එකම බලා­පො­රො­ත්තුව ක්ෂේත්‍රයේ සෑම අංශ­ය­කින්ම ප්‍රවී­ණ­යෙක් වීමයි | සිළුමිණ

එකම බලා­පො­රො­ත්තුව ක්ෂේත්‍රයේ සෑම අංශ­ය­කින්ම ප්‍රවී­ණ­යෙක් වීමයි

 - ගීත් මධු­සංඛ

 

දිනෙන් දින කලා ක්ෂේත්‍රයට නව මුහුණු එකතු වෙනවා. එසේ එකතු වන නවකයන් ක්ෂේත්‍රයේ අභියෝග භාර ගනිමින් ඒවා කළමනාකරණය කරගනිමින් ඉදිරියට එනවා. එවැනි විශ්වාසනීය ප්‍රවේශයක් ලබා ගත් යොවුන් නිරූපණ ශිල්පියෙක් , නිවේදකයෙක් මෙන්ම ගායකයෙක් ගැනයි මෙවර රසඳුන කතා බහට ඉඩ හසර වෙන්වන්නේ. ඔහු ගීත් මධුසංඛ.

ගීත්ගෙ ගම මහනුවර. අධ්‍යාපනය ලබන්නෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්. ඔහු වයස අවුරුදු හතේදී පමණ තමයි ස්වර්ණවාහිනