හීනෙ­කි­න්වත් නොහි­තපු ප්‍රති­චාර මට ලැබෙන්නේ | සිළුමිණ

හීනෙ­කි­න්වත් නොහි­තපු ප්‍රති­චාර මට ලැබෙන්නේ

- හිරුෂි පෙරේරා

 

රංගනයේ දක්ෂතාව නිසා

මට මේ අවස්ථා හිමි වෙන්න ඇති

 

අම්මා තමයි මගෙ හෙවණැල්ල. නංගි තමයි මගේ අඩුපාඩු පෙන්නලා දෙන්නේ.

 

 

මේ දිනවල පුංචි තිරයෙන් අපට අපූරු චරිතයක් මුණ ගැහෙනවා. නමුත් ඇය අපට නුපුරුදු චරිතයක් නොවෙයි. ‘දෙවනි ඉනිම‘ හී තමීරා වූ ඇය මේ දිනවල පුංචි තිරයෙන් හමු වන්නේ ‘ඉස්කෝලේ‘ ටෙලි නාට්‍යයේ අනගි ලෙසයි. ඉතින් මෙවර රසවත් කතා බහට එකතු වෙන ඇය කලෙකදී තමීරා ලෙසද මේ දිනවල අනගි ලෙසද ප්‍රේක්ෂකයන්ට ළෙන්ගතු වූ හිරුෂි පෙරේරා යි.

 

තමීරා ට වගේම අනගිටත් හොඳ ප්‍රතිචාර ලැබෙවද ?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ රූපය එක්ක මට බොහෝ විට ලැබෙන්නේ ගැමි චරිත. අනගි කියන්නෙත් එහෙම චරිතයක්. හැබැයි අනගි ට මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු තරම් හොඳ ප්‍රතිචාර මේ දවස්වල ලැබෙනවා. හැබැයි තවම සමහර අය මට කතා කරන්නේ තමීරා කියලා.

 

ඔය අතරේ හිරුෂිට ලැබුණු අමතක නොවන ප්‍රතිචාර එහෙමත් ඇති ?

මට ප්‍රවීණ රංගන ශිල්පින් ශිල්පිනියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් දැනෙන්නේ. ඒ අතර මම වඩා කැමැති මගේ අම්මා දක්වන ප්‍රතිචාරවලට. මොකද මගේ අම්මගෙන් ලේසියකට හොඳක් අහන්න අමාරුයි. ඉතින් මට අමතකම නොවන කමෙන්ට් එක ලැබුණේ අම්මගෙන්.

 

රංගනයේ දී රසවත් සිදුවීම්වලටත් මුහුණ දෙන්න වෙලා ඇති?

‘දෙවනි ඉනිම‘ ෂූටින් නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ෂූටින් තිබුණේ නුවර. ලොකේෂන් එක හරිම ලස්සනයි. සහෝදර රංගන ශිල්පීන් එක්ක ඒ ලබපු අත්දැකීම වඩා සුන්දරයි.

 

හිරුෂිට, තමීරා සහ අනගී වෙන්න කොහොමද අවස්ථාව ලැබෙන්නෙ?

‘රාවණා‘ දෙක ටෙලි නාට්‍යයට මාව තෝරගන්නේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින්. ඊට පස්සේ තමයි දෙරණ අවුරුදු කුමාරියට අයැදුම් කරන්නේ. එතැනින් තමයි ‘දෙවනි ඉනිමේ‘ තමීරාගෙ චරිතයට සහ ‘ඉස්කෝලේ‘ ටෙලිනාට්‍යයේ ‘අනගි‘ ට රඟපාන්න මට අවස්ථාව ලැබෙන්නෙ.

 

රංගනයට පිවිසෙන්න පොඩි කාලේ ඉඳන් ඇල්මක් තිබුණද?

රංගන ශිල්පිනියක් වෙන්නම අදහසක් තිබුණේ නෑ. මගෙ කැමැත්ත තිබුණේ ගුරුවරියක් වෙන්න. නමුත් මොකක්ම හරි මගේ දක්ෂතාවක් නිසා මට රංගනයට අවස්ථා හිමි වෙන්න ඇති. ගුරුවරියක් වීමේ හීනය තවම තියෙනවා. ඒ අතරේ රඟපෑමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

එතකොට රංගනය පිළිබඳ දැන් හැදැරීම් කරන්නේ නැද්ද?

මම කැලණිය විශ්වවිද්‍යාලයේ වේදිකා නාට්‍ය ගැන උපාධියක් හදාරනවා. ඉදිරියේදි තව හැදෑරීම් කරන්නත් බලාපොරොත්තු තියෙනවා.

 

ආධුනික රංගන ශිල්පිනියක් විදිහට ප්‍රවීණයන්ගෙන් ලැබෙන මඟපෙන්වීම කොහොමද?

‘ඉස්කෝලේ‘ ඩ්‍රාමා එකේදී ගොඩක් ප්‍රවීණ අය හමුවෙනවා. ඒ මුණුගැහෙන හැම ප්‍රවීණ‍‍ෙයක්ගෙන්ම මට උපරිම සහයෝගය ලැබෙනවා. රංගනයේදි මගේ අඩුපාඩු හදා ගන්න ඔවුන්ගෙන් ලැබෙන මඟපෙන්වීම, උපදෙස් මට ලොකු ශක්තියක්.

 

ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය මතක් කරමු?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා සහ නංගි. හැම වෙලේම අම්මා තමයි මගෙ හෙවණැල්ල. අක්කයි, නංගියි තාත්තායි මගේ රඟපෑම් බලලා අදහස් කියලවා. නංගි තමයි මගේ අඩුපාඩු ගොඩක් පෙන්නලා දෙන්නේ.

 

හිරුෂිගෙ ඉදිරි සැලසුම් කොහොමද?

මගෙ මුල්ම බලාපොරොත්තුව උපාධිය සම්පූර්ණ කර ගන්න එක. ඊළඟට මේ ක්ෂේත්‍රයේ නමක් හදාගෙන දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යෑම. සිනමාවටත් ආරාධනා ලැබුණට දැන් වැඩකටයුතු එක්ක කාලය හදා ගන්න අපහසුයි. නමුත් ඉදිරියේදී හොඳ නිර්මාණයකින් සිනමා නිළියක් විදිහටත් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා.

 

ඡායාරූප - බ්‍රයන් ධර්මසේන

Comments