අන්ත­ර්ජා­ල­යෙන් මුදල් කොල්ල­කන නයි­ජී­රි­යා­වෙන් ආ කළු කුමා­රයෝ | සිළුමිණ

අන්ත­ර්ජා­ල­යෙන් මුදල් කොල්ල­කන නයි­ජී­රි­යා­වෙන් ආ කළු කුමා­රයෝ

මුදල් කොල්ල­කා හසුවූ නයි­ජීරි­යානු පුද්ගලයන්
මුදල් කොල්ල­කා හසුවූ නයි­ජීරි­යානු පුද්ගලයන්

විවිධාකාරයේ සමාජ මාධ්‍ය ඇතුළු ඊමේල් පණිවිඩ ඔස්සෙ මෙන්ම මූල්‍ය ආයතනික ටෙලර් මැෂින් උපයෝගී කොට මුදල් කොල්ලකෑම් සිදුකරන විදේශිකයන් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ සේ වාර්තා විණි. එලෙස විදේශිකයන් විසින් කොල්ලකෑම් බොහෝමයක් සිදුකර තිබුණේ මෙරට කාන්තාවන් 'දැලේ' දමාගෙන වීම ද විශේෂත්වයකි. එසේම එකී බොහෝ කොල්ලකෑම් සිදුකර තිබුණේද විදේශිකයන් අතර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවෙන් මෙරටට පැමිණ නීතිවිරෝධි ලෙස රැඳි සිටින එරට පුද්ගලයන් විසිනි.

 

කොරෝනා සමයට පෙර විවිධාකාරයේ කටයුතු සඳහා මෙරටට පැමිණ පසුව වීසා බලපත්‍ර ද නොමැතිව සැරිසරන මෙකී නයිජීරියන් ජාතිකයන් විසින් සිදුකළ වංචාවන් රැසක්ම පසුගිය කාලයේ වාර්තා විණි.

ඒ අතර පසුගියදා මොරටුව ප්‍රදේශයේ ගෘහ නිර්මාණ ශිල්පියකුගේ ඊමේල් ගිණුමක් 'හැක්' කරමින් මූල්‍ය වංචාවක් සිදු කළ නයිජීරියන් ජාතිකයකු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහු විසින් සිදුකළ රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් පිළිබඳව අනාවරණය විණි.

මොරටුව ප්‍රදේශයේ එකී ගෘහ නිර්මාණ ශිල්පියාගේ වංචාව සිදුවී තිබුණේ මෙලෙසිනි.

රමේෂ් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස මොරටුව ප්‍රකට නමක් සහිත පුද්ගලයෙකි. ඔහු පසුගිය දිනෙක ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට කිසියම් සේවාවක් සපයා ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ නවයක මුදල ලබා දෙන ලෙස ඉල්ලා ඊමේල් පණිවිඩයක් යොමුකර තිබිණි. එම ඊමේල් පණිවිඩය 'හැක්' කර තිබුණේ නයිජීරියන් ජාතිකයෙක් විසිනි.

අනතුරුව නයිජීරියන් ජාතිකයා විසින් රමේෂ්ගේ ඊ‍මේල් ලිපිනයේ සඳහන් කර තිබූ බැංකු ගිණුම් අංකය වෙනස්කොට නයිජීරියන් ජාතිකයාගේ බැංකු ගිණුම් අංකයක් ඇතුළත්කර තිබිණි. පසුව කිසිවක් නොදත් ප්‍රංසයේ පදිංචි පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් බැර කර තිබුණේය. ඒ නයිජීරියන් ජාතිකයා සඳහන් කර තිබූ බැංකු ගිණුම් අංකයටයි.

දින කීපයකට පසුව ප්‍රංසයේ වෙසෙන්නා මොරටුවේ ගෘහ නිර්මාණ ශිල්පියා වන රමේෂ් අමතා පවසා තිබුණේ මුදල් බැර කළ බවයි. එහෙත් රමේෂ් කීවේ තමනට එවැනි මුදලක් නොලැබුණු බවයි.

එසැණින් පොලිස් පොතේ සටහන් වූ එම මූල්‍ය වංචාව පිළිබඳව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් කෙරිණි. එම විමර්ශනයේදී සියල්ල අනාවරණය වීමත් සමඟ නුගේගොඩ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන විසූ 35 හැවිරිදි නයිජීරියන් ජාතිකයකු පොලිස් අත්අඩංගුවට ගැනුණේ ඔහුට සහාය දුන් වැල්ලම්පිටියේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු හා මරදානේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු සමඟිනි.

