිඟුවලට විශ්වයේ පවතින විවිධ ශක්තීන් ආකර්ෂණය කර ඒවා මිනිස් ශරීරයට අවශෝෂණය කිරීමට සැලැස්විය හැකිය. එයින් ලැබෙන භෞතික හා ආධ්‍යාත්මික ප්‍රතිලාභ ගැන ඔවුහු කතා කරති.

මේ තත්ත්වය තුළ පළිඟු පැලඳීම සිදු කළ යුත්තේ ඒ පිළිබඳ යම් අවබෝධයක් ඇතිවය. සෑම පළිඟුවකම පුද්ගලයකුගේ ශාරීරික, මානසික, චිත්තවේගික හා ආධ්‍යාත්මික සුවයට සමබරතාවට හා දියුණුවට පිටිවහලක් වන ශක්තීන් ගණනාවක් ගැබ්ව තිබේ. ඒ ගැන අවබෝධයෙන් පළිඟුව තමන්ට ගැළපෙන අන්දමින් තෝරා බේරා ගෙන භාවිත කළ යුතුය. පළිඟු පැලඳීමේ දී එම ශක්තීන්ගේ ප්‍රබලත්වය, ඒවා පලඳිනු ලබන තැනැත්තාගේ ශරීරයේ ඇති ශක්ති චක්‍රවල ස්වභාවය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එසේ සිදු කිරීමෙන් ජීවිතය සරුකර ගැනීමට, සුවපත් දිවියක් උදාකර ගැනීමටත් හැකිය.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත පළිඟු වර්ග

 

පළිඟු පැලඳීම අපල මුදු පැලඳීම හා සමාන බවක් උසුලයි. අපල මුදු යනු ඒ ඒ පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම අනුව, ඒ ඒ පුද්ගලයාට සිදුවීමට ඇති හානි අවම කිරීම සඳහා ඒ පිළිබඳ යම් අවබෝධයක් ඇති පුද්ගලයකු විසින් නිර්දේශ කර, පලඳිනු ලබන මැණික් ගල් භාවිත කර සාදන ලද මුදුය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර සෑම පුද්ගලයකුටම එකම මුදුව භාවිත කිරීමට නිර්දේශ නොකරයි.

පළිඟු සම්බන්ධ කතාව ද එසේමය. එය පැලඳිය යුත්තේ නිශ්චිත තක්සේරුවක් සමඟය. අද ලංකාවේ වඩාත් ප්‍රචලිත පළිඟු වර්ග ලෙස ටයිගර් අයි, රෝස පළිඟුව (rose quotes),බ්‍රොන්සයිට් යන ආදිය දැක්විය හැක. මිනිසුන් දස දෙනෙක් ගතහොත් ඉන් පස් දෙනෙක්වත් අවබෝධයක් ඇතිව හෝ නැතිව මෙම අලංකාර පාෂාණවලින් සැදුම්ලත් අත්පලඳනා භාවිතා කිරීම සුලබ දසුනක් බවට පත්ව ඇත.

මේ සෑම පළිඟු වර්ගයකම ශක්තියක් ඇති බව සැබෑය. නමුත් පළිඟු භාවිතයේ දී ඒවායේ ඇති ගුණාත්මකභාවය, සුව කිරීමේ ශක්තිය, එහි ගැබ්ව ඇති ශක්තීන්ගේ ප්‍රබලත්වය, එය අදාළවන මනුෂ්‍ය ශරීරයේ චක්‍රය ආදී කරුණු කාරණා සැලකිල්ලට ගෙන, ඒ ඒ පුද්ගලයාට ගැළපෙන අන්දමින් තෝරා බේරා ගෙන භාවිත කළ යුතුය.

නිදසුනක් ලෙස බහුලව භාවිතවන ටයිගර් අයි ගතහොත්, බහුතර දෙනා මෙය පලඳින්නේ ඒ පළිඟුවෙන් ධනය ආකර්ෂණය කර ගැනීමේ ශක්තියක්, නැතහොත් ආර්ථික දියුණුවක් ඇතිකර ගැනීමේ ගුණයක් ඇතැයි යන අවබෝධය නිසා ය. නමුත් එහි තවත් ගුණ ගණනාවක් ඇති අතර ඉන් එකකවනුයේ ආත්ම විශ්වාසය හා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කිරීමේ ගුණය උත්තේජනය කිරීමයි. නිතර කෝප වන පුද්ගලයෙකු tigers eye පැලඳි විට ඒ පුද්ගලයාගේ කෝප වීමේ ස්වභාවය තවත් වැඩි විය හැකි අතර එය ඉතා දරුණු සොබාවයකට වුව ද පත් විය හැක. පසුගාමී ස්වභාවයක් ඇති පුද්ගලයකු මෙම පළිඟු වර්ගය පැලඳි විට, ඔහුගේ පසුගාමී ගතිවලින් මිදී, ආත්ම විශ්වාසයෙන් යුතුව, තම දියුණුව වෙනුවෙන් වැඩ කිරීමට, කතා කිරීමට ටයිගර් අයි ශක්තියක් වනු ඇත.

මෙලෙස අවබෝධයෙන් පළිඟු භාවිත කරන්නේ නම් ඉන් ජීවිතය සරුකර ගැනීමට, සුවපත් දිවියක් උදාකර ගැනීමට මහඟු පිටුවහලක් ලබා ගත හැක.

පළිඟු පිළිබඳ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් ඇත. මුදල් පසුපස හඹා යන ලෝකය සෑම විටම වටිනා දේකට ව්‍යාජ අනුකරණ නිර්මාණය කිරීම සිදු කරයි. අද වෙළෙඳපොළේ නියම පළිඟු ( genuine crystals)මෙන්ම ව්‍යජ පළිඟු (fake crystals) බහුලව දැකිය හැක. හරි ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම්, නිතරම වගකීමක් ඇති තැනකින් පළිඟු ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.

 

(ලබන සතිය -

පළිඟු භාවිතයේදී

සැලකිලිමත් විය යුතු කරුණු)

Comments