මිය­න්මා­රයේ හිරවූ ලාංකික ධීව­ර­යන්ගේ අව­න­ඩුව | සිළුමිණ

මිය­න්මා­රයේ හිරවූ ලාංකික ධීව­ර­යන්ගේ අව­න­ඩුව

මියන්මාර අත්අඩංගුවේ පසුවන ධීවරයෝ
මියන්මාර අත්අඩංගුවේ පසුවන ධීවරයෝ

සුගිය ජනවාරි 27 වැනි දින ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ත්‍රිකුණාමලයේ කෝඩ්-බේ වරායෙන් ධීවරයින් 12 දෙනෙකු රැගත් මයෝමි (IMUL-A-1217MTR) සහ සාගර කුමාර 04 (IMUL-A-0254CHW)ට්‍රෝලර් යාත්‍රා දෙක ගමන් ඇරඹීය. සාමාන්‍යයෙන් මසක් පමණ ගතවන මෙම ගමන සඳහා ප්‍රමාණවත් ආහාර, ජලය සහ ඇඳුම් ඔවුන් සතු වූ අතර, ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් පවා ඔවුන් සතු විය. මෙම ධීවරයන් දෙවුන්දර, මහවැව, තිස්සමහාරාම, සිරම්බිඅඩිය, තොඩුවාව, මාරවිල සහ හලාවත යන ප්‍රදේශවලට අයත් ධීවරයෝ වූහ. ඔවුන් සියලු දෙනා වසර දහයකට වැඩි කාලයක් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලූ පළපුරුදු ධීවරයන් පිරිසකි.

 

කුමන හෝ හේතුවක් නිසා මෙම ට්‍රෝලර් යාත්‍රා දෙක මියන්මාර මුහුදු සිමාවට ඇතුළු වී තිබිණ. එහිදී මියන්මාර නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි. පෙබරවාරි දොළොස් වැනිදා පළමුව අත්අඩංගුවට පත්වූයේ සාගර කුමාර 04 (IMUL-A-0254CHW) ට්‍රෝලර් යාත්‍රාවය. එහි ධීවරයන් 7දෙනකු සිටි අතර ඔවුන් වර්ණකුලසූරිය අනුරංග ෂානක ප්‍රනාන්දු (අවුරුදු 32), අඹගහගේ චන්න මුතුෂාන් ප්‍රනාන්දු (අවුරුදු 30), අඹගහගේ චාමික ඉරෝෂන් ප්‍රනාන්දු (අවුරුදු 22), වර්ණකුලසූරිය නිරෝෂන් ප්‍රනාන්දු (අවුරුදු 42), සෙබස්තියන් ලාල් පෙරේරා(අවුරුදු 52), තෙල්ගේ කසුන් මධුසංඛ පීරිස් (අවුරුදු 30), දසනායක මුදියන්සේලාගෙ රුවන් මධුසංඛ (අවුරුදු 23) යන අයයි.

ඊට පසුදා ධීවරයන් පස්දෙනකුගෙන් සමන්විත මයෝමි (IMUL-A-1217MTR ) යාත්‍රාව ද හමුදා අත්අඩංගුවට පත් විය. පසුව ඔවුන් අයිරවඩ්ඩිහි රඳවා තැබිණි. එය මියන්මාර රාජ්‍යයේ විශාලතම නගරය (කලින් අගනුවර) වන යැන්ගුන් සිට කි.මී. 105 ක් පමණ දුරින් පිහිටා ඇත.

