ක්‍රීඩාව කොවිඩ් සටන මඟහැර යාමක් නොවේ | සිළුමිණ

ක්‍රීඩාව කොවිඩ් සටන මඟහැර යාමක් නොවේ

 

පෙර නොවූ විරූ තරම් වේගයෙන් කොවිඩ් වසංගතය ජන සමාජයේ මුවදොරට පැමිණ තිබේ. අසල්වැසි ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ මේ වනවිට විශාලා නුවර වැනි ය. තැන තැන මිය ගිය මිනිසුන්ගේ සිරුරු ය, ශෝකයෙන් පීඩිතව හඬා වැළපෙන යැපෙන්නෝ ය, මිනී දැවෙමින් ඇති දර සෑයවල් ය. රෝහල් රෝගී වූවන්ගෙන් පිරී ඇත. ශ්වසන අපහසුතා ඇත්තවුන් උදෙසා බෝතල් කළ ඔක්සිජන් සැපයීමේ හිඟතාවක් ගැනද කියැවේ.

මේ සියලු සංසිද්ධීන් අභිමුව ප්‍රබල ඉන්දියාව, දුබල රෝගියකු බවට පත්වෙමින් තිබේ. කෙසේ නමුත් ඉන්දියාව තුළ ක්‍රියාත්මක අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය තවමත් පවතින්නේ සක්‍රිය තත්ත්වයේ ය. කොරෝනා කියා එය නවත්වන පාටක් පෙනෙන්නට නැත. අයි.පී.එල්. තරගාවලිය සංවිධානය කිරීම රෝමය ගිනි ගනිද්දී නීරෝ ගේ වීනා වැයීමකට සමානයැයි අතැම්හු චෝදනා කරමින් ඇත්තේ එහෙයින්ය.

ඉන්දියාව තුළ තත්ත්වය එසේ වද්දී ජපානය ද මෙම වසර මැද දී ඔලිම්පික් තරගාවලිය සංවිධානය කිරීමේ උත්සහය අතහැර නැත. එය එසේනම් එයද 'ලෝකය ගිනිගනිද්ටදී වීණා වැයීමක්ම වන්නේ ද? එහෙත් අප එය දකින්නේ එසේ කියා නොවේ.

අප එවැනි ආස්ථානයක සිටින්නේ කොරොනා වයිරසය යනු මානව සමාජය ආක්‍රමණය කළ පළමු ඛේදවාචකය නොවන බව දන්නා හෙයිනි. මීට වසර දහස් ගණනාවකට පෙර සිටම මානව සමාජය විවිධ අභියෝග වලට මුහුණදුන්හ. එවැනි අභියෝග අභිමුව බිඳනොවැටී සිටීමට අවශ්‍ය ශක්තිය ඔවුන් සපයාගත් ක්‍රමවේද කීපයක් විය. ඉන් එකක් වන්නේ ආගමයි. දෙවැන්න හා තෙවැන්න කලාව හා ක්‍රීඩාව ය.

එය එසේ වන්නේ නම් මානව සමාජය, ගෝලීය වශයෙන් ඛේදවාචකයකට මුහුණ දෙමින් ඇතැයි පවසමින් සියලු සමාජ ක්‍රියාකාරකම් හකුලා, වර්තමානයේදී ද උකටලී ජීවිත ගතකරන්නට අපට හැකියාවක් නැත. අනාගත ගෝලීය ජන සමාජයට අප ජීවත්වන යුගයෙන් ලබාදිය යුතු ශක්තිමත්ම පණිවුඩයක් ඇත. ඒ ඛේදවාචකයක් ඉදිරියේ දෙපයින් නැගීසිට සටන් කිරීමය. එකී අදීන බව මානව සමාජයක් වශයෙන් අප සතුව පවතින අත්හළ නොහැකි යුතුකමකි.

අයි.පී.එල්. හා ඔලිම්පික් තරගාවලි සංවිධානය වීම හා ඊට සැලසුම් සකස් කිරීම යනු පෙරකී අරමුණ අනුමත කිරීමකි. එහිදී නිවැරදි ආකාරයට කොවිඩ් වළක්වන සෞඛ්‍ය උපදෙස් ක්‍රියාවට නැංවීම අතිශය වැදගත් ය. මේබව මනාව අවබෝධ කරගත් ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයෝ දැනටමත් තම තරගාවලි සංවිධානය සම්බන්ධයෙන් වන නීති මාලාවක් නිකුත්කර තිබේ. ඒ නීති මාලාවට අනුව තරගාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයන් ගෙන්වා නොගැනීමටත්, තරගාවලිය අතරතුර සුවිශේෂී කොවිඩ් පරීක්ෂණ මාලාවක් දියත් කිරීමටත් තීරණය කර ඇත.

