කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

කම්කරු සටන් බිම

හයි විහිදා-ජන­යාගේ
මැයි එකදා-බල­වේගේ

කම්ක­රුවා-සටන් බිමේ
නම්දැ­රුවා-හපන් කමේ

පින් පොරණේ -රජ­දානේ
රන් දෙරණේ-අබි­මානේ

එක­මුතු වී-ඉරටු මිටී
ජය සතු වී-පෙරටු හිටී

අට පැය­කට- සටන දිනා
රට දැය­කට- සහන ගෙනා

රිටි වීරැති- දැඩි හින්දා
මිටි දෑකැති -කොඩි බැන්දා

හිත නොව­හල් -ජවය තියේ
මත නික­ලැල්- හරය දැයේ

පුර ඇත්තෝ- අත ගත්තෝ
පර­ගැත්තෝ-හිත නැත්තෝ

සිරි විදහා- මහ පොළොවේ
බැරි මිනිහා- ඉහ එසැවේ

පිට ඒවා- හදේ ගටන්
රට පාවා- නොදේ සටන්

හැටට හැටේ -පාට ගැටේ
පිහිට පොටේ -කාට රටේ

දනන් සැමට -සරු වේවා
සටන් බිමට ජය වේවා !

• නන්ද­සේන පලි­හ­ක්කාර

 

-----------------------

වාස­ගම

බිහිවූ දා සිට
පර­පු­රෙන් උරු­මව
දිවි මගෙහි බොහෝ දුර
පැමි­ණි­යේය නුඹ
මා කැටුව
හිමි කර දී එමඟ
බොහෝ දෑ මවෙත...

වල්මත් වූ සම­යක
නන්නා­ඳු­න­න්නකු සමඟ
පෝරු මස්ත­කව
පිටමං කළෙමි නුඹ
ගුණ මකු­වකු විලස
රුවා ඔහු පෙළ­පත
නුඹට හිමි තැන..

ඉක්බිති
සිර­ග­තව කුටු­ම්භ­යක
නේක අව­මන් මැද
මට මා අහිමි වූ දින
සිහි­විය නුඹ
දස දහස් වර
පසක් විය
උරු­ම­යක බර...

එක් අඳුරු සව­සක
පවරා ඒ රුදුරු සන්නම
පෙරලා ඔහු­ටම
විනි­සුරු මැදු­රෙන්
පිට­තට වන් සඳ
දුටිමි නුඹ සිටින වග
දල්වා කුළුණු නෙත් යුග.......

• ලහිරු දෙද්දු­ව­කු­මාර
--------------------------

කල්ලාගේ ගඳ නිසා උක් ගහ යහ­මින් වැඩේ ලු !

‘සිය­ලුම කල්ලන් එක වගේ’
මමයි කියන්නේ
ඔව් මේ මමයි කියන්නේ
‘උන් හරි­යට
පවුකා­ර­ක­මෙත් පවුකා­ර­කම වගේ’
ඔව් මේ මමයි කියන්නේ
‘කල්ලාගේ ගඳ නිසා
උක් ගහ යහ­මින් වැඩේ ලු’
ඉපැ­රණි කිය­ම­නක් තිබේ
එය මෙහිදී සිහි කරන්න
‘කල්ලාට පහ­ර­දීම යනු
ඔහුට කන්නට දීම ලු’
මහා ප්‍රංශ සාහි­ත්‍ය­ධර
ඒමේ සෙසේර්
 

ඒමේ සෙසේර් (Aimé Césaire, 1913-2008) යනු කැරීබියානු දූපතක් වූ මර්තිනික් (Martinique) හි උපන් දැවැන්ත ප්‍රංශ සාහිත්‍යධරයෙකි.

ඔහු ලොව පුරා ම සූරාකනු ලැබූ, අදත් සූරාකමින් පවතින කළු කම්කරු ශ්‍රීමයට නියමිත වටිනාකම උපයා ගැනීම පිණිස මහා අරගලයක් කළ ප්‍රගතිශීලී කළු උගතෙක්, ඉතිහාසඥයෙක්, නාට්‍ය රචකයෙක්, දේශපාලනඥයෙක් මෙන් ම අසමාන මහා කවියෙක් ලෙස ද සැලකේ.