නයිජීරියන් ජාතිකයා විසූ නිවෙස පරීක්ෂාවේදී බැංකු පොත්, ඒටීඑම් කාඩ්පත්, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක සහ මෙරට පුද්ගලයන්ගේ නමින් සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් රැසක්ද පොලිසිය සොයා ගැනීමට සමත් විණි.

මෙලෙස ඊමේල් ලිපිනයන් ආක්‍රමණය කරමින් නයිජීරියන් ජාතිකයන් පසුගිය කාලයේ සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසකට අමතරව නිවෙස්හි තනිව වෙසෙන් කාන්තාවන් ඉලක්ක කොට නයිජීරියන් කළු ජාතිකයන් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසක් පිළිබඳව ද පසුගිය කාලයේ පොලිසිය අනාවරණය කරගත්තේය. එහිදී එකී වංචාකාර නයිජීරියානුවන් විසින් දහවල් කාලයේ සැමියා සහ දරුවන් නිවෙස්වලින් පිටව ගිය පසු නිවෙස්හි තනිව වෙසෙන කාන්තාවන් සමාජ මාධ්‍ය ඔස්සෙ උපක්‍රමිකව රවටාගෙන කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුකර තිබිණි.

එලෙස කාන්තාවන් රැවටූ 36 හැවිරිදි වියේ පසුවූ නයිජීරියන් ජාතික එම්බුවා ඔගස්ටිනි නමැත්තා සමඟ තවත් නයිජීරියන් ජාතිකයන් දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට පත්විණි. ඒ බොරලැස්ගමුව සහ දෙහිවල ප්‍රදේශවලදීය.

සිංහල බසද මනා ලෙස හැසිරවීමට සමත් එම නයිජීරියන් ජාතිකයන් තිදෙනා මෙරට තුළ රැඳි සිට තිබුණේද වලංගු වීසා බලපත්‍රද නොමැතිවයි. අත්අඩංගුවට පත්වූ මොහොතේ එකිනෙකාට නොහඳුනන ලෙස තිදෙනා හැසිරුණත් ඔවුහු කලෙක සිටම මෙරට රැඳි සිටිමින් වංචාවන් රැසක්ම සිදුකර තිබූ බව පොලිසියට හෙළි විණි. ඉකුත් දා අත්අඩංගුවට පත්වූ එම කළු ජාතිකයන් තිදෙනා සිදුකර තිබූ වංචාව මෙසේය.

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් කාන්තාවන් හඳුනාගෙන මුලින් හිතවත්කමක් ගොඩනඟා ගැනිණි.

"මම නයිජීරියාවේ විශාල කොම්පැනියක අයිතිකාරයෙක්... මට විශාල දේපළක් තියෙනවා... ළඟදීම මං ලංකාවට පැමිණ ඔයා මැරි කරනවා. මම ලංකාවට ආවට පස්සෙ වියදම් කරන්න ඔයාගේ නමින් ගිණුමක් ආරම්භ කරන්න. ඒ ගිණුමට ඒටීඑම් කාඩ්පතකුත් ගන්න. ඒ ගිණුමට මම සල්ලිත් දාන්නම්. ඔයාගේ නමින් මගේ පාවිච්චියට දුරකතන සිම්පතකුත් අරන් දෙන්න. මං ලංකාවට එනකල් ඔය හැම දෙයක්ම ලංකාවේ ඉන්න මගේ නියෝජිතයාට දෙන්න. මං එයාව එවන්නම් ඔයා හමුවෙන්න..."

හැබැයින් නොදුටු එම පුද්ගලයාගේ කීම මත ඔහුගේ නියෝජිතයා ලෙස පැමිණෙන තැනැත්තාට ඇය විවෘත කළ ගිණුමේ ඒටීඑම් කාඩ්පත සහ දුරකථන සිම්පත ලබා දෙයි.

මෙකී වංචාව පිළිබඳව පොලිසියට අනාවරණය වීමත් සමඟ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වන්නෙ කෝටිපතියාත්, නියෝජිතයාත් එකම පුද්ගලයකු බවයි.

සිදුකළ වංචාවේදී එම නයිජීරියානුවා බැංකු ගිණුම මෙන්ම දුරකථන සිම්පත ද භාවිත කරමින් සමාජ ජාලා දුරකතන මාධ්‍ය ඔස්සේ පණිවිඩ, ඊමේල් මෙන්ම දුරකතන පණිවිඩද මෙරට ඇතැම් දෙනාට යවමින් සඳහන් කරන්නෙ,

"මං අහවල් කොම්පැනියෙන් කතා කරන්නෙ... ඔයාට ලක්ෂ ගාණක දිනුමක් ඇදිලා තියෙනවා...නැතිනම් ඔයාට ත්‍යාගයක් එවලා තියෙනවා... අහවල් තැන තියෙන්නෙ... ඒක ඔයාට ලැබෙන්න සලස්වන්නම්... හැබැයි අපට මුදලක් එවන්න ඕනෙ..."වැනි ප්‍රකාශයි.

පසුව ඔහු මෙරට කාන්තාවගෙන් ලබාගත් ගිණුම් අංකය එකී උපක්‍රමයට කොටු කරගන්නා පුද්ගලයාට ලබා දෙයි. එසේ ඔහු තව තවත් අයට පවසන්නෙ,

"ඔයාට තෑග්ගක් එවලා තියෙනවා... පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙනවා... ඒක මං මේ කියන ගිණුමට දාන්න.... එතකොට අපට තෑග්ග ගෙදරටම එවන්න පුළුවන්."

මෙවැනි වංචා රැසක්ම පසුගිය කාලයේ මෙරට රැඳි සිටින නයිජීරියන් ජාතිකයන් විසින් සිදුකර තිබිණි. මේ අතර පසුගියදා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් නයිජීරියන් ජාතිකයන් සිවුදෙනෙකු ඇතුළු බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු සමඟ මෙරට කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු ද අත්අඩංගුවට ගත්තේය. ඒ, බත්තරමුල්ල සහ දෙහිවල ප්‍රදේශයන්හිදීය. ඔවුන් එලෙස අත්අඩංගුවට පත්වූයේ මුහුණුපොත හරහා සිදුකර තිබූ මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙනි.

මෙරට තුළ මහල් නිවෙස්හි වෙසෙමින් එම නයිජීරියන් ජාතිකයන් සිවුදෙනා සහ බෙලරුස් කාන්තාවන් දෙදෙනා සුපිරි දිවියක් ගතකරමින් සිට තිබුණේ වීසා බලපත්‍ර ද නොමැතිවයි.

මෙලෙස පසුගිය කාලයේ නයිජීරියන් ජාතිකයන් ඇතුළු බොහෝ විදේශිකයන් මෙරටට පැමිණ සිදුකළ 'ගේම්' ගැන වාර්තා විණි.

මෙකී වංචනික නයිජීරියන් ජාතිකයන් බොහෝ දෙනෙකු සැරිසරන්නෙ නුගේගොඩ, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස, කොහුවල, බත්තරමුල්ල සහ වැල්ලවත්ත ආදි පෙදෙස්වල බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

එසේම වීසා බලපත්‍රද නැතිව එලෙස සැරිසරන නයිජීරියන් ජාතිකයන් පිරිස සියයකට ආසන්න බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන් බවද පොලිසිය හඳුනාගෙන තිබේ.

කෙසේ හෝ මෙලෙස වංචාකාරිව හැසිරෙන මෙකී නයිජීරියන් ජාතිකයන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබන මිරිහාන විශේෂිත රැඳවුම් මධ්‍යස්ථානයේ පවතින ආරක්ෂිත පියවරයන් නිසා මෙකී ජාවාරම්කාරයන් නැවතත් සමාජගත වන්නෙ ඉන් පලා යාම නිසාවෙනි.

එම නිසා මෙකී වංචනිකයන් කොතෙක් අත්අඩංගුවට ගත්තද එම මධ්‍යස්ථානයේ පවතින ආරක්ෂක පියවර පිළිබඳව බොහෝ දෙනෙක් දක්වන්නෙ නොසතුටකි.

මෙලෙස මෙරට රැඳි සිටිමින් මෙරට ජනයාගේ මුදල් කොල්ලකන නයිජීරියන් ජාතිකයන් ඇතුළු විදේශිකයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ ඊමේල් භාවිතයේදී කාන්තාවනට මෙවැනි ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසු නොවන ලෙසද පොලිසිය දන්වා සිටී.

 

Comments