මට හිතුණා ඒ වැඩේ මැජික් එකක් කියලා | සිළුමිණ

මට හිතුණා ඒ වැඩේ මැජික් එකක් කියලා

 - රුක්මල් නිරෝෂ්

 

රුක්මල් නිරෝෂ් රංගනයෙන්, සංස්කරණයෙන් සහ අධ්‍යක්ෂණෙයන් සිය අනන්‍යතාව පළ කළ අපට අමතක නොවන චරිතයක්. සිය පශ්චාත් උපාධිය වෙනුවෙන් දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන රුක්මල් තම දක්ෂතා ඔස්සේ ගොඩනඟා ගත් අනන්‍යතාව සුවිශේෂීයි.

 

රුක්මල් පහුගිය දවස්වල අපිට හමුවුණේ ‘Newspaper‘ චිත්‍රපටියෙන්. මේ දිනවල තිරගත ‘Colombo‘ චිත්‍රපටයේ ඔහු ගේ රංගන කෞශල්‍යයටද මේවන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඔහු රඟපෑ‘ Ice cream‘ චිත්‍රපටයද නුදුරේදීම ප්‍රේක්ෂකයන් අතරට එන්න නියමිතයි. රසික හදවත් දිනූ මේ අපූරු කලාකරුවා අප හා පිළිසඳර අරඹන්නේ සිය අතීත ගමන පිළිබඳ රසවත් ආවර්ජණයකින්.

"මගේ රංගන ජීවිතයේ ඇරඹුම අහම්බයක්. පාසලේ තිබුණු නාට්‍යයක මම රඟපාන්න තීරණය කරන්නේ මගේ යාළුවෙක් තරහ වෙයි කියලා. එතනදී මගේ හැකියාව දකින්නේ තිස්ස ගුණවර්ධන සර්. ඒ රංගනය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. රංගන ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක් ලෙස මට ක්ෂේත්‍රයට එන්න අඩිතාලම වැටෙන්නේ එතැනදී.”

පාසල් වේදිකාවෙන් රංගනයට පිවිසි රුක්මල් පුංචි තිරයේ අපි දකින්නේ 1990 වසරේදී. ඒ තිස්ස අබේසේකරයන්ගේ ‘එකගෙයි අවුරුද්ද‘ ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. එම වසරේම අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘ප්‍රභාතය‘ ටෙලි නාට්‍යය ඔහුගේ රංගන ජීවිතය නැවත සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් කරනවා.

තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ‘වන සරණ’ සහ ‘පිටගම්කාරයෝ‘ අශෝක හඳගම නිර්මාණය කළ ‘දුන්හිඳ අද්දර‘, ‘දියකැට පහන‘, ‘සින්තටික් සිහින‘, ‘නැ‍ෙඟනහිර වෙරළෙන් ඇසෙන‘, වැනි ටෙලි නාට්‍ය මෙන්ම අශෝක හදගමගේ ‘චන්ද කින්නරී‘, ‘අසන්ධිමිත්තා‘ චිත්‍රපට තුළ ඔහු ගේ රංගනය ප්‍රබල ලෙස මතුවුණා. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘සඳ අමාවකයි‘ ටෙලි නාට්‍යයේ ඔහු ගේ රංගනය විචාරක පැසසුමට ලක් වුණා. ලාංකේය ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබන්නට එවන් අපූරු නිර්මාණ හරහා ඔහුට හැකි වෙනවා. රුක්මල් නමැති රංගන ශිල්පියාට ඔහු තුළ වූ සංස්කරණ ශිල්පියා ද මතු කරගන්න හැකි වෙනවා. ඒ අත්දකින වෙනස ගැන ඔහුට තිබුණේ මෙවැනි අදහසක්.

"රංගන ක්ෂේත්‍රයේ ඉන්න අතර මං කල්පනා කළා මේ මාධ්‍යයෙ මට තව කරන්න පුළුවන් මොනවද කියලා. මට මතකයි ඉස්සර ‘ප්‍රභාතය‘ ටෙලි නාට්‍ය සංස්කරණය කරන කොට මම යනවා එක බලන්න. රවින්ද්‍ර ගුරුගේ අයියා සංස්කරණය කරන දිහා මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. මට හිතුණා ඒ වැඩේ මැජික් එකක් තියෙනවා කියලා. එදා ලැබුණු උත්තේජනයත් එක්ක මම ඊට පස්සේ ජාතික තරුණ සේවා සභාවේ වීඩියෝ පාඨමාලාව හැදෑරුවා. පසු කාලෙකදී රවීන්ද්‍ර ගුරුගේ අයියට මාව සම්බන්ධ කරන්නේ හඳගම අයියා. සංස්කරණ ශිල්පියකු ලෙස ගමන ඇරඹෙන්නේ එහෙම. රවීන්ද්‍ර ගුරුගේ අයියා තමයි මගේ ගුරුවරයා. එයත් මගේ කලා ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක්.“

දැන්වීම් සහ වාර්තා වැඩසටහන් සංස්කරණ ශිල්පියකු ලෙස ඒ ඇරඹි ගමන් මඟ 2000 වසරේදී ටෙලි නාට්‍ය සංස්කරණ ශිල්පියකු ලෙස ද පරිවර්තනය වෙන්නේ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘සඳ අමාවකයි‘ ප්‍රාසාංගික ටෙලි නාට්‍යයයෙන්. සුමති ටෙලි සම්මාන උලෙළේ වසරේ හොඳම සංස්කරණ ශිල්පියාට හිමි ජුරියේ විශේෂ සම්මානය සිය ප්‍රථම සංස්කරණයෙන්ම හිමි කර ගන්නා රුක්මල් ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘හදවිල සක්මන‘ ටෙලි නාට්‍ය වෙනුවෙන් ද සුමති සහ සිග්නීස් සම්මානවලින් ඇගයීමට ලක් වනවා. අනතුරුව ‘මායා රංග‘, ‘ධවල කන්‍යා‘, ‘සමනලුන්ට වෙඩිතියන්න‘ ,‘ඕලු‘, ‘සුළඟ මත මොහොතක්," යන ටෙලි නිර්මාණ සඳහා ද හොඳම සංස්කරණයට හිමි සම්මානවලින් පිදුම් ලබනවා.

