වසරකට පසු සැමරූ අවු­රුදු | Page 2 | සිළුමිණ

වසරකට පසු සැමරූ අවු­රුදු

දා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමාවට පත් වූයේ බක්මහ වසන්තය, සැබෑ වසන්තයක් බවට පත් කරමිනි. ඊට හේතු වූයේ කොරෝනා වසංගතය නිසා පසුගිය වසරේ නිවෙස්වලට කොටු වී සිටි අයට බක්මහේ අසිරිය විඳ ගැනීමට නොහැකි වීමෙන් සිත් තුළ ජනිත වූ කනස්සල්ල මේ වසරේ දුරු වී යෑමයි.

පසුගිය වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබීමෙන් ජනතාවට සිත් සේ අවුරුදු සැමරීමට හැකි වූයේ නැත. සමහරුන් කැවුම් කොකිස් පිළියෙල කර කිරිබතක් පිසගෙන නිවසට වී අවුරුදු චාරිත්‍ර සමරනු ලැබුවද ඇතැමුන්ට නම් කිරිබතක්වත් පිස ගැනීමට හැකියාවක් තිබුණේ නැත. මහගෙදරට පැමිණ මවුපියන්ට බුලත් දී වැඳීම, නෑගම් යෑම, තෑගිබෝග දීම වැනි චාරිත්‍ර වාරිත්‍ර කිසිවකට ගිය වසරේ ඉඩකඩක් තිබුණේම නැත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ගියේ බක්මහ වසන්තයට හමා ආ කුණාටුවක් ලෙසිනි.

‍එහෙත් මේ වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ජනතාවට වසන්තය රැගෙන ආ අලුත් අවුරුද්දක් බවට පත්වූ බව රහසක් නොවේ. විශේෂයෙන් හතේහත වැදී සිටි වෙළෙඳුන්ට මේ අලුත් අවුරුද්ද සතුට උතුරා ගිය අවුරුද්දක්ම විය.

“මම දන්න කාලේ ඉඳලා රතිඤ්ඤා ව්‍යාපාරයට හොඳම අවුරුද්ද වුණේ මේ අවුරුද්ද. කොරෝනා වසංගතය නිසා මේ අවුරුද්දත් අවුල් වෙයි කියලා අපි හිතුවේ. ඒත් ඒකේ අනිත් පැත්ත සිද්ධ වුණේ. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ අපේ ව්‍යාපාර හොඳටම කඩාගෙන වැටුණා. පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය ඒකට හේතු වුණා. ඒත් මේ අවුරුද්දේ ඉල්ලන ප්‍රමාණයට දෙන්න අපි ළඟ රතිඤ්ඤා නැහැ.” යනුවෙන් පැවසුවේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි කර්මාන්තයේ නිරත සේපාල ප්‍රනාන්දුය.

ගිනිකෙළි කර්මාන්තපුරය වූ කිඹුලාපිටියට මෙවර අතමිට සරු වී තිබෙන්නේ රතිඤ්ඤා, අහස්කූරු, බඹරචක්‍ර ඇතුළු ගිනිකෙළිවලට හොඳ වෙළෙඳපොළක් තිබුණු නිසාය. මුළු ලංකාවටම රතිඤ්ඤා බෙදාහරින කිඹුලාපිටිය කේන්ද්‍ර කරගෙන බිහි වී ඇති ගිනිකෙළි කර්මාන්තයට ඍජුව හා වක්‍රව පවුල් 3000ක් පමණ සම්බන්ධ වී සිටිති. බම්බු සකස් කිරීම, වෙඩි බෙ‍ෙහත් පුරවා නූල් දැමීම, ආකාසවලට ඉරටු දැමීම යනාදි වශයෙන් පියවරෙන් පියවර මෙය සිදු වන අතර මේ සඳහා කිඹුලාපිටිය අවට ගම්වාසිහු ද වක්‍ර වශයෙන් දායක වී සිටිති. සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලයට ගිනිකෙළි නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් විසින් වැඩ පටන් ගනු ලබන්නේ දෙසැම්බර් මාසයේදීය.

“අද රටේ තිබෙන වාතාවරණය එක්ක මේ සිංහල අවුරුද්ද ගැන ඒ තරම් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. පසුගිය අවුරුදු දෙකේ ගිනිකෙළි කර්මාන්තය හොඳටම කඩා වැටිලා තිබුණු නිසා මිනිස්සු දහඅතේ ණය වුණා. බැංකු ණය ගෙවාගන්න බැරිව හිරවුණා. වාහන ලීසිං ගෙවා ගන්න බැරිවුණා. ඒනිසා මේපාර මිනිස්සු බඩු හදලා ස්ටොක් කරගත්තේ නැහැ. ඒත් මේ පාර අපේ බඩු සේරම ඉවර වුණා. අපෙන් ඉස්සර ඉඳන් බඩු ගන්න කට්ටියක් ඉන්නවා. ඒ අයට දෙන්න විතරක් මා ළඟ බඩු ටිකක් ඉතුරු කර ගත්තා. ඇත්තම කියනවා නම් මේපාර අවුරුද්දෙ අපි ගොඩ ගියා.” යනුවෙන් රතිඤ්ඤා කර්මාන්තයේ නිරත වී සිටින ජයමිණි නිරෝෂා පැවසුවාය.

