වර­ද­වන ‘ල - ළ’ යෙදුම් තවත් විමසා බලමු | සිළුමිණ

වර­ද­වන ‘ල - ළ’ යෙදුම් තවත් විමසා බලමු

‘හරි වහරින්‘ මේ දිනවල දිගටම විමසන ලදුයේ (දන්තජ) ‘ල‘ වෙනුවට (මූර්ධජ) ‘ළ‘ වරදවා යොදන තැන් පිළිබඳව ය. මෙවරත් එබඳු යෙදුම් කිහිපයක් විමැසිල්ලට ලක් කරමු. ‘ල‘ වෙනුවට ‘ළ‘ යොදන ක්‍රියා කිහිපයක් කලින් විමසා බලන ලදි. තවත් එබඳු යෙදුමක් ලෙස ‘පලඳ‘ යන ක්‍රියා මූලය (ධාතුව) දැක්විය හැකිය. මේ නිවැරැදි රූපය වෙනුවට (මූර්ධජ) ‘ළ‘ සහිත ‘පළඳ‘ යන්නත් බොහෝ දෙනා යොදති. බස් වහරෙහි බැසගත් දැනුමෙන් හොබනා ඇතැම් වියතුහුදු මෙසේ යොදනු දැක්ම දොම්නසට කරුණු වෙයි.

 

පාලියෙහි මේ හා අනුරූප වැ ‘පිලන්ධ‘ යන්න යෙදේ. එහි දු (දන්තජ) ‘ල‘ කාරය විනා (මූර්ධජ) ‘ළ‘ නො යෙදේ. ‘පලඳ‘ යන්නෙහි ‘ල‘ විනා “ළ‘ නොයෙදෙන බවට එ ද සාක්ෂ්‍යයෙකි. ‘පලඳ‘ යන ධාතුව වර නැඟෙනුයේ ‘ඊ, ඉති‘ආදි විභක්ති ප්‍රත්‍යය ගනිමිනි. එනම් පලඳී (පලඳියි) - පලඳිති - පැලැඳි ආදි වශයෙන් ආත්මනේ පද හා කර්ම කාරක ප්‍රත්‍යය ගත් කල්හි

පැලැඳේ - පැලැඳෙති - පැලැඳිණි - පැලැඳුණු ආදි වශයෙන් වර නැඟේ. ධාතු වර නැඟීම් නිතරම දැක්වෙනුයේ බොහෝ විට සාවද්‍ය ක්‍රියා රූප යොදනු දක්නා ලැබෙනා හෙයිනි. එ නයින් ‘පලඳයි‘, ‘පලඳති‘ වැනි රූප වැරැදි වේ. එහෙත් ප්‍රයෝජ්‍ය ක්‍රියා පද ලෙස යෙදෙන ‘පලඳවයි‘, ‘පලඳවති‘ ආදි නිවැරැදි වේ. කුමන ක්‍රියා මූලයක් - ධාතුවක් වුවත් ප්‍රයෝජ්‍ය ක්‍රියාවෙහි දී වර නැඟෙන්නේ එකම අයුරිනි. එනම් ආ - අති - ඊ - ඌ යන ප්‍රත්‍යය ගනිමිනි.

මෙසේ නිතර වරදවා යොදන තවත් ක්‍රියාවක් ලෙස ‘සලක‘ යන්න සැලැකිය හැකි යි. බොහෝ දෙන මෙය ලියනුයේ (මූර්ධජ ‘ළ‘ සහිතව) ‘සළක‘ යනුවෙනි. එහෙත් ඒ මහත් වරදෙකි.

‘සලක‘ යන්නට අනුරූප වැ සංස්කෘතයෙහි යෙදෙන්නේ ‘සංලක්ෂ්‘ යනුයි. ඒ වනාහි ‘ලක්ෂ්‘ යන ධාතුවට හෙවත් ක්‍රියා මූලයට ‘සං‘ උපසර්ගය එකතු කොට නිපදවා ගැනුණෙකි. ඒ හා අනුරූපව පාලියහි යෙදෙනුයේ ‘සංලක්ඛ‘ යනුයි. එසේ වුවද සංස්කෘත පාලි දෙක්හිම මෙහි (දන්තජ) ‘ල‘ යෙදෙන සැටි වෙසෙසින් සැලැකුව මනාය.

