ඉංගිරිසි ඕඩයේ ගිලී ගිය ශ්‍රී ලංකා අභිමානය කුමාර් ආනන්දන් | Page 2 | සිළුමිණ

ඉංගිරිසි ඕඩයේ ගිලී ගිය ශ්‍රී ලංකා අභිමානය කුමාර් ආනන්දන්

 

1984 අගෝස්තු මස 7 වැනිදා දිනපතා සන්ධ්‍යා ‘ඔබ්සර්වර්’ පුවත්ප‍ෙත් ප්‍රධාන සිරස්තලයෙන් ගෙනවේ දුක් මුසු පුවතකි.

 

‘මෙම ලිපියට වස්තු බීජය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ය. ඒ පසුගියදා තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ පිහිනමින් තැබූ නව වාර්තාව සමඟිනි. මේ එමඟින් මතකයට එන ශ්‍රී ලංකා ගිනස් වාර්තා අතර අමතක නොවන වාර්තා ගැන තැබෙන සටහනකි.’

පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනීම සඳහා රොෂාන් ගත කළ කාලය පැය 28 මිනිත්තු 19 තත්පර 43 කි. ඔහුගේ මෙම ප්‍රයත්නයට වසර 46 කට පෙර එනම් 1975 දී පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට කුමාර් ආනන්දන් එය සම්පූර්ණ කළේ පැය 51 ක කාලයක් තුළය.

කෙසේ නමුත් ගිනස් වාර්තා ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් කළ විශිෂ්ටතමයා අන් කවරකුවත් නොව කුමාර් ආනන්දන් ය. ශක්තිය, දරාගැනීමේ හැකියාව අතින් විශිෂ්ටයකු වූ කුමාර් පිහිනීමෙන්, ඇවිදීමෙන්, පාපැදි පැදීමෙන්, බර ඉසිලීමෙන් සහ සමබරතාවය රඳවා ගැනීමෙන් වාර්තා ගණනාවක් පිහිටුවූ අපූරු ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතිකව පළමු වරට කීර්තියට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 30 කි. ඒ ප්‍රථම වතාවට පිහිනුම් ක්‍රීඩකයෙකු වශයෙන් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාව දක්වා පිහිනා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමිනි.

ඒ වන විට දෙරට අතර එකවරක් පමණක් පිහිනා තිබුණේය. එම පිහිනීමේ වාර්තාව සමඟ තවත් වාර්තා පිහිටු වන්නට කුමාර් සතු අධිෂ්ඨානය, දරා ගැනීමේ ශක්තිය සහ කැපවීම ගැන කතාබහට ලක් වුණේ ය. ඒ කතාබහ පසක් කරමින් කුමාර් ගිනස් පොතට තවත් වාර්තා කිහිපයක් එක් කරනු ලැබ තිබේ. ඒ වාර්තා අතර,

මදුරාසියේ පිහිනුම් තටාකයක දී පැය 80 ක් පිහිනීම.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය වටා නොකඩවා පැය 180 ක් පාපැදි පැදීම. 1968 වසරේ දී ඉතියෝපියාවේ සෙයිද් නවාබ් විසින් පැය 168 ක් මෙලෙස පාපැදි පැද තබා තිබුණ වාර්තාව බිඳ වැටුණේය.

දිය මත රැඳී සිටීමේ වාර්තාව පැය 60 මිනිත්තු 45, එක්සත් ජනපදයේ ඩොන් ලුවිස් පිහිටුවා තිබුණ පැය 52 වාර්තාව බිඳී ගියේය.

කොළඹදී සතියක් එක දිගට ඇවිදීම.

එකම දිනයක දී ලෝක වාර්තා පහක් පිහිටුවීම. ස්ප්‍රින් 5 ක් තත්පර 58 ක් තුළ දී 38 වාරයක් ඇදීම. බිම ඉඳගෙන දෙපය ඉදිරියට විහිදුවා දණිස් මත හිස ගෑවීම. මිනිත්තු 2 කදී 165 වාරයක් තම බරට සමාන බරක් ඔසවා ගෙන නැඟිටීම සහ පාත් වීම. - තම බරට සමාන බරක් ඔසවා ගෙන තනි කකුලෙන් සිටීම. (මිනිත්තු 6) එම වාර්තා අතර වෙයි.

