ල - ළ වරදවන තව තවත් යෙදුම් | සිළුමිණ

ල - ළ වරදවන තව තවත් යෙදුම්

 

 

‘හරි වහරෙහි‘ ලා දිගට ම විමැසුණේ (දන්තජ) ‘ල‘ වෙනුවට වරදවා (මූර්ධජ) ‘ළ‘ යොදා ලියන වදන් ය. අද ද එබඳු තවත් වදන් කිහිපයක් විමැසිල්ලට ලක් කරනු ලැබේ.

නිතරම යොදන, එ පමණට ම වරදවන වදනක් මුලින් ම විමැසුමට ලක් කරමු. එනම් ‘සියලු‘ යනු යි. බොහෝ දෙන, බොහෝ විට ‘සියළු‘ යන (මූර්ධජ) ‘ළ‘(ළු) ම මෙහි ලා යොදති. මෙහි වරද නොයෙක් වියතුන් විසින් නොයෙක් විට පෙන්වාදෙන ලද නමුදු තව මත් මේ අපව්‍යවහාරය (වැරැදි යෙදුම) යෙදෙන සැටි ජනමාධ්‍ය මඟිනුදු දැකිය හැකි ය. ‘සියලු‘ යන්න ඇතැම් විට අන්ත්‍ය ස්වර ලෝපයෙන් (අග ස්වරය නැති වීමෙන්) ‘සියල්‘ යනුවෙනුදු යෙදී ඇති අයුරු සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් පවා දැකිය හැකිය. එහි ‘ළු‘ යෙදීම වැරැදි බව ද ‘ලු‘ යෙදීම ම නිවැරැදි බව ද එ මඟිනුදු මැනැවින් තිරැයෙයි (ස්ථිර වෙයි).

‘සියලු‘ යනු වරනැඟීමෙහි දී එහි අග ‘ලු‘ යන්නෙහි ‘ල්‘ යනු නිත්‍ය වශයෙන් ම ද්විත්ව වේ. එ හෙයින් ‘සියල්ලෝ, සියල්ලන්, සියල්ලනට‘ (ප්‍රාණිවාචී) ‘සියල්ල, සියල්ලෙන්, සියල්ලට‘ (අප්‍රාණිවාචී) යන පද විනා ‘සියලුවෝ, සියලුවන්, සියලුවනට‘ ආදි පද ව්‍යවහාරයෙහි නො යෙදේ. එයිනුදු තවත් ස්ථිර වනුයේ මෙහි ‘ලු‘ යනු ම යෙදෙන බවයි.

සියලු යන හෙළ වදන හා අනුරූප වැ සංස්කෘතයෙහි ද පාලියෙහි ද දෙක්හි ම සමාන ව යෙදෙනුයේ ‘සකල‘ යනු යි. පාලියෙහි ද මෙසේ (දන්තජ) ‘ල‘ ම යෙදෙනුයෙන් සිංහලයෙහි දු ‘ලු‘ යෙදෙන බව තිර කොට කිය හැකි ය.

‘සියල්‘ යන්නට ‘අඟ‘ යන්න එක් වැ නිපැදුණු ‘සියලඟ‘ යන්න ද බොහෝ විට වරදවා ‘සියළඟ‘ යැයි ලියනු දක්නා ලැබේ. පසු ව යෙදෙන සඤ්ඤක ඟ තියා ඇතැමුන් එහි (මූර්ධජ) ‘ළ‘ ලියති යි සිතිය හැකිය. ඒ, සඤ්ඤක ශබ්දයකට පෙර යෙදෙනුයේ (මූර්ධජ) ‘ළ‘ විනා (දන්තජ) ‘ල‘ නො වෙති යි අමූල වූ ව්‍යාජ රීතියක් ඇතැමුන් දක්වන හෙයිනි. එහි අසත්‍ය භාවය මෙයට පෙර ද පෙන්වා දෙනු ලැබිණ.

සියලඟ යනු ඇතැම්හු බොාහෝ විට සියොලඟ, සියොළඟ යි ද ලියති. එ දෙක ම වැරැදි වේ. ‘ළ‘ යන්න යෙදීමේ වරද කලින් දැක්විණ. මෙහි ‘ය‘ ‘යො‘ වීමට කිසිදු හේතුවක් නො පෙනේ. යටත් පිරිසෙයින් උච්චාරණයේ පහසුවක් වත් එයින් වන බවක් කිය හැකි නො වේ. එ හෙයින් ‘සියොලඟ යනුත් අපශබ්ද ගණයෙහි ම ලා ගණින්නට සිදු වෙයි.

‘සියලු‘ යන්න මෙන් ම වරදවා ලියන තව ද වදනක් නම් ‘එකළු‘ යනු යි. මෙහි දු (මූර්ධජ) ‘ළු‘නොව (දන්තජ) ‘ලු‘ ම යෙදිය යුතු ය. මේ හා අනුරූප වැ පාලියේත්, සංස්කෘතයේත් ‘ඒකාලෝක‘ යනු යෙදේ. ඒක + ආලෝක යනු සන්ධියෙන් ඒකාලෝක වෙයි. මෙහි ආලෝක යන්න සඳහා සිංහලයේ යෙදෙනුයේ (දන්තජ) ‘ලු‘ සහිත ‘අලු‘ යනු යි. ‘අලුයම‘ යන වදන විමැසීමේ දී එ බව කලින් ද දක්වන ලදි. එ අනුව මෙහි දු ‘එකලු‘ යනු ම නිවැරැදි වේ.

‘එකළු‘ යන්නෙනුදු අරුතක් ගත හැකි ය. ඒ ‘මුළුමනින් ම අළු (භස්ම) වූ‘ යනු යි.

මෙසේ නොතන්හි ‘ළු‘ යොදා ලියන තව ද වදනක් නම් ‘කුරුළු‘යනු යි. මෙය ද වහරෙහි බෙහෙවින් දැකිය හැකි ය. බොහෝ වියතුනුත් මේ වැරැදි වදන යොදන සැටි පෙනේ. එ හෙයින් වෙසෙසින් විමැසිය යුතු වේ.

මෙහි නිවැරැදි වනුයේ (දන්තජ) ‘ලු‘ සහිත ‘කුරුලු‘ යනු ම යි. මේ නාම ප්‍රකෘතිය වර නැඟීමෙහි දී ‘ලු‘ යනු ද්විත්ව වී ‘කුරුල්ලා - කුරුල්ලෝ - කුරුල්ලන්‘ ආදි පද නිපැදෙයි. ඒ අනුව, මෙහි (දන්තජ) ‘ලු‘ යෙදීම නිවැරැදි බව තිර වෙයි. ‘කුරුලුවා - කුරුලුවෝ - කුරුලුවන්‘ ආදි වශයෙන් අග අකුර ද්විත්ව නො වී ‘ව්‘ ආගමයෙන් (ව්) යනු අමුතුවෙන් පැමිණීමෙන් ‘කුරුලු‘ යන්න වර නැඟෙන අයුරු ව්‍යවහාරයෙහි දැකිය හැකි නො වේ.

‘කුරුලු‘ යන්න සහ අනුරූප වෙති යි සිතිය හැකි නාමයක් සංස්කෘතයෙහි හෝ පාලියෙහි හෝ දක්නා නො ලැබේ. ඇතැම් වියත්හු මෙය නිෂ්පන්න (සිංහලයෙහි ම ඇති වූ) නාමයක් සේ ද සලකති. එක් විදේශීය විද්වතෙක් සංස්කෘතයෙහි ‘ගරුඩ‘ යන්නෙන් සිංහලයෙහි ‘කුරුලු‘ යනු නිපන් සේ දක්වයි. එසේ සලකත් හොත් එහි (මූර්ධජ) ‘ළු‘ යෙදීම නිවැරැදි ය. සංස්කෘත පාලි ශබ්දවල ‘ඩ‘ හා අනුරූප වැ සිංහලයෙහි බොහෝ විට (මූර්ධජ) ‘ළ‘ යෙදෙන හෙයිනි.

මනා සේ විමසා බලන කල්හි යථෝක්ත මතය පිළිගත නොහැකි බව පෙනෙනු ඇති. ‘ගරුඩ‘ යනු සිංහලයෙහි (මූර්ධජ) ‘ළු‘ සහිත වැ ‘ගුරුළු‘ යැයි යෙදේ. ‘ගුරුළා - ගුරුළෝ - ගුරුළන්‘ ආදි වශයෙන් එහි වර නැඟීම වේ.

අර්ථය සලකන කල්හි ද ගුරුළු යන්න කුරුලු යන්න හා නො ගැළැපේ. ගුරුළු යනු එක්තරා කල්පිත පක්ෂි විශේෂයෙකි. කුරුලු යනු සර්ව පක්ෂීන් (සියලු සියොතුන්) උදෙසා යෙදෙන්නකි.

දෙමළ බසෙහි ‘කුරුළෛ‘ යන්නෙන් සිංහලයෙහි ‘කුරුලු‘ යනු සැකැසුණු බව ඇතැම් විද්වතුන් ගේ අදහස යි. මේ තව දුරටත් විමැසිය යුතු තැනෙකි. දෙමළ වදනෙහි දු යෙදෙන්නේ (දන්තජ) ‘ල‘ නො වේ.

‘කුරුලු‘ යන්න සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථයන්හි එ තරම් යෙදුණක් නො වේ. එ වුව ද පක්ෂිවාචී අනෙක් වදන්වලට වැඩියෙන් කට වහරෙහි නම් යෙදේ.

Comments