ඔහු කවිපොත් වෙළුම් දහයක් පමණ ලියා පළකර ඇත. මේ කවියා සමහර තැන්වල දී නිර්භයව ශ්‍රමය සූරාකන අධිපති බලවාදී යාන්ත්‍රණයේ භාෂාව සියුම් ලෙස උකාගෙන එය ම ආපසු ඊට එරෙහිව හැසිරවීමට සමත් විය. ඉහත කවිය ඒ පිළිබඳව පිළිගත් නිදසුනකි.

එය උපුටා ගනු ලැබුවේ ඔහුගේ උපන් රටට ආපසු පැමිණීම ගැන සටහන් පොත (Cahier d'un retour au pays natal, 1939) නම් සුපතළ කෘතියෙනි.

 

අනුවාදය :

උදයංග අමරසේකර

--------------------------------

ගසක් හා අවාරේ පිපි කවි කුසුම

බිඳින් බිඳ වට සිහින් හිරි­පොද
එතුණු මඳ නළ සියුම් හිරු සැර
තුළින් වැඩෙ­මින..

හොඳින් තද­කර මුඳුන් මූලය
මලක දෙක­කින් සුවඳ විහිදා
පොකුරු අතු මුඳු­නේම රැඳුණා
ඇස් අරින බිලි­ඳුන්ද රන්දා
දුර අතී­තෙක...

සෙවණ දුන් ඒ මහා නුග රුක
බඳ වෙළී හුන් පතිණි සම­ඟින
කඩා වැටිදා පයේ පාමුල
හිස බිඳී රිදුණා
හුඟක් තැළිලා කඩන් වැටුණා
හැදෙන මල් ඉති
පොකුරු දස අත විසි­රිලා තිබුණා...

පුංචි දල්ලක් හිස දරා­ගෙන
වියළි පත්‍ර ම පොහොණි කර­ගෙන
ළඟක ගස­කට හිස හොවා­ගෙන
වැලක එතෙ­මින හිත නිවා­ගෙන
යළිදු මල් පුබු­දන්න සිතු­වෙමි
මලක දෙක­කද සුවඳ දුන්නෙමි
මේ මෑතක....

ජාන සිංචන කරන් උත්තේ­ජන
ලාබ, ඉක්මන්, සුවඳ නික්මුණ
නේක වර්ණෙන් පාට තැව­රුණ
හරිත කොටු­වක ඉඩක් හිමි­වුණු...
තවන් හිමි­යන් මිලෙන් හැඩ­වුණු
බෝම මිල බව යාළු පව­සන
පිපී ඇත මල් නෙක හැඩ­යෙන
දෑස රැව­ටුන...

පාට නොවැ­ටුණු ශ්වේත , සුව­ඳැති
දාර ඉරි ඇඳි නේක දුක විඳි
කාබ­නික රොඩු පෝර සවි ඇති
ලාබ මිල ඇති මල ඉවත ගමි.....
සල්පි­ලෙන්...

සුළඟෙ එතෙ­නෙමි හිරු කිරණ බොමි
කුරුලු ගී මැද පෙති මුදා­ලමි..
• සෞම්‍ය ලලිත් කලු­බෝ­විල

 

------------------------

නදී ගීතය

මල් පිපී අතු නැමී වෙහෙ­සෙන දාට
ගස් හල­න්නෙත් ඒ මල්ය මේ ගඟට
දුර ඉදන් සිඹ සිඹ..තිරි­වනා කැට
නුඹ ගලන්නේ කොහො­මද මහ රෑට...

දෑල හිදිනා නොමි­නි­සුන් පැන දියට
සෝද සෝදා හරින පස් පව් ගැහැට
රෝස නොමැ­තිව බදා ගඟ තුරු­ලට
නුඹ හඩන්නේ සියුම් සිලි සිලි හඩට...

රාත්‍රිය අරන්.. කළු­වර එන­කොට
සඳත් පැන්නාද මඟ­කදි වතු­රට
ඇයත් හේදි හේදී ගිය දුකට
නුඹ මහා සද්දෙ­කින් වැදුනා ඉවු­රට...