මෙවර අතමිට සරු වූයේ ගිනිකෙළි කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන්ට පමණක් ‍නොවේ. රෙදිපිළි වෙළඳාමේ යෙදුණු අයට වචනයක් දෙකක් කතා කිරීමටවත් ඉස්පාසුවක් තිබුණේ නැත. ඒ තරමටම කාර්ය බහුල ය. පසුගිය වසරේ ලක්ෂ ගණනක් වියදම් කර රෙදිපිළි මිලදී ගෙන අප්‍රේල් මාසයේ වෙළඳාමට සැරසී සිටියදී මාර්තු මාසයේ කොරෝනා හේතුවෙන් රටටම ඇඳිරි නීතිය පැනවීමත් සමඟ වෙළෙන්දන්ගේ මුදල් හිරවීම නිසා ඔවුහු අන්ත අසරණ තත්ත්වයකට පත්වූහ. එපමණක් නොව වෙළඳසැලේ රෙදිපිළි අලෙවි කරන සහායකයන්ට කෑමබීම සැපයීමට ද සිදු වූහ. එවැනි අර්බුද රැසක් මැද කල්ගත කළ රෙදිපිළි වෙළඳුන් පදික වේදිකාවේත් සුපර් මාර්කට්වලත් වෙළඳාමේ නිරත වූයේ දියපොදක් බීමටවත් කාලය වැය නොකරමිනි. රෙදිපිළි මිල දී ගැනීමට පොදිකන ජනගඟ දෙස බැලූ විට ඔවුන්ට කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම අමතක වූ බවක් දක්නට ලැබිණි. සිංහල අලුත් අවුරුද්දට පෙර සතියේ දිනක මහරගම පමුණුව පාර වසා දමා තිබුණේ රෙදිපිළි මිලදී ගැනීමට පැමිණි ජනගඟ පාලනය කර ගැනීමට අසීරු වූ නිසා ය. ප්‍රධාන පෙළේ රෙදිපිළි ප්‍රදර්ශනාගාරවල ද පවුල් පිටින් හවුල් වී සාප්පු සවාරියේ යෙදෙන අයුරු අපට දැකගත හැකි විය.

එහෙත් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රසකැවිලි නිෂ්පාදනයේ යෙදී සිටින අයට නම් වාසිදායක වූයේ නැත. ඊට හේතු වූයේ රසකැවිලි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමයි. මුංඇට කිලෝවක මිල රු:980.00ක් ‍ලෙසත් උඳුවළලු සෑදීමට ගන්නා උඳුපිටි කිලෝවක මිල රු: 1800.00ක් ලෙසත් කොකිස් වර්ණ ගැන්වීමට යොදා ගන්නා කහකුඩු ග්‍රෑම් 50ක මිල රු:300.00 ලෙසත් වෙළෙඳපොළේ මිල දර්ශකවල සටහන් විය. මීට අමතරව කරඳමුංගු ග්‍රෑම් 10ක් රු: 200.00ක් විය. පොල්තෙල් බෝතලයක මිල රු:400.00කි. පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු වී තිබීමත් රසකැවිලි කර්මාන්තකරුවන්ට මරු පහරක් විය.

“මේ පොල්තෙල් ප්‍රශ්නය නිසා අපෙන් කැවුම් කොකිස් ගන්න එන අය පොල්තෙල්වල තත්ත්ව සහතික හොයනවා. මේ කැවුම් බදින්නේ පිළිකාකාරක පොල්තෙල්වලින් ද කියලා අහනවා.” යනුවෙන් සඳහන් කළේ රසකැවිලි කර්මාන්තයේ යෙදී සිටින බැද්දගානේ පදිංචි එම්.ඒ. ඥානසීලි ය.

“සමහරු කැවුම් කොකිස් පරික්ෂා කරන්නේ හරියට රසායනාගාරවලින් ආවා වගෙයි. එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම දවස ඉවරයි. වෙන අවුරුදුවලදී කරගන්න බැරි තරම් ඕඩර් ලැබෙනවා. අතමිට සරු වෙනවා. ඒත් මේ පාර දෙන්න සිද්ධවෙලා තියෙන්නේ අතින් දාලා තමයි. ගිය අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා රසකැවිලි කර්මාන්තය කඩාගෙන වැටුණා. මේපාර ගොඩ ගන්න පුළුවන් වේවි කියලා හිතුවා. ඒත් අමුද්‍රව්‍යවල මිල ගණන් දැක්කාම රසකැවිලි හදන එක නවත්තලා දාන්න හිතෙනවා.” ඈ තවදුරටත් අදහස් දැක්වූවාය.