සිංහලයෙහිදු එනයින්ම යෙදෙනුයේ දන්තජ ල ය. එහෙයින් නිවැරැදි රූපය ‘සලක‘ යනු මය. මේ ධාතුව ‘සලකා (සලකයි) - සලකති - සැලැකී - සැලැකූ‘ යනුවෙන් ද ‘සැලැකේ - සැලැකෙති - සැලැකිණි - සැලැකුණු‘ යනුවෙනි.

මෙසේ ම ‘සලකුණු‘ යන නාමයෙහි ද (දන්තජ) ‘ල‘ ම යෙදෙන බව සැලැකිය යුතුය. සංස්කෘතයෙහි ‘සංලක්ෂණ‘ යනු ද පාලියෙහි ‘සල්ලක්ඛණ‘ යනු ද එයට අනුරූපව යෙදෙන වදන් වෙයි.

‘ල‘ යෙදිය යුතු තන්හි වරදවා ‘ළ‘ යොදන තවත් ක්‍රියා රූපයක් ලෙස ‘පාල‘ යනු දැක්විය හැකි වේ. බොහෝ වියතුනුත් මෙය යොදන්නේ ‘පාළ‘ යනුවෙන් (මූර්ධජ ‘ළ‘) සහිත වැ ‘පාළයි - පාළති) ආදි වශයෙනි. එහෙත් ඒ වරදෙකි. මෙහි නිවැරැදි වනුයේ (දන්තජ) ‘ල‘ යෙදීම ම ය.

සංස්කෘතයෙහි හෝ පාලියෙහි හෝ ඍජුව මේ හා අනුරූප වන්නක් ඇතැයි දැකිය නොහැකිය. වෙනත් බසෙකිනුදු මේ හා ඍජු වැ සම වන්නක් සොයා ගැනීම දුෂ්කර වේ. එ වුව ද, එතරම් නිසැක නැත ද සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද සමාන වැ යෙදෙන ‘චල‘ යන රූපය මේ සිංහල ‘පාල‘ ධාතුවට අනුරූපී වන අයුරු පෙනී යයි. අරුත් විසින් ගත් කල ‘චල‘ යන්නෙන් සෙලැවීම, ගමන් කිරීම, චලනය යන අරුත් ගැනේ. ‘සල‘ යන සිංහල ක්‍රියා මූලය ඒ සමඟ මුළුමනින් සම අරුතක් ගෙන දෙයි. ඒ ‘සල‘ යනු ම (‘ස‘ ‘හ‘ බවට පත්වීමෙන්) පාල වූ හයි සිතීම වැරැදි නොවේ. ‘සල‘ යන්නෙහි ද (දන්තජ) ‘ල‘ ම යෙදෙන බව සැලැකිය යුතුය.

‘හල‘ ධාතුව වර නැඟෙන්නේ ‘හලා (හලයි) - හැලති - හැලී - හැලූ‘ ආදි වශයෙනි. ඒ අනුව ගත් කල බොහෝ විට යොදනු ලබන ‘හැළූ‘ යන අතීත කාල රූපය වැරැදි වෙයි. ‘හැලූ‘ යන්නම නිවැරැදි වෙයි.

ආත්මනේ පදයෙහි ද කර්ම කාරකයෙහි ද මේ ක්‍රියාව වර නැඟෙනුයේ ‘හැලේ - හැලෙති - හැලිණි - හැලුණු‘ ආදි වශයෙනි.

සිංහලයෙහි ‘හෙළ‘ (හෙළීමෙහි) ධාතුවක් වෙයි. එහි එන (මූර්ධජ) ‘ළ‘ හා පටලවාගැන්ම නිසා ‘හළ‘ යන අපව්‍යවහාරය හෙවත් වැරැදි රූපය සිංහලයෙහි බහුව්‍යාප්තියෙන් යෙදෙන බව පෙනී යයි.

‘හළ‘ යන්නෙහි ද අරුතක් වෙයි. එනම් හරින ලද, ඉවත් කරන ලද යනුයි. එ අරුත මෙහිලා නො යෙදේ.

‘හල‘ යන (දන්තජ) ‘ල‘ කාර පදය නාමයක් වශයෙන් ද යෙදෙයි. එ කල එහි අරුත වනුයේ ‘ශාලාව‘ යනු යි.

Comments