කොහේ හරි බලා­ගෙන හිටි මුහු­දට
ගැලූ දුක් කන්ද අර­ගෙන වැටු­නට
මහා සාගරේ දිය­රැලි අත­රට
නුඹ තැනක් හෙව්වාද දිගු­කල් නින්දට...

• තරං­ගනී දිල්රුක්ෂි ජය­සේන

--------------------

 

මල් පොකුර

ඔබ දුන්න
ඒ නැවුම් මල් පොකුර
තව කලක් යෙහෙන්
දැක­ගනු පිණිස
කල්ත­බනු වස් යොදන
ඖෂ­ධත්
කල් ඉතුත් නොවන
මගෙ සෙනෙ­හ­සත්
දමා මල් බඳු­න­කට
තැබීමි
නිබඳ ඇස ගැටෙන
ලියන මේසය මත....

දිනක් දෙදි­නක්
නව පණක් ලැබ
පිපී හිනැ­හුණු
එමල්
මහද පුබුදු කළ
ප්‍රහ­ර්ශය
විඳිමි මම
විනි­වි­දි­මින් ඔබේ සිත
පිරි­සි­ඳි­මින් අපේ පෙම....

නෙක වණින් උදුල
එමල් පෙති
දින දෙක තුනක
ඇවෑ­මෙන්
රටා­වක් මවා ඇත
බඳුන වට
අනි­ත්‍යය විනි­විද
අපේ ජීවි­ත­වල...

ගෙවුණු පසු­ගිය දින­වල
නොබැ­ලු­වෙන් මම
එදෙස
එවැ­න්නක් එහි
ඇති බව ද
අම­ත­කය දැන් මට....

• අනුර බී. සෙනෙ­වි­රත්න

 

---------------------

තනි­කම

පිං පාට ඇස් දෙකට
පෙම් කෙරූ හිත හීල
මඟ බල­නවා ඈත
එන­තුරා නුඹ තාම...

ඉර හැරුණු හැන්දවේ
ගෙට වෙච්චි ගේ කුරුලු
හිනැ­හුනා ඔච්ච­මට
රෑ අදුර වට වෙද්දි...

සුර ලොවක සිරි විදින
පුතු නිදන අද්ද­රම
නෙතු පියන් ඇලවුණා
සිහි වෙද්දි නුඹේ මතක....

• සංජුලා සෙ‍ෙන­වි­රත්න

-----------------

හදවතක සුවඳ

ලියා නොමැ­කෙන ලියුමි කඩ­දහි
තවම තියෙ­නවා හිත් කොනේ
එදා සර­සවි උයනේ තනි උන
කුරුලු හද­වත කෝ ඔබේ...

එදා වගේම හන්තාන නිහ­ඬයි
සඳ ඇවිත් ගං ඉවුර සොඳු­රුයි
උණ පඳුරු අස්සෙන් ඇවිත් ඔබ
සිප­ගන්න තුරු ඉව­සු­මක් තිබුණ ද...

ගලන සෙනෙ­හස මහ­වැලි ගඟම මැයි
සුළඟ සේ විත් නුඔ හද කිති කවයි
මේ තරම් ලස්සන දවස් අාය එන්නෑ
ඔබට සිහිවී යළි එනවා නමි

• මංජුල සෙනෙ­වි­රත්න

------------------

මල් දෙකක්

ඉසු­රු­මුණි හන්දියේ
මල් කඩය අද්ද­රට
යා නොයා බැරි වුණේ
නෙළුම් මල් අර­ගන්න...

ඉන්දුගේ අත උඩට
මල් වට්ටි වැඩි­දාක
එළිය වුණු හද එළිය
විදු­ලි­යක් විණි එසැණ...

දම්මිගේ අත අරන්
හෙමි හෙමින් සීරු­වට
පා යුගල ඇවි­ද්දත්
හිත තාම නැව­තු­මක..
.
දරු ගැබක් පතා­ගෙන
බෝධි­යට යන කලට
ඉන්දු පැන්නා පාර
ගැබක් කුස දරා­ගෙන...