“මේ වෙන‍කොට මුංඇට කිලෝවක මිල එක්ක මුං කැවුමක් රු: 50කටවත් දෙන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. හාල්, පොල්, පොල්තෙල්, පැණි, සීනි මේ සේරම එකතු වෙන්නත් ඕනෑනේ. මුංකැවුමක් රු:50යි කියන්න බැරිකමට මම රු: 40කට විකුණුවා. පැණි කැවුමක් රු:35යි. කොකිසක් රු:20යි. උඳුවළලු වලට මිල නියම කරන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි ගණන් කිව්වාම මිනිස්සු දුවනවා. මේ දවස්වල පාඩුපිට තමයි අපි රසකැවිලි කර්මාන්තය කරන්නේ. බඩුවල ගණන් ඇහුවාම එලොව පොල් පෙනෙනවා. එහෙම වුණා කියලා අපිට හදන කෑම වලට බොරු කරන්න බැහැනේ.” යනුවෙන් සඳහන් කළේ රසකැවිලි කර්මාන්තයේ යෙදී සිටින මාදින්නාගොඩ ටී. අනුර ය.

වෙළෙඳ‍ෙපාළේ පවතින පොල්තෙල්වල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා ‍කිරීමට නොහැකි බැවින් තම දරුවන්ට පිළිකාකාරක පොල්තෙල්වලින් බැද ගත් කැවුම් කොකිස් නොදෙන බව හෝකන්දර පදිංචි ඉන්ද්‍රාණි ජයවර්ධන පැවසුවාය. ඈ මෙවර සිංහල හා ‍දෙමළ අලුත් අවුරුදු කෑම මේසය පිළියෙල කර ඇත්තේ කැවුම්, කොකිස්වලින් තොරවය. ඒ වෙනුවට අළුවා, අග්ගලා රසකැවිලි පිළියෙල කළ බව ද ඈ සඳහන් කළාය. ගම්පහ පදිංචි නිලන්ති රාජපක්ෂ පැවසුවේ කැවුම්, කොකිස් ඇතුළු රසකැවිලිවල මිල අසා මිලදී නොගෙන නිවසට පැමිණි බවය. ඊට හේතුව මේ වන විට අර්ධ ව‍ශයෙන් හිමිවන වැටුපෙන් රසකැවිලි මිලදී ගැනීමට තරම් ඇයට හැකියාවක් නැති බැවිනි.

එහෙත් අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් නුවරඑළිය බලා ගිය ජනතාව මෙවර ඉහළ ගොස් ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලටම කොටු වී සිටි ජනතාව මෙවර කලඑළි බැස විනෝද වෙන බවක් පෙනේ. නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න පැවසුවේ මෙවර නුවරඑළිය නගරයට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවය. මේ හේතුවෙන් නවාතැන් ගන්නා ස්ථාන ද පිරී ගොස් තිබේ.

“නුවරඑළිය නගරයට පැමිණෙන සංචාරකයන්ට අපි මතක් කරන්න කැමතියි නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් නගරයේ සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම නුවරඑළියට එන්න කලින් නවාතැන් පහසුකම් වෙන් කරවාගෙන පැමිණෙන්න කියලා මම ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න ඉල්ලීමක් කිරීමට ද අමතක කළේ නැත.

මේ අතරවාරයේදී කොරෝනා රැල්ලක අවදානම ගැන නිරන්තරයෙන් සිහිපත් කරනු ලබන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා ය. කොරෝනා අවදානම ගැන කිසිදු වගවිභාගයකින් තොරව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත නොකරමින්, සමාජ දුරස්ථභාවය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කරන ජනතාව මඟින් ඉදිරියේදී තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි බව ඔහු පෙන්වා ‍දුන්නේය. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් යළිත් රට වැසීමට සිදුවන බව ද ඔහු සිහිපත් කළේය.

සිංහල අලුත් අවුරුදු දිනයේදී (14) පමණක් රිය අනතුරුවලින් මරණයට පත්වූ සංඛ්‍යාව 14ක් විය. දිනකට 8ක් මහමඟ මිය යන රටේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දවසේ පමණක් 14 දෙනකු මරණයට පත්වීම නම් ඛේදනීය තත්ත්වයකි. ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දවසේ රිය අනතුරු 121ක් සිදු වී ඇති බවය. එයින් අනතුරු 12ක් අධිවේගි මාර්ගවල සිදු වී තිබුණු අතර යතුරුපැදි අනතුරු 53ක්ද ත්‍රිරෝද රථ අනතුරු 30ක්ද සිදු වී ඇති බව ඔහු දැනුම් දුන්නේය. අප්‍රේල් 14 වැනිදා සිදු වූ රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74කි. අප්‍රේල් 14 සහ 15 යන දෙදින තුළ සිදු වූ රිය අනතුරුවලින් පැය 48ක් තුළ මරණයට පත් වූ සංඛ්‍යාව 30කි. තුවාල ලැබූ සංඛ්‍යාව 150කි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින මොහොතක එය දුක් සුසුම් හා කඳුළු ගංගාවලින් සේදී යෑම සැබැවින්ම කනගාටුදායකය.

 

Comments