මෙම නව පරීක්ෂණ මාලාවට අනුව තරගකරුවන් උදෙසා දිනපතා කොවිඩ් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරීමට නියමිතය. ආහාර - පාන ලබාගැනීම, නිදාගැනීම, පුහුණු කටයුතු හා තරග වදින අවස්ථාවලදී හැර මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. ජපානයෙන් පිටත සංචාරය කරන්නේ නම් දුරකථන මෘදුකාංගයක් මගින් සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ඔවුන් සිටින ස්ථානය සොයා දැනුවත්වීමට ද ජපන් සෞඛ්‍ය අංශ දැන්සිටම සූදානම්ය. ජාත්‍යන්තර තරග නරඹන්නන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙල විවෘත නොකරන්නා සේ ම ක්‍රීඩාංගණයට පැමිණ තරග නැරඹිය හැක්කේ එරට ප්‍රේක්ෂකයන්ට පමණි.

කෙසේනමුත් ඔලිම්පික් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන්ට එන්නත්කරණය අනිවාර්ය නොකිරීමට සංවිධායකයෝ තීරණය කර ඇත. එහෙත් තරගාවලිය වෙනුවෙන් එරටට ඇතුළු වන්නවුන් දින තුනක නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු ය. ඊට අමතරව එසේ පැමිණීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණ දෙකක් සිදුකර තිබීම ද අනිවාර්යය.

මලල ක්‍රීඩකයකු නම් ටෝකියෝවේ රැඳී සිටින කාලය තුළ දිනපතා පී.සි.ආර්. පරීක්ෂණ සඳහා මුහුණදීමටත්, සෙසු ක්‍රීඩකයන් මුල් දින තුන තුළ පරීක්ෂණ සිදුකිරීම හා ඉන් අනතුරුව වරින් වර අහඹු පරීක්ෂණයන්ට ලක්කිරීම ද සංවිධායකයන්ගේ පූර්ව සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි ය.

එසේම ගමනා ගමනයේ දී පොදු ප්‍රවාහන සේවා භාවිතයට අවසර නැති අතර සංවිධාකයන් විසන් සපයන ලද වාහන මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමත්, ප්‍රවාහන සේවා ලබාගන්නා අවස්ථාවේ නිශ්ශබ්දව සිටීම, ලබාදී ඇති ආහාර පහසුකම් මගින් පමණක් සිය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම යනාදී වශයෙන් තවත් සෞඛ්‍ය ප්‍රවර්ධන නීති මාලාවක් ද ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ සියලු නීති රීති දමා හෝ පූර්ව හා පූර්ණ ආරක්ෂාව සහිතව තරගාවලි සංවිධානය අතිශය වැදගත්විය. එය එසේ වන්නේ අප පෙරකීවාක් මෙන් දෛනික සමාජ ක්‍රියාකාරකම් සමඟ එක්ව ගෝලීය ව්‍යසන තත්ත්වයන් සමඟ සටන් කළ යුතු නිසාවෙනි. එසේ නොමැතිව ජන ජීවිතය අඩාල කරගනිමින් ගෝලීය ජන සමාජය අකර්මන්‍ය වන්නට ඉඩදෙන්නේ නම් නොබෝ කාලයකින් අපට මුහුණදීමට සිදුවන්නේ මහා ඇබැද්දියකටය.

අනවරත ගමනක යෙදෙන මහා ජන සමාජයේ තවත් එක් යුගයක් ප්‍රතිනිර්මාණය කිරීමේ සාක්ෂිකරුවන් වන අපට නිල වශයෙන් ලැබී ඇති උරුමය ප්‍රතික්ෂේප කරන්නට හෝ අත්හරින්නට නොහැකිය. වසංගත, ව්‍යසන අභිමුව ජන සමාජය නිශ්චලකර, අක්‍රිය කිරීමේ අයිතියක් එහි තාවකාලික උරුමකරුවන් වන අපට හිමිව නැත. ඒ අනාගතය බාරගැනීමට සූදානමින් සිටින්නවුන්ට ව්‍යසනයක් අභිමුව දෙපයින් නැගී සිටි මානව සංස්කෘතික ඉතිහාසයක සාක්ෂිකරුවන් විය යුතු නිසාවෙනි.

එහෙයින් කවුරුන් කෙලෙස පැවසුව ද ආරක්ෂිත ජීව බුබුළු යාන්ත්‍රණය උපයෝගී කරගනිමින් හෝ වෙනයම් ආකාරයකින් ක්‍රීඩා තරග පැවැත්විය යුතුය. ක්‍රීඩකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැටලුවක් නොවන ආකාරයෙන් තරගාවලි සංවිධානය විය යුතුය. එමගින් ත්‍රස්තවීමෙන්, ගිලන් භාවයෙන් හා අවිනිශ්චිත භාවයෙන් පිරුණු සමාජය හැතිකාක් කාලයක් යථාස්වභාවය තුළ පවත්වාගැනීමට හැකිවේ.

විශ්වාසය පවතින්නේනම්, අපේක්ෂා සහගත වන්නේ නම් මානව ප්‍රතිශක්ති පද්ධතියේ ද වැඩිදියුණුවීමක් අපේක්ෂා කළ හැකිය. තවත් ආකාරයකට සමාජය යතාවත් කළ හැකි මෙවලමක් වශයෙන් වඩා සුපරික්ෂාකාරී ලෙස කලාව සහ ක්‍රීඩාව යොදවාගත යුතුව ඇතැයි අප පවසන්නේ එහෙයිනි.

 

Comments