ගුවන් යානා එන්ජිමක නිපදෙන බලයෙන් මලට පහර දී | Page 2 | සිළුමිණ

ගුවන් යානා එන්ජිමක නිපදෙන බලයෙන් මලට පහර දී

 

හරියානා සියුමැල්ලී

ඉන්දියාව දැඩි සංස්කෘතිකවාදී රටක්. අපිට එහෙම කියන්න ඉඩ ලැබෙන්න ප්‍රධාන හේතුවක් තමයි තවමත් එහි කාන්තාවන්ට නිසි තැන නොලැබී යෑම. කාන්තාවන් කුඩා කල සිට අනාගතය සම්බන්ධයෙන් කුමන සිහින දැක්කත් එරට සංස්කෘතික රාමුව තුළ ඇයට අවසානයේ හිමි වන්නේ මුළුතැන්ගෙය. නමුත් එම සම්ප්‍රදාය බිඳ දමමින් මේරිකොම් වැනි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවන් බිහි වුණා. එකී සම්ප්‍රදාය අනුව යමින් “කඩුවක්” මෙන් බැඩ්මින්ටන් පිත්ත හැසිර වූ තරුණියක් 1990 වර්ෂයේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ඉපදුණා. ඇය නමින් සයිනා නේවාල් ය. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉන්දියාවට පළමු ඔලිම්පික් පදක්කම රැගෙන ආ ඇය බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ පළමු ස්ථානයට පැමිණියා.

සයිනා නේවාල් ගේ මව ද දිස්ත්‍රික් මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. ඇගේ මඟ යමින් කුඩා කල සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වූ සයිනා, ඇයට වයස අවුරුදු 8 ක් වන විට හයිද්‍රාබාද් හි ලාල් බහදුර් ශාස්ත්‍රී ක්‍රීඩා ඇකඩමියට එක් වුණා. එහි දී ඇය තමාගේ වයසට වඩා තරුණ, දක්ෂ ක්‍රීඩකයන් සමඟ ආවේගශීලිව ක්‍රීඩා කිරීම දුටු පුහුණුකරුවන් ඇය කෙරේ විශේෂ අවධානයක් යොමු කරන්නට වුණා.

එතැන් පටන් දිනපතා පුහුණුවීම් සිදු කළ සයිනා නේවාල් එහි ප්‍රතිඵලයක් ලෙස 1998 වසරේ විශාකපට්නම් බැඩ්මින්ටන් ප්‍රාන්ත තරගාවලියේ දී රන් පදක්කම් 4 ක් දිනා ගනිමින් ප්‍රාන්ත වාර්තාවක් ද තබන්න සමත් වෙනවා.

“අංක 1 ස්ථානය ගන්න හීන දකිනවා කියන්නේ අනතුරකට අත වනනවා වගේ වැඩක්. වරක් එක් තරගයක දී මම දෙවැනි ස්ථානයට ආව. එහි දී මගේ අම්මගෙන් ලැබුණේ කම්මුල් පාරක් විතරයි. එදා මම හිතා ගත්තා ලෝකෙන් ම අංක 1 වෙනවා කියලා.”

එදා සිට සෑම පුවත්පතකම බැඩ්මින්ටන් ක්‍රීඩාව ඉදිරියේ ඇගේ නම ලියැවෙන්නට පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය අන්තර්ජාතික තරගවලදී ඉන්දියාව නියෝජනය කිරීමට වරම් ලැබුවා. 2003 වසරේ චෙක් ජනරජයේ පැවැති බැඩ්මින්ටන් තරගාවලියකට යෑමට සිටිය දී ඇගේ මව අනතුරකට ලක්ව රෝහල් ගත කිරීම නිසා ඈ දැඩි මානසික පසුබැස්මකට ලක්වුණා. එහෙත් සිය මවගේ සිහිනය සැබෑ කිරීමේ අරමුණින් එම තරගයට සහභාගි වුණු ඇය එහිදී රන් පදක්කම දිනාගත්තා.

එතැන් පටන් ඔලිම්පික් සිහිනය කරා යෑමේ ඇගේ ගමන ඈ වේගවත් කරනවා. ඒ වෙනුවෙන් රාජන් ක්‍රීඩා පුහුණු පාසලට ඇතුළත් වන ඇය එහි දී දැඩි විනයක් ඇතුව පුහුණුවීම් පටන් ගන්නවා. එම පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසයි ඈ 2006

වර්ෂයේ දී පිලිපීනයේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය තුළ ආධිපත්‍යය දරා සිටි චීන

ජාතිකයන්ගේ කිරුළු උදුරා ගන්නේ.

“බැඩ්මින්ටන් පිත්ත කියන්නේ මට කඩුවක්. මම ඒ කඩුව අතට ගත්තට පස්සේ මගේ ප්‍රතිවාදියා පිරිමි කෙනෙක් ද, ගැහැනු කෙනෙක් ද, අන්තැර්ජාතික පදක්කම් ලාභියෙක් ද කියන එක මට වැදගත් නැහැ. මම හිතන්නේ මම ඉන්නේ යුද්ධයක කියලා. මගේ අරමුණ මගේ ප්‍රතිවාදී සතුරා පරාජය කිරීම පමණ යි. ඒ අරමුණ වෙනුවෙන් කාලයක් මගේ ප්‍රේමවන්තයාගෙන් පවා මම වෙන් වුණා.” ඇය වරක් මාධ්‍ය වෙත පැවසුවා.

එම නිසා ම ඉන්දියාව තුළ ඇය හැඳින්වූයේ “කඩුව අතින් ගත් රණ ශූරියක්” ලෙසිනි. ඇයගේ පිත්තෙන් බැඩ්මින්ටන් ෂටලයට ලබා දෙන පහර පැයට කිලෝමීටර් 450කට වඩා වේගයෙන් ප්‍රතිවාදියා සොයා යන අතර එම පහර වැළැක්වීමට කිසිවකුත් සමත් වුණේ නෑ.

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගන්නා ඇය පසු කලෙක ඉන්දියානු වෙළෙඳ ප්‍රචාරණ උගුල ඇතුළට වැටෙනවා. ඒ අනුව ඈ තමන්ගේ දවසේ වැඩි කාලයක් යොදවන්නේ වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටින්න. මේ නිසා ඇයට පුහුණුවීම් මඟ හැරුණා. එහි

ප්‍රතිඵලය වුණේ එකදිගට තරග කිහිපයක් පරාජයට පත්වීමයි. ඒ් අතරම ඇගේ දකුණු පාදයේ අස්ථි බිඳීමක් ද සිදු වුණා. එම ආබාධයත් සමඟ ඇය රෝහල් ගත ව ප්‍රතිකාර ගත්තා. ඊට සමගාමීව රාජන් ඇකඩමියෙන් ඉවත් වීමත් සිදුවුණා. ඒ සමඟ සමාජ මාධ්‍ය මඟින් දිගින් දිගටම සිදුකළේ ඇයව දැඩි ලෙස විවේචනය කිරීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය තම නි‍ෙවස අත-හැර බැංගලූර් නගරයට සංක්‍රමණය වී එහි දී පුහුණුව ලබන්න වුණා. එම පුහුණුවේ ප්‍රතිඵල උරගාන්නට තිබුණේ 2015 වසරේ ඉන්දීය විවෘත බැඩ්මින්ටන් තරගාවලිය. ඈ එම තරගාවලිය ජය ලබා ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වුණා.

තම බැඩ්මින්ටන් දිවිය තුළ තෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන සයිනා නේවාල් එක්වරක් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ අපරිමිත මෙහෙය වෙනුවෙන් 2009 වසරේ අර්ජුන සම්මානය, රජිව් ගාන්ධි කෙල් රත්න සම්මානය (2009-2010), පද්ම භූෂණ සම්මානය (2016) සහ ඉන්දීය ජාතිකයකුට ජීවිතයේ එක් වරක් ලැබිය හැකි පද්ම ශ්‍රී සම්මානයෙන් (2010) ද පිදුම් ලැබුවා.

ගඩොලෙන් ගඩොල පියවරෙන් පියවර ටජ්මහල් ගොඩනැඟුවා සේ ඇය ද පියවරෙන් පියවර එකම අරමුණක් සිතේ තබා ගෙන ලෝකයේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාව වීමේ සිහිනය සැබෑ කර ගත්තා. උත්සාහය, කැපවීම ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව ඇය සියලු ක්‍රීඩකයන්ට පසක් කළේ එහෙම. ඇය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පසු වැඩි ම ආදායමක් ලබන ක්‍රීඩිකාව බවට පත්ව ඇත්තේ එම කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

සයිනා නේවාල් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ “සයිනා” නම් සිනමාපටය 2020 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට තිබුණත් පැවැති කොවිඩ් වාතාවරණය නිසා 2021 මාර්තු මස 26 වැනි දින නිල වශයෙන් තිරගත කළා. මෙම චිත්‍රපටිය තුළ සයිනා නේවාල් ගේ චරිතය දක්ෂ නිළියක් වන පරිනීතී චොප්රා විසින් රග දක්වනවා. හින්දි භාෂාවෙන් නිර්මිත මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අමෝල් ගුප්තා විසින් සිදු කර තිබෙනවා.

 

දිනුක මලින්ද හේරත්

Comments