කෝවිඩ් වසංගතය හා මියන්මාර් රාජ්‍යයේ අර්බුදකාරී දේශපාලන වටපිටාවක් තුළ සිදු වූ මේ අනපේක්ෂිත සිදුවීම නිසා මෙරට ධීවරයන් දොළොස්දෙනා නොසිතූ ඉරණමකට මුහුණ දෙන ලදී. ඊට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ පෙබරවාරි පළමුවැනි දින මියන්මාර හමුදාව විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සූ කී රජය පෙරළා දමා ඔවුන් විසින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමය. ඒ මොහොතේ පටන් ඊට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් විය. මෙකී තත්ත්වය පාලනය කරනු වස් කැරලිකරුවන් 149 දෙනකු එරට හමුදා රජය විසින් ඒ වනවිටත් ඝාතනය කර තිබිණි. යැන්ගොන් හි සෑම මිනිත්තුවකම සිදුවීම් දිග හැරෙන ආකාරය දකින ධීවරයන් සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. මේ වනවිට මියන්මාර හමුදා රජය විසින් ප්‍රධාන අංශ කිහිපයක් මුද්‍රා තබා වස දමා ඇති අතර, විරෝධතා මැඬ පැවැත්වීම සඳහා සන්නිවේදනය මාර්ග අවහිර කිරීමට මෙන්ම කපා හැරීමටද පියවර ගෙන තිබේ. අයිරවඩ්ඩිහි ධීවරයන් රඳවා ඇති බව පමණක් දැනුම් දී ඇත්තේ ඔවුන් ආරක්ෂිතව ආපසු පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින ධීවර පවුල් අස්වසාලීම සඳහාය. එහෙත් පවතින තත්ත්වය හමුවේ ඔවුන් කවදා කෙලෙස ඒ දැයි කිව නොහැකිය.

පසුගිය බදාදා (10) දෙවන වරට සියලුම ජංගම දුරකථන මාර්ග තාවකාලිකව වසා දමන ලදී, නමුත් අන්තර්ජාලය, හඬ පණිවිඩ සහ කෙටි පණිවුඩ සේවා විවෘතව පැවතුණි. ස්වාධීනව කටයුතු කරන පෞද්ගලික පුවත්පතක් ද නවතා දැමූ අතර පෙළපාළි ආවරණය කරමින් සිටියදී ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්‘ මාධ්‍යවේදී තීන්සෝ අත්අඩංගුවට ගනු ලැබීය. මහජනයා සහ හමුදාව අතර ගැටුම් හැරුණු විට මියන්මාරයේ සිදුවන වෙනත් කාරණා කෙරෙහි කිසිදු අවධානයක් යොමු වී නැත.

2014 දී ශ්‍රී ලංකා ධීවරයන් පිරිසක් මියන්මාර නාවික හමුදාව විසින් රඳවා ගෙන සිටියදී මියන්මාරයේ මාධ්‍ය විසින් මේ සිද්ධිය ආවරණය කර යාවත්කාලීන කළ නමුත් මේ අවස්ථාවේදී එසේ කිරීමට එරට මාධ්‍යට හැකියාවක් නැත. 2014 දී මසුන් ඇල්ලීම සඳහා දෙරට සමීපව කටයුතු කළ අතර ඔවුහු සති කිහිපයක් ඇතුළත ආපසු සිය රට බලා ආහ. නමුත් මියන්මාර ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් ගෙවෙමින් තිබෙන මොහොතක බොහෝ දේ වෙනස් වෙමින් තිබේ.

බෞද්ධ භික්ෂූන් වහන්සේ මැඳිහත්ව සන්සුන් වන ලෙස හමුදාවට ආයාචනා කරන විට ඔවුන් ඊට ඇහුම්කන් නොදෙන ආකාරය අපි දුටුවෙමු. කතෝලික කන්‍යා සොහොයුරියක් කෝපාවිෂ්ට වූ හමුදාව ඉදිරිපිට දණ ගසා සිටිනු අපි දුටුවෙමු. එවැනි තත්ත්වයක් යටතේ තම ස්වාමි පුරුෂයා සහ අනෙකුත් සියලු ධීවරයන් නිදහස් කරගන්නේ කෙසේදැයි මියන්මාරයේ රඳවාගෙන සිටින ධීවරයකුගේ බිරිඳක වන පවනි (27) විමසයි.

මේ බොහෝමයක් ධීවර පවුල් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද යැපෙන්නේ ධීවරයන් මතය. එපමණක් නොව එක් ට්‍රෝලර් යාත්‍රාවක හිමිකරුවකු වන කසුන් එරංග තම යාත්‍රාව මිල දී ගෙන ඇත්තේ රුපියල් මිලියන 100ක බැංකු ණයක් මතය. ධීවරයන් ගෙනෙන ආදායමෙන් ඒ සඳහා ණය පොලී ගෙවිය යුතු අතර; ඔවුන් ආපසු නොඑන්නේ නම් සහ ට්‍රෝලර් යාත්‍රා රඳවා තබා ගන්නේ නම් එය දරාගත නොහැකි පාඩුවක් බව ඔහු පවසා තිබේ.

මේ රැඳවියන්ගේ පවුල්වල උදවිය හා බහුදින යාත්‍රා හිමියන් මෙරට බලධාරීන් හමුවී කතා කර තිබුණද ඊට නිශ්චිත පිළිතුරක් තවමත් ලැබී නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මියන්මාර තානාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය නලින් ද සිල්වා තම ෆේස්බුක් ගිණුම මඟින් පවසා තිබුණේ තමන් ධීවර ගැටලුව සම්බන්ධයෙන් 'අසමත්' වී ඇති බවයි.

අධිකරණය විසින් ඔවුන්ගේ අභියාචනය විභාග කරන විට ධීවරයන් මෙම වරදට වැරදිකරුවන් බව තානාපතිවරයා පවසන්නේ කෙසේද? තානාපතිවරයා විසින්ම ඔහුගේ නොදැනුවත්කම නිසා ඔවුන් වරදකරුවන් කිරීමට උත්සාහ කරන බව මෙම ධීවරයන්ගේ පවුල්වල සාමාජිකයෝ මැසිවිලි නඟති.

අප්‍රේල් 02 වැනිදා එරට උසාවිය විසින් මෙම රැඳවියන් සම්බන්ධයෙන් නඩුවේ තීරණය දැනුම් දීමට නියමිත වුණි. මේ කටයුතු සොයා බැලීම සඳහා තානාපතිවරයා තෝරාගෙන තිබුණේ මියන්මාර් භාෂාව කතා කළ හැකි එහි සිටින ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් සේවකයෙකි. ඔහු දන්නා ජාත්‍යන්තර නීතියක් හෝ වෙනත් නීතියක් නැත. එනිසා මේ රැඳවියන් වෙනුවෙන් කළ හැකිව තිබූ කිසිදු කටයුත්තක් සිදු කිරීමට තානාපතිවරයාට නොහැකි විය. අවසානයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය. ඒ අනුව ධීවරයන් දොළොස්දෙනාගෙන් දසදෙනකු වසර 3කුත් මාස 6ක් හා ට්‍රෝලර් යාත්‍රාව පැද වූ නියමුවන් දෙදෙනා වසර 6කුත් මාස 06ක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. එසේම ට්‍රෝලර් යාත්‍රා දෙක රාජසන්තක කෙරිණි.

මෙම නඩු තීන්දුවට අනුව ඔවුන් යැන්ගොන්වල සිට පතේන් බන්ධනාගාරයට රැගෙන යාමට නියමිතය. එහෙත් මේ වනවිට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එතරම් දුරක් ආරක්ෂිතව ඔවුන් රැගෙන යා හැකිදැයි සැකයක් මතුව තිබේ. එනිසා ඔවුන් තවදුරටත් අයිරවඩ්ඩි පොලිස් ස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අතර ශ්‍රී ලංකාවේ වෙසෙන ට්‍රෝලර් යාත්‍රා හිමිකරුවකු වන නඳුන් තාරක ලියනගේ පවසන්නේ මෙවැනි වාතාවරණයකදී වුව තමන්ට මියන්මාර තුළ පවතින සම්බන්ධතා මත මේ ධීවරයන් නිදහස් කරගෙන සිය රටට පැමිණිය හැකි බවයි. ඒ සඳහා තමන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදී තමන් රජයේ නියෝජිතයකු ලෙස එරටට පිටත් කරන ලෙස ඔහු ඉල්ලා සිටී. එසේ කළහොත් නඩු තීන්දුවක් ප්‍රකාශ කර තිබෙන තත්ත්වයකදී වුවත් සතියක් තුළ මෙම ධීවරයන් බේරාගෙන පැමිණිය හැකි බව හෙතෙම විශ්වාසයෙන් පවසයි. මීට ප්‍රථම දෙවතාවක් මෙලෙස මියන්මාරයේ රඳවා සිටි ධීවරයන් මුදා ගැනීමට හෙතෙම කටයුතු කර තිබේ.

Comments