රුක්මල් ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ‘සුළඟ මත මොහොතක්‘ ප්‍රාසංගික ටෙලි නාට්‍යයයි. එවර සුමති ටෙලි සම්මාන උලෙළෙ හොඳම අධ්‍යක්ෂකවරයා හා සිග්නීස් සම්මාන උ‍ෙලළේ වසරේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබූ ඔහුගේ අධ්‍යක්ෂණ භූමිකාවේ ආරම්භයද අප ඇසිය යුතුමයි.

“ ආනන්ද අබේනායක අයියා මට හමුවන්නේ මම සංස්කරණය කළ පළමු ටෙලි නිර්මාණයෙන්. ඔහු එහි නිෂ්පාදකවරයා. එවකට ආනන්ද අයියා තවත් නිර්මාණයක් කරමින් හිටියා ‘සංසාරේ පියසටහන්‘, ‘අටපට්ටම‘,සහ ‘දරුවන් එනකම්‘, වැනි ඒකාංගික ටෙලිනාට්‍ය එහිදී මං අධ්‍යක්ෂණය කළා. 2006 ‘සුභ සිහින‘ ඒකංගික ටෙලි නාට්‍යය කරන්න අවස්ථාව මට ලබා දෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මිය.

“සුළඟ මත මොහොතක්‘ නිර්මාණය වෙන්නේ මා ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මා මිත්‍ර වසන්ත බණ්ඩාර ගේ කතා තේමාව මුල්කරගෙන ප්‍රියංකර රත්නායක ලියූ තිර පිටපතට අනුවයි. දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝමයක් එයට එක් වුණා. කසුන් කල්හාර තමයි මෙහි සංගීතය නිර්මාණය කළේ.“

කලාවේ විවිධ භූමිකා ඔස්සේ දශක තුනකට ආසන්න කාලයක් පුරා නිහඬ බරසාර ගමනක යෙදෙන රුක්මල්ට වත්මන් කලා ක්ෂේත්‍රය පිළිබඳ ඇත්තේ කෙබඳු අදහසක් දැයි අපට දැන ගන්න අවශ්‍ය වුණා.

“වර්තමාන ටෙලි නාට්‍ය කර්මාන්තයේ තත්ත්වය නම් සතුටුදායක නැහැ. මට ලැබුණු අවස්ථා ගැන සතුටුයි. නමුත් මේ මඟෙහි තව දුරක් මට යන්න තියෙනවා. නිර්මාණ හරහා යන්න තියෙන ඒ දුරට ලොකුම බාධකය තමයි ආර්ථික පදනම. නිර්මාණවලට සල්ලි වියදම් කරලා ඒවා ආපහු පියවගන්න ලැබෙන්නේ නැති නම් අපිට නිර්මාණ කරන්න ඉඩක් නැහැ. ඉදිරි බලාපොරොත්තුව හොඳ සිනමා කෘතියක් කිරීමයි.“

කලාවේ මෙන්ම රුක්මල් ඉදිරි බලාපොරොත්තු පිළිබඳ පිළිසඳර අවසන් කරමින් ඔහු අප හා මෙසේ පැවසුවා.

" කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට මා කටයුතු කරමින් හිටියේ. නමුත් වැඩිදුරටත් අධ්‍යාපනය පුළුල් කර ගැනීම අවශ්‍යයි යන හැඟීම එක්ක මේ වන විට මම මාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරමින් සිටිනවා. ඒ දැනුම අලුත් පරම්පරාවකට ලබා දෙන්නත් මට හැකි වේවි. නව මාධ්‍ය පිළිබඳ විශේෂයෙන්ම මා මෙහිදී හදාරනවා. මේ අවුරුද්දේ අග පශ්චාත් උපාධි කටයුතු අවසන් කරන්න ලැබේවි. ඉන් පස්සේ ලංකාවට එන්නයි බලාපොරොත්තුව.“

මට වැඩ කරන්න ලැබුණේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරු එක්ක. වර්තමානයේ අලුත් අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් සමඟ වැඩ කරන්න ලැබීමත් ලොකු අත්දැකීමක්. 'Colombo' හොඳ හැදෑරීමකින් ඉදිරියට ආපු නිර්මාණයක්.

මේ ගමන එන්න මගේ පවුලෙන් මවුපියන්ගෙන්, පාසලෙන්, ක්ෂේත්‍රයෙන් විශාල පිටිවහලක් ලැබුණා. නම් වශයෙන් සඳහන් නොකළත් මේ ගමනට උදවු කළ හැම දෙනාම මගේ මතකයේ ඉන්නවා. ඉදිරියේදී හොඳ නිර්මාණයකින් එකතු වෙන්න හැම වෙලාවෙම හිතමින් ඉන්නේ. ලංකාවෙන් දුරස් වෙලා හිටියත් කලාව සහ කලා ක්ෂේත්‍ර හදවතින් අමතක වන්නේ නෑ.

 

Comments