ඇට්කින්සන්ගේ හිතවතා වූ ශ්‍රී ලංකා පිලේ ධනවතා ධනංජය ද සිල්වා | සිළුමිණ

ඇට්කින්සන්ගේ හිතවතා වූ ශ්‍රී ලංකා පිලේ ධනවතා ධනංජය ද සිල්වා

 

දසක හය හමාරක නොබිඳුණු වාර්තාවක සම ගෞරවය නම ඉදිරියේ ලියාගනී

පල්ලෙකැලේ පැවැති ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගයේ දී වසර 66 ක් පැරණි වාර්තාවක් සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා සමත් විය. පළමු ඉනිමේ දී බංගලාදේශය කඩුලු 7 ක ට ලකුණු 546ක් එක් කළ, අතර.එහි දී ධනංජය ද සිල්වා පන්දු යැවීමේ දී පන්දුවාර 30 ක් යවා ලකුණු 130 ක ට කඩුල්ලක් ද දවා ගත්තේය.

අනතුරුව බංග්ලාදේශ නායකයාගේ ඇරැයුමෙන් පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තෙවැනි දිනය නිමා වෙද්දී ත් සිව්වැනි දිනය ආරම්භයේ දී ත් කඩුල්ලේ රැඳී සිටි දිමුත් කරුණාරත්න සමඟින් ධනංජය ද සිල්වා 4 වන දිනය පුරාවටම කඩුල්ලේ රැඳෙමින් ලකුණු 322 ක සබඳතාවයක් ගොඩනැංවීය. එහිදී ධනංජය ද සිල්වා විසින් වාර්තාවක් පිහිටුවීමට සමත්වීම කැපී පෙනෙයි. ඒ පෙර දින පන්දුවාර 30 ක් යවා පසුදින දිනය පුරාවටම කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිතිකරණයේ යෙදෙමිනි. ඒ ආකාරයෙන් පන්දුවට පහරදුන් ක්‍රීඩකයෙක් ගැන ජගත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සඳහන් වෙයි.

එහි පළමු වැන්නා වනුයේ ඩෙනිස් ඇට්කින්සන් ය. ඔහු 1955 මැයි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්හි බ්‍රිජ්ටවුන් හි පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙවැනි දස්කමක් දක්වා තිබේ. ඇට්කින්සන් මෙම තරගයේ දී, ඔස්ට්‍රේලියානු මුල් ඉනිමට එරෙහිව පන්දුවාර 48 ක් යවමින් ලකුණු 108 ක ට කඩුලු 02ක් බිඳ දැමූ අතර,කොදෙව් මුල් ඉනිම වෙනුවෙන් විනාඩි 351 ක් පන්දුවට පහර දෙමින් ලකුණු 219ක් රැස් කළේය.

ඉන් වසර 66 ක ට පසු මෙම දස්කම පෑ ලොව එකම ක්‍රීඩකයා වන්නේ ධනංජය ද සිල්වා යි. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සඳහා දෙවන ඉහළම සබඳතාවය ගොඩනැගීමට ද දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා සමත් විණි. ඒ ලකුණු 322 ද සබඳතාවයක් ගොඩනගමින්ය.

 

Comments