පෙරදිග ග්ලැඩියේටර්වරු අතර ලෙව්කේ දිසාවත් ශක්තිවන්තයෙක් | සිළුමිණ

පෙරදිග ග්ලැඩියේටර්වරු අතර ලෙව්කේ දිසාවත් ශක්තිවන්තයෙක්

අතීතය විනිවිදුම-17

ජන ක්‍රීඩා ගැන කතා කරද්දී අපට රාජාණ්ඩු කාලේ ක්‍රීඩාව කරගෙන ගිය ආකාරය ගැන කතා නොකර ඉන්න බෑ. ඒ කාලේ රජ්ජුරුවන්ගේ ඇත්, අස් බළකා තිබුණා වගේම මල්ලව පොර බළකායකුත් තිබුණා. රටකින් රටකට දූතයෝ ආවොත්, තමන්ගේ රාජධානියේ පවත්වන විශාල උත්සවයකට මල්ලව පොර ක්‍රීඩාව යොදාගැනීමට රජවරු අමතක කළේ නෑ. ඇතැම් මල්ලව පොර තරග මිත්‍ර රාජ්‍යයන් අතරින් පැමිණි ක්‍රීඩකයන් අතර පවා පැවැත්විලා තිබෙනවා.

මේ මල්ලව පොර තරග පවත්වලා තියෙන්නේ නිකං නෙවෙයි. ඒවාට සහභාගි වන ක්‍රීඩකයන්ට ඇතෙක් බරට තෑගි දෙන්න, ගම්වර දෙන්න රජවරු ක්‍රියා කළ බවයි සඳහන් වෙන්නේ.

ඒ නිසා හයිහත්තිය තිබෙන, ගුස්ති අල්ලන්න පුළුවන් පිරිමින්ගෙන් පැවැත ආපු පරපුරු තිබිලා තිබෙනවා. අතීතයේ එන කතාවල දැක්වෙන්නේ සිංහල රජවරු තමන්ගේ රාජ සභා ඇතුළේ සේවයට මල්ලව පොර ශූරයන් යොදවා ගත්තා කියලයි.

ප්‍රතිවාදී ගෝත්‍ර දෙකකට අයත් මල්ලව පොර ශූරයන් අතර සටන් පවත්වා ඇත්තේ සතුට හා විනෝදය වෙනුවෙනුයි.

මේ අතර රජවරුන් ලබාදෙන පඬුරු පාක්කුඩම් නැත හොත් තෑගි භෝගවලට ඇති ලොල් බව නිසාම රට රටවලින් මල්ලව පොර වීරයන් විවිධ රටවලට පැමිණ තිබෙනවා. වෙළෙඳ පන්තීන් සමඟ පැමිණෙන මෙවැනි මල්ලව පොර සටන්කරුවන් රාජ සභාවට පැමිණ තමන් මල්ලව පොර තරගයකට තරග වැදීමට සූදානම් බව ප්‍රකාශ කළ අවස්ථා හිඟ නැහැ. කෙසේ නමුත් රජ කාලේ පැවැත්වූ මෙවැනි මල්ලව පොර තරගවලින් අපේක්ෂා කළේ කාය බලය ප්‍රදර්ශනය කිරීමයි.

ඉතිහාසයේ මෙවැනි කාය බල පෑමක් ගැන අපූරු කතාවක් කියැවෙනවා. මේක සිදුවෙලා තිබෙන්නේ මෙන්න මෙහෙමයි. ඇත් දතක් මුල සිදුරු හතරක් හැරලා හතර අතට නෙරා ඉන්න විදිහට ලී කැලී දෙකක් සවි කරලා ඇත් දත් අගිස්ස පෙනෙන ලෙස පොළොවේ වළ දමනවා.

ඊට පසසේ ඒ දළය වටා ඇත්තු දමා පාගවා පස් තද කරනවා. එවිට මතුවී පෙනෙන ඇත් දළ කොනේ තෙල් ගල්වනවා. ඊට පස්සේ මේ පොළොවේ වැළලූ ඇත් දළ තනි අතකින් ඇද ඉවතට ගන්න මල්ලව පොර ශූරයන් ලෙසින් සැලකෙන සටන්කාමීන්ට යෝජනා කරනවා. දැන් ඔට්ටුව පැහැදිලියි. රජු ඇතුළු ප්‍රභූන් බලා සිටියදී විවිධ සටන්කාමීන් තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කරමින් මේ ඇත්දළ ඉවතට ඇදගන්න උත්සාහ කළා. ඒත් ඒ වැඩේ කරන්න හැකියාව ලැබුණු පුද්ගලයා තමයි ලෙව්කේ දිසාව. ඒ තමයි ඉතිහාසයේ ලෙව්කේ දිසාව ශක්තිමත් මල්ලව පොර ශූරයෙක්, ශක්තිවන්තයෙක් ලෙසට ඉතිහාසගත වී ඇත්තේ.

මල්ලව පොර ගැන තවත් කොටසක් ලබන සතියේ 

Comments