• අනු­රුද්ධ වැලි­ග­මගේ

-----------------

උයන් පල්ලා

උයන් පල්ලෙක්
හෙළන දහ­ඩිය
උරන් හැදු­නට
කිසිදු උය­නක
මලක් කිව්වද
මලට පිය­කරු
රුවක් දෙන්නට
උය­න්පල්ලා
වින්ද දුක ගැන...

බොහෝ මල් වල
රුව පෙනෙන්නේ
කපා දැම්මොත්
වටේ වල් පැළ...

නිල්ල තණ මත
කරට අත දා
ගන්න පොටෝ­වට
කවුද කෙරුවෙ
ආරා­ධ­නා­වක්
උයන් පල්ලට...

උයන් වතු ගැන
කතා කරන සඳ
ගසුත් මල් ගැන
මිස කවුද පිදුවේ
උයන් පල්ලේක්
නමට හර­සර...

ඒ නැතැ යි
නොවී පසු­බට
හෙටත් ඇවි­දින්
උයන් පල්ලා
හදා වඩයි
උයනේ මල් පැළ...

උයන් පල්ලෙක්
වින්දෙ සතු­ටක්
උයනෙ ගස් වල
පිපෙන මල් ළඟ...

• හිල්මි සුපුන්

------------------

 

වජිර සමිඳු

සඟ­විල සුපි­පුණු රන් පියු­මක් සේ
සර­සවි නුබ­කුස ගුරු තරු­වක් සේ
මිණි­පුර ඔප කළ විදුර මිණක් සේ
නාමය සුදිලේ වජිර සමින්දේ .......

විදු­ල­කරේ සද­හම් නද පතුරා
සුව­හස් සිසු­නට නිසි මඟ පෙන්වා
ගුරු­දෙවි කිරි­ව­ත්තු­ඩුවේ පැණ­සර
නාහිමි නාමය නිති බැබ­ළුවා .......

කුල­පති - උප­කු­ල­පති ධුර හොබවා
අග්ග­මහා පණ්ඩිත නම් ලැබුවා
දෙස රැස නිසි තැන තබ­මින් ඔසවා
වජිර සමිඳු නාමය ලොව දිනුවා...

• සම්පත් දිප්පි­ටි­ගොඩ

 

--------------------

නුඹ නැති වස­න්තය

වැස්සක මං ලකුණු පෙනෙ­නවා...
වස­න්තය නිමා වුණ බව හැගෙ­නවා
සීත­ලට තුන් හිතම ගුලි වී
උණු­හු­මක් සොය­නවා
තනිය පාළුව අදුර මැද්දේ
නුඹව සොය සොය ඉකි­බි­ඳි­නවා...
.
හීන පොදි බැඳ වස­න්තය
එන තෙක් අනේ... මං අතැ­ඟිලි ගණි­නවා
වස­න්තය ඇවි­දින් ගියත්
නුඹ නැති අඩුව මට දැනෙ­නවා

ඉතින්.....
නුඹ නැති වස­න්තය ඇවිත් මොක­ටද
අනේ මං හිත­නවා.....

• ඒ. වරුණි නිල­ක්ෂිකා

 

-------------------

 

පාත­කඩ කුල­ති­ලක කිවි­සඳ

රස අරුත් පද බැඳ
මුවග ලෙළ­දුන් කවි පද
රසික හර­සර ලද
පාත­කඩ කුල­ති­ලක කිවි සඳ

හිටි­වන ම කවි­යට
පළ කළ කුසල බල­යට
සොයන විට රට­වට
ඔබම සුදු­සුය ඔබට උව­මට

ලියන කවි හර­වත්
කියන කවි අති­ ර­ස­වත්
කිවිඳ! කවි මඟ දත්
ඔබට බැඳුණා දැයේ හද­වත්

සුවඳ මෙනි මලක
සුදු පියු­මක්ය විලක
ගීත­යකි දොළක
කොළඹ කවි­යට ඔබය තිලක

නික්මු­ණත් අප හැර
සව­නත රැඳේ ඔබෙ සර
කිවි­ස­ඳුනි! මන­හර
ඔබට නුදු­රුය සොඳුරු සුර­පුර
• මහා­චාර්ය
දර්ශන රත්නා­යක

