කෙහෙල් බඩෙන් හදන කෑම | සිළුමිණ

කෙහෙල් බඩෙන් හදන කෑම

අද නගරබද ජීවත්වන බොහෝ දෙනා කෙසෙල් බඩය ගැන හෝ කෙ‌ෙහල් බඩ ආහාරයට ගත හැකි බව අසා නැතුවාට විශ්වාසයි . නමුත් සොබා දහම සමඟ ජීවත් වූ අපේ පැරැන්නන් පොල් ගස, කොස් ගස සේම කෙසෙල් ගසෙනුත් ගත් ප්‍රයෝජන බොහොමයි. කෙසෙල් කැන කපා ඉවත් කළ පසු ඉවතලන කෙසෙල් කඳෙන් රස ආහාරයක් සකසන්නත් පැරැන්නන් පුරුදුව සිටියේ එය රෝග රැසකට අනර්ඝ ඖෂධයක් බව ඔවුන් දැන සිටි නිසයි.

 

මසකට දෙතුන්වරක් එදා ආහාර වේලට එකතු වූ කෙහෙල් බඩය අද කෑමට ගන්නා බවත් නොදන්නා තරම්. අද ගෙවත්තෙන් ඉවත ලන මේ මහඟු ඖෂධයෙන් පහසුවෙන් සාදා ගත හැකි ඉතා රසවත් ආහාර වට්ටෝරු ගැනයි අද අප කියා දෙන්නේ.

රස ගුණ

කෝලි කුට්ටු සහ අලු කෙ‌ෙහල් බඩය භාවිත කර ආහාර සකසා ගැනීම වඩාත් රසවත් හා ගුණවත් වේ

 

ආයුර්වේදයට අනුව -

ගැස්ට්‍රයිටිස් හෙවත් ආමාශ තුවාල සුව කිරීමට

නින්ද නොයාම හා මානසික ආබාධ සුව කිරීමට

හිමොග්ලොබින් නිපදවීමට සහ ඉන්සියුලින් ස්‍රාවයට උදවු වේ

මුත්‍රා ආසාදන මුත්‍රාශයේ සහ වකුගඩු වල ගල් ඉවත් කිරීම

ශරීරයේ උෂ්ණාධික බවට

අධික රුධිර පීඩනය අඩු කර ගැනීමට

අර්ශස් රෝගයට

 

කෙහෙල් බඩ චිප්ස්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

කපා ගත් කෙහෙල් බඩ කෑල්ලක්

කඩල පිටි හෝ පාන් පිටි මේස හැඳි 3ක්

කෑලි මිරිස් ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

මී කිරි හැන්දක් හෝ යෝගට් (කැමති නම්)

ලුණු ස්වල්පයක්

 

 

 

සදා ගන්නා අයුරු

කෙහෙල් බඩ ඉක්මනින් කහට පිපෙන බැවින් පළමුව අවශ්‍ය පේස්ට් එක සාදා ගැනීම සුදුසුයි. බඳුනකට කඩල පිටි හෝ පාන් පිටිදමා එයට කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. රසය වැඩි කර ගැනීමට මී කිරි හැන්දක් හෝ යෝගට් ස්වල්පයක් එකතු කර ලුණු ස්වල්පයක් ද දමා හොඳින් මිශ්‍ර කර පේස්ට් එක සදා ගන්න. දැන් කෙහෙල් බඩ කැබැල්ල සිහින් පෙති කපා සාදා ගත් මිශ්‍රණයේ බහා මඳ වේලාවක් තබා මිශ්‍රණය හොඳින් තැවරුණු පසු ගැඹුරු තෙලේ මද ගින්දරෙන් බැද ගන්න.

 

 

කෙහෙල් බඩ සලාදය

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කෙහෙල් බඩ කැබැල්ලක්

රතුලුනූ ගෙඩි 5ක් (අවශ්‍ය ප්‍රමාණයට )

තක්කාලි ගෙඩි 2ක් (ප්‍රමාණය අනුව)

අමු මිරිස් කරල් 2-3ක්

ගම්මිරිස් ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

 

 

සාදා ගන්නා ආකාරය

කෙහෙල් බඩ කෑල්ල හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. පසුව රතුලූනූ, තක්කාලි සහ අමුමිරිස් කුඩා කැබලිවලට කපා සිහින්ව කපා ගත් කෙහෙල් බඩ සමඟ මිශ්‍ර කර ගන්න. එයට දෙහි බින්දුවක් කවලම් කර මිශ්‍ර කර ගැනීමෙන් කහට පිපෙන ගතිය අවම කර ගත හැකිය.

උපදෙස් - උමංදාව දේශීය ආහාර පර්යේෂණ ව්‍යාපෘතිය

ඡායාරූප - තිලක් පෙරේරා

Comments