මුල් කාලෙදී කාපු කට්ට තමයි අද­ටත් රහ | සිළුමිණ

මුල් කාලෙදී කාපු කට්ට තමයි අද­ටත් රහ

- සුචිත හර්ෂක

මාත් සමඟ වැඩ කරපු ගොඩක් අය අතර මඟ කලාව අතහැර ගියා.

නමුත් මම අත්හැරියේ නැහැ

 

දිනෙන් දින කලා‍වට එකතුවන මුහුණු අතර කලාවට පිවිසි ටික දිනකින් නොපෙනි යන මුහුණු ද සුලබයි. ඒ අතර දිනෙන් දින කලාවෙන් පෝෂණය වෙමින් තමන් උකහා ගත් දෙයින් කලා ක්ෂේත්‍රය නැවත පෝෂණය කරමින් කලාවේ දිගු ගමනක යෙදෙන්න උත්සාහ දරන අපූරු කලාකරුවන්ද සිටිනවා. අද රසඳුන ඉඩ හසර වෙන් වන්නෙ එවැනි කලාකරුවකුට. ඔහු නමින් සුචිත හර්ෂක යි.

 

කොළොන්නාව හෙන්රි ස්ටීල් ඕල්කට් විද්‍යාලයෙන් තම පළමු පෙළ අධ්‍යාපනය හදාරන හර්ෂක උසස් පෙළ හදෑරීම සඳහා යොමු වන්නෙ කොළඹ ගංගාරාමේ ශ්‍රී ඥානේස්වර විද්‍යායතන පිරිවෙනටයි. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවත් ඔහු වෘත්තීය මට්ටමේ නළුවකු වීමට කිසි දිනෙක හීන නොදැක්කත් පාසලෙන්, දහම් පාසලෙන් ලබා ගත් අභාසය නිසාම හර්ෂක කලාවට ළැදි වන්නේ නිරායාසයෙන්මයි. පාසල් කාලයේදී ඔහුම නිෂ්පාදනය කළ නාට්‍යයක ඔහුම රඟදක්වා සැමගේ ප්‍රශංසාවට ලක් වූ හර්ෂක එතැන් සිට පාසලේ සංවිධානය වූ ප්‍රාසාංගික වැඩසටහන්වලට නැතිවම බැරි චරිතයක් බවටද පත් වෙනවා. ඒ පාසල් මතකය හා බැඳි අත්දැකීමෙන්ම හර්ෂ

"පොඩි කාලේ ඉඳන් මම නාට්‍ය නිර්මාණය කරලා හැමෝම ඉදිරියේ රඟ දක්වනවා. සංගීත විෂයට අදාළ පිරියඩ් එකේදී අපේ සංගීත ගුරුවරිය බොහෝ වෙලාවට හර්ෂකගෙ නාට්‍යක් කරන්න කියනවා. ඒ මිස් තමයි මට බොහොම උදව් කළේ "

පාසල් වේදිකාවෙන් කලාවේ මුල් පියවර තබන හර්ෂකට පුංචි තිරයේ අවස්ථාව විවර වෙන්නේ 2002 වසරේදී විකාශනය වූ 'සැඩ සුළං' ටෙලි නාට්‍යය ඔස්සේයි. ඒ ඥාණාංග ගුණවර්ධනයන් ගේ සහාය සහ මඟපෙන්වීම මත. එම නිර්මාණයේදී රංගනයේ ප්‍රවීණයන් රැසක් සමඟ රංගනයේ යෙදීම ඔහුට ලැබෙන අවස්ථාව හර්ෂණගේ කලා දිවියේ එක්තරා භාග්‍යක් හා අභියෝගයක් ලෙසයි ඔහු සලකන්නේ.

එතැන් සිට 'පියාඹන මූනිස්සන්', 'ආගන්තුකයා', 'සිල්ලර සමනල්ලු', 'සිහින සමාගම', 'ධරණී', 'මහවිරු පණ්ඩු' වැනි නිර්මාණ රැසකට රංගනයේ යෙදෙන්න හර්ෂකට අවස්ථාව ලැබෙනවා. එසේ රංගනයේ යෙදෙද්දී සිය කලා දිවියේ ලද රස මතක අතර සුවිශේෂී මතකයකුත් හර්ෂක මෙසේ ආවර්ජණය කළා.

"රංගන ජීවිතයේ මට අමතක නොවනම සිදුවීමක් තමයි වසන්ති චතුරාණි ප්‍රවීණ රංගන ශිල්පිනිය සමඟ රඟපාන්න මට ලැබුණු අවස්ථාව. දවසක් 'කෝපි කඩේ' ටෙලි නාට්‍යයේ කේ.ඩී සිරිපාල මහත්මයා මට කිව්වා "රංගනයේ නියැළෙනවා නම් හැකියාව නැතුව කලාව කරන්න එපා කියලා" ඔහු එදා දුන් ඒඋපදෙස මට ගොඩක් වටිනවා. මට මුණගැසුණු හැම ප්‍රවීණයෙක්ම මාව දිරිමත් කළා"

ප්‍රවීණ රංගන ශිල්පි ජයසේකර අපොන්සු යටතේ වේදිකාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා හර්ෂකට අභියෝග රැසක් මධ්‍යයේ වුවද කලාවේ නියැළෙන්නට සිය මවුපියන්ගෙන් ලැබෙන්නෙද නොමද සහයෝගයක්.

" මුල් කාලෙදී සෑහෙන කට්ටක් කෑවා. ගොඩක් දුක් වින්දා. මිතුරන්ගේ මාර්ගයෙන් තමයි රංගන කටයුතුවලට එකතු වෙන්න මට මට අවස්ථාව ලැබුණේ. මාත් සමඟ වැඩ කරපු ගොඩක් අය අතර මඟ කලාව අතහැර ගියා. ඒ ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් මම අත්හැරියේ නැහැ. ඒ කාලෙ ඉඳන් කාපු කට්ට තමයි අදටත් රහ." රංගනයට සේම ගායනයටත් ළැදි හර්ෂක වර්තමානයේ නවක රංගන ශිල්පින් සමඟ එක්ව ට්‍රැක් බෑන්ඩ් එකක් අරඹා තිබෙනවා. රංගනය, ගායනය සේම නිවේදනයෙත් නියැළෙන හර්ෂක පවසන්නේ ඕනෑම තැනක ඕනෑම තුරුම්පුවකට වැඩ කිරීමට තමාට හැකියාව ඇති බවයි.

මේ වන විට පුංචි තිරයේ නිර්මාණ 200කට පමණ සිය රංගන දායකත්වය ලබා දී ඇති හර්ෂක 'බොම්බේ වෙල්වට්' නම් හින්දි චිත්‍රපටයටද, 'ඇඩ්‍රස් නෑ', 'උදුම්බරා' , 'මහරජ අජාසත්','මහත්මා ගාන්ධි' නම් සිනමා කෘති ඔස්සේද විවිධ චරිත නිරූපණය කර ඇති අතර ඉදිරියේද ඔහු ගේ රංගනය ඇතුළත් චිත්‍රපට පහක් පමණ තිරගත වීමට නියමිතයි.

දැනට හර්ෂක ශ්‍රද්ධා ටීවි හි නිෂ්පාදන අංශයට එක්ව රැකියාවක නිරතවන අතර වත්මන් සමාජය තුළ ධනාත්මක චින්තනයක් ඇති කිරීමේ ලා නොමදව කටයුතු කරයි.

ඡායාරූපය දුෂ්මන්ත මායාදුන්න

Comments