පැය 33 ක් තනි කකුලෙන් සිට ගෙන සිටීම.

රාත්තල් 75 ක බරක් වැඩිම කාලයක් උරහිස මත තබා ගෙන සිටීම. යන ඒවා වෙයි.

කුමාර් මෙම වාර්තා තැබුවේ 1975 - 83 සමයේ දී ය. ඔහුගේ එම වාර්තා-වලින් පාපැදි පැදවීම, තනි කකුලෙන් සිට ගෙන සිටීම සහ නොකඩවා ඇවිදීම දැක ගැනීමේ අවස්ථාව මෙම ලියුම්කරුවාට ද ලැබුණේය. ඔහු තුළ තිබූ දරා ගැනීමේ ශක්තිය එදා කදිමට අප දුටුවේය.

සෑම වාර්තාගත අවස්ථාවක් අවසා-නයේ කුමාර් මාධ්‍යවේදීන්ට කීවේ තවත් එවැනි වාර්තා පිහිටුවන්නට තමා සූදානම් බවය. එම ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන 1984 දී ඔහු එංගලන්තයට ගියේ තවත් ලෝක වාර්තාවකට සම්මාදම් වන්නටය. ඒ එංගලන්තය සහ ප්‍රංශය අතර තිබෙන සැතපුම් 20 ක් දුරැති ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමටය.

නමුත් 1984 අගෝස්තු මස 7 වැනිදා ලේක් හවුස් පුවත්පත් ආයතනය පළ කළ දිනපතා සන්ධ්‍යා “ඔබ්සර්වර්” පුවත්ප‍ෙත් ප්‍රධාන සිරස්තලයෙන් ගෙනවේ දුක් මුසු පුවතකි. ඒ ඉංග්‍රීසි ඕඩය අඩක් පිහිනා යද්දී අධික සීතල නිසා සිහිසන් නැති වූ කුමාර් ආනන්දන් මිය ගිය බවයි. බොහෝ දෙනා එක්ව ප්‍රතිකාර ලබා දුන්නද පසුව ගුවන් මඟින් රෝහලට ගෙන යන විටත් කුමාර් මෙලොවින් සමුගෙන තිබුණේය. එංගලන්තයට යන විට තරමක් රෝගී තත්ත්වයෙන් පසු වූ කුමාර්ට එකී වාර්තාව තැබීමේ ප්‍රයත්නය අත්හරින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබා දුන්නද මේ දිරිමත් මිනිසා තම නම මෙන්ම රටේ නම වෙනුවෙන් එකී ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට උත්සාහ කළේ ජීවිතය ද පරදුවට තබමිනි.

නව වාර්තාව තැබූ රොෂාන් අබේසුන්දර හා කුමාර් ආනන්දන් සමඟ ගිනස් පොතට ගිය අනිත් ශ්‍රී ලංකා නාමය සුරේෂ් ජෝකිම්ය. 1997 දී දින හයක් ධාවනයේ යෙදෙමින් සුරේෂ් සිඩ්නි නුවරදී කිලෝමීටර් 1027 ක වාර්තාවක් තැබුවේය. ඔහු මෙම වාර්තාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාව තෝරාගෙන තිබුණේ එහි කාලගුණය නිසාය. වාර්තාව පිහිටුවීමේ දී සුරේෂ් නිදාගෙන තිබුෙණ් පැය 10 ක් පමණි. මේ හැර මෝටර් රථ ධාවනයෙන් පසුපසට ඇවිදීමෙන් සහ නැටුමෙන් ද සුරේෂ් වාර්තා තබා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු 952 ක වැඩිම ටෙස්ට් ලකුණු වාර්තාව, මුත්තයියා මුරලිදරන්ගේ ටෙස්ට් කඩුලු 800 වාර්තාව, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ ලකුණු 624 වැඩිම ටෙස්ට් සම්බන්ධතා වාර්තාව සහ චමින්ද වාස්ගේ ලකුණු 19 කට කඩුලු 8 ක් දවාලීමේ එක්දින පන්දු යැවීමේ වාර්තාවද ගිනස් වාර්තා පොතේ ක්‍රිකට් අංශයේ තාමත් සටහන්ව තිබෙන බව අභිමානයෙන් සිහි කළ යුතුව ඇත.

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments