නැත මට මින් පසු යළි උප­තක් | සිළුමිණ

නැත මට මින් පසු යළි උප­තක්

බ්‍රාහ්මණයකුට ලැබිය හැකි සියලු ශාස්ත්‍ර ඔහුට ලැබිණ. ‘අපේ මහ පඬිවරයා - අපේ ගුරු දෙවියා...‘ ඔහුට ගරු බුහුමන් ලැබිණ. එයින් ඔහු සතුටට පත්වූයේ නැත. ලෝකය දුකෙන් පිරී ඇති සැටි ඔහුට පෙනිණ. ‘සැපත යනු තාවකාලික දෙයක්. අනිත්‍ය දෙයක්. එය සොයා යන ගමන පීඩාකාරී දෙයක්. මා දන්නා සෑම කෙනෙක් ම සතුට සොයනවා. තාවකාලික සතුටක් පමණයි ලැබෙන්නේ.‘ ඔහු මෙබඳු සිතිවිලි සමඟ දවස ගෙවූයේ ය.

 

‘ඔබට ඇති කල්පනාවල හැටියට ඔබ මේ ගිහිගෙයට සුදුස්සෙක් නොවෙයි‘ ඔහු ගේ මිතුරෙක් කීවේ ය.

ඒ ප්‍රශ්නයත් සමඟ ඔහු තුළ කම්පාවක් ඇතිවිය.

රජගහනුවර බමුණු පවුලක උපත ලද ‘සීවක‘ නමින් ප්‍රකට වී සිටි ඔහු මිතුරා ගේ අතින් අල්ලා ගත්තේ ය.

‘ඔබ සිතූ දේ හරියට ම හරි. මගේ සිතිවිලි ගිහිගෙයට ගැළැපෙන්නේ නැහැ. මා පැවිදි වෙනවා. කොතැනද පැවිදි වෙන්නේ?‘ ඔහු ඇසුවේ ය.

‘ගිජඣකූට පර්වතයට යාබද ජෛන ආරාමය ඔබ දන්නවා නේද? ඔබට කල්පනා කර-කර ඉන්න හොඳ ම තැන එතැන‘ මිතුරා පිළිතුරු දුන්නේය.

‘මට අවශ්‍ය කල්පනා කර-කර ඉන්න පමණක් නොවෙයි. මේ ලෝකය පුරා පැතිරී ඇති දුක පිළිබඳ ගැටලුවට පිළිතුරු සොයාගත හැකි තැනකුයි මට ඕනෑ.‘

‘පරිව්‍රාජකයන් කරන්නෙත් ඒක සොයන එක තමයි. ගිහින් බලන්න.‘

සීවක ජෛන ආරාමයක පැවිදි විය.

පැවිදි වීමට පෙර හිස කෙස් මුලින් සිඳදැමීම සිදු විය. එය ඉවසාගත යුතු විය. කෙලෙස් දුරු කළ හැක්කේ සිරුරට දුක් දීමෙන් බව සීවකට ජෛන ගුරුවරු ඉගැන්වූ හ. ගිනි කාෂ්ටක අව්වේ භාවනා කිරීමට ඔහුට සිදු විය. අපහසු ආකාරයට කය තබා ගැනීමට, සිරුරට හිංසා පමුණුවා ගැනීමට සිදු විය. උපවාසයේ රැඳී දෙ-තුන් දින ගෙවීමට ද සිදුවිය.

ඇතැම් ජෛන පැවිද්දෙක් මරණය තෙක් ම උපවාසයේ යෙදුණේ ය.

‘සිරුර පීඩාවට හසුකිරීමෙන් කෙලෙස් දුරුවන්නේ කෙසේද? කර්ම අවසන් වන්නේ කෙසේද?‘

සීවක ඔහු ගෙන් ම ප්‍රශ්න කෙළේ ය.

ලොව පැතිරී ඇති දුක ජය ගැනීමට මාර්ගය ජෛන ධර්මයේ ඇති බවක් ඔහුට නොපෙනිණ. නිරර්ථකව ජීවිත විනාශ කරගැනීමක් පමණි. ගිහිගෙයි සිටිය දී පැවැති කලකිරීම තවත් වැඩි විය.

රජගහනුවර වේළුවනාරාමයත්, එහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේත් පිළිබඳව ඔහුට යම් යම් පුවත් අසන්නට ලැබිණි. ඒ පුවත්වලින් කියැවුණේ මිනිසා නොමඟට යවන දහමක් දෙසන කෙනකු ගැන ය. දිනක් ඔහුට ජේතවනාරාමයට යෑමට සිතිණි.

බුදුරජාණන් වහන්සේ මහ පිරිසකට දහම් දෙසති. සීවක පරිව්‍රාජකයා ඒ පිරිසට එක්විය.

දුක ගැන, දුකට හේතුව ගැන, දුක නැති කිරීම ගැන, දුක නැති කරගැනීමේ මඟ ගැන ඒ දහමෙන් කියැවිණ.

සීවක නැගිට්ටේ ය. යළි හිඳගත්තේ ය.

‘මේ කියන්නේ මා සෙවූ දෙය ගැන ම නොවේද?‘

‘මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දුක නැති කිරීමට මඟ නොවේද?‘

මා සෙවූ දෙය මේ දහමේ තියෙනවා. මා තරමක් පමා වූ බව ඇත්ත. එහෙත් නියම තැනට මා ආවා.

සීවක මහත් සතුටට පත්ව බුදුරජාණන් වහන්සේගේ පාමුල වැටී වැඳ නමස්කාර කොට පැවිදි බව ලබා දෙන්නයි අයැද සිටියේ ය.

ඔහුට පැවිදි බව ලැබිණ. භාවනාව සඳහා කමටහනක් ද ලැබිණ. අසල වනපෙතකට වැඩම කළ සීවක හිමියෝ විදසුන් වඩන්නට වූහ. සමාධිය ගැඹුරු වීමත් සමඟ උන්වහන්සේට ප්‍රඥාව පහළ විය. ඒ ඒ භවයන්හි නැවත නැවත උපදවන ශරීරවල අනිත්‍යය උන්වහන්සේට පෙනිණ. මේ ශරීර නමැති, ආත්මභාව නමැති ගෙවල් තනන වඩුවා තණ්හාව බව පෙනිණ. තණ්හාව නැති කිරීමත් සමඟ අර ගෙවල්, කෙලෙස් නමැති පරාල, අවිද්‍යාව නම් වූ කැණිමඬල විනාශ වන හැටි ද පෙනිණ. ඒ විනාශය සසර ගමනේ අවසානය ය.

මේ අවබෝධය සමඟ උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ.

සීවක රහතන් වහන්සේ පසු කලෙක සිය උදානය පළ කළේ මෙසේ ය.

යළි ඉපදුම දෙන භවය ගෙයකි එය,

අනියත වේ ගෙය තැනු වඩුවා -

සොයා ගතිමි. ඔහු ගේ නම තණ්හා

යළි යළි ඉපදුම, දුක මැව්වා.....

වඩුවාණනි, නුඹ හඳුනාගත්තෙමි.

යළි ගෙය තැනුමට නොදෙමි ඉඩක්

කැණිමඬල ද සිඳ, පරාල බින්දෙමි

නැත මට මින්පසු යළි උපතක්

Comments