----------------

 

මවුන් සහ පුතුන්
(තේමාව: හද­වත් බද්ධය)

මටත් රහ­සින් පුතේ කවුදෝ නුඹව දෙව් ලොව ගෙන ගියා
නොගෙන අව­සර නුඹේ හද තව පුත­කු­හට දුනි පා දයා
තුරුල් වී ඒ ළයට හෙමි­හිට හිඳිමි මම දෙස­වන අයා
හද ගැහෙන හඬ ඇසෙන විට මම සොයමි නුඹ කොහෙ­දැයි කියා
a
නිවී ගිය­මුත් දිලි පහන් සිල හිටි හැටියෙ මගෙ මේ පැලේ
තවත් ගෙප­ළක නිවෙ­න්නට ගිය පහන අද පණ ලැබ දිලේ
කඳුළු වියැකී සතුට ඉතිරී මව­කගේ දෙනු­වන් විලේ
සසර මඟ කෙටි වෙන්ට පුතුණේ සෑහේවි ඒ පින් බලේ

කුහක කම් නැති නුඹේ හද­වත මලක් ලෙස පිවි­තුරු වුනේ
ඒ හදින් පණ පෙවෙන සිති­විලි මුළු ලොවට පුර­වයි සෙනේ
සිහිල් මඳ­නල නඳුන් උය­නින් නුඹෙ සුවඳ රෑ මට ගෙනේ
නුඹ වගේ­මයි ඒ පුතුත් මට නැහැනෙ කිසි වෙන­සක් අනේ

• දම්මිණී ප්‍රේම­චන්ද්‍ර ෆොන්සේකා

 

----------------------

සඳට කියන වග නම්

කුමට තරු­කැට අඳුරු අහ­සට
සඳේ නුඹ ඇති මගේ තනි­යට
තබා අඳු­රෙහි මගේ හද­වත
හැර­ගියා ඔහු වෙනත් හද­කට...

කියා­ග­න්නට බොහෝ දුක් කවි
සිතට එනවා පාළු මහ රෑ
නුඹට පම­ණයි සඳේ ඒ කවි
කණට කොඳුරා මම කියන්නේ...

හඬා වැළ­පෙන ළයේ සෝ ගිනි
මගේ තනි­යට තනි මකාවී
එපා යන්නට නුඹත් සැඟවී
මගේ හද­වත මිය ඇදේවී ...

• ශ්‍රීමන්ත ධර්ම­ව­ර්ධන

 

--------------------

කෘතිය- මන්දාකිනිය

කර්තෘ - රත්නා ලංකා අබේවික්‍රම

මිල රුපියල් -200 පිටු 61

විමසීම්- 077 846 6092

කවිවර ප්‍රකාශනයකි.

රත්නා ලංකා අබේවික්‍රම යන නම අපට වඩාත් ඇසෙන්නට වූයේ මිට දශක කිහිපයකට පෙර ගුවන්විදුලිය ඔස්සේය. නිවේදිකාවක් ලෙසින් පමණක් නොව රංගන ශිල්පිනියක්, ලේඛිකාවක් ලෙසින්ද දස්කම් පෑ ඇය ගී පද රචිකාවක් පමණක් නොව කිවිඳියක ලෙසින් ද පාඨක සිත්තුළ රැඳි සිටී.

මන්දාකිනිය යනු ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. සුවඳ කැකුළු ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන අතර ඉන් පසු හිතක පිපුණු සුවඳ මල්, සමනල සිතුවිලි, උඳුල සිත් රූ ආදි කාව්‍ය සංග්‍ර එළි දක්වා ඇත. මන්දාකිනිය කාව්‍ය සංග්‍රහයේදී අපට විවිධ මාතෘකා ඔස්සේ ලියන ලද සඳැස් කාව්‍ය පන්ති පනස් එකක් රසවිඳින්නට ලැබේ.

රත්නා ලංකා සඳැසට මුල් තැන දෙමින් විරිත රකිමින් කවි ලිවීමෙහි දක්ෂය. ඇය අතීතයේ රසමුසු තැන් මෙන්ම ජීවිතයේ අතදැකිම් ද වර්තමාන ලෝකයේ අත්විඳින දේද සිවුපදයෙන් ලියන්නිය . ඇගේ භාෂාව සරලය. එහෙත් ඒ කවි වල බෝ අරුත් ඇත. කලක් අපට රෙදි නැන්දා නැතිව බැරි කෙනෙක් විය. එදවස රෙදි නැන්දා විසින් කළ කාරිය දැන් බොහෝ විට කෙරෙන්නේ අම්මලා අතිනි. ඒ නැතත් කිලි රෙදි සෝදන්නට දැන් නගරයේ තැනින් තැන ලොන්ඩරිද ඇත. මේ නිසා දැන් සමාජයට රෙදි නැන්දලාගෙන් වැඩක් නැත. මේ රෙදි නැන්දලාට ගිය කලදසාව ගැනයි. මාතෘකාව රෙදි නැන්දා.

ලොකු තැන්වල කිලිටියි සෝදන්නේ

කැලි ගණන් කරලයි ගන්නේ

පොට්ටනියක් කර අසුරා ලන්නේ

ඉහේ තියාගෙන ගෙදරට එන්නේ.....

 

ඉහට වියන් පය පාවඩ ලන්නේ

පෝරු මස්තකේ හේලය දෙන්නේ

වැඩිවිය පත් දරුවන් නාවන්නේ

ඉසදිය දා තුටු පඬරු ලබන්නේ..

එසේ ආරෙදි නැන්දලා දැන් අපට

හමුවන්නේ නැත

රෙදි සෝදා පිරිසිදු කර දෙන තැන්

අඩියෙන් අඩියට ඇත ලොන්ඩරි දැන්

පොල්කටු ඉස්ත්‍රික්කය කරලා සුන්

ඇගේ බඩට ගැහුවේ පහරකි උන්..

දරුවන් සහ දෙමාපියන් අතර ඇත්තේ නොබිදෙන බැඳීමකි. එහෙත් ඒ බැඳීම බිදී ගිය තැන් මේ සමාජය තුළ අපට ඕනෑතරම් හමුවේ.

අතීතයේද ද සිදු වී ඇත.. බුද්ධකාලයේද එවැනි සිදුවිම් වී ඇත. එහෙත් දරුවන් දෙමාපියන්ට කොතරම් වැරදි කළ ද අම්මලා තාත්තලා සැමදාමත් දරුවන් කෙරෙහි දයාව කරුණාව පෑහ. මාතෘකාව දරු දුක . කිවිඳිය අවසානයේද දී මෙසේ කියයි.

සිත් පිත් කඩා රිදවා රුහිරය ඉරුවා

කළ කී කතා සිහිවෙයි වාවනු බැරුවා

පව් නෑ පුතේ ඒ හැම අමතක කෙරුවා

ඊයේ මෙන් හෙටත් නුඹ අපගේ දරුවා..

ගෙවුණ වසරකට අධික කාලය අපට ගෙවන්න සිදු වුයේ කොරෝනා උවදුර සමඟය. ඒ කොහොම වුවත් කවියෝ කොරෝනා ගැන ලියූහ.

මේ අපට කිවිඳිය රත්තාගේ මන්දාකිනිය කාව්‍ය සංග්‍රහයේදී හමුවන එවන් කවියකි. කවි පන්තිය අවසානයේ ඇය කාටත් දෙන්නේ කොරෝනාවෙන් ආරක්ෂා වීමට පාඩමකි අවවාදයකි. මාතෘකාව කොරෝනා.

අත්සෝදා නිතර පිරිසිදු කර ගන්න

මීටරයක් දුරින් යන එන විට යන්න

මුව වැස්මක් දමා ආරස්සා වන්න

තමනට තමන්මය සැලකිල්ලෙන් ඉන්න

 

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10.
විද්යුත් තැපෑල - [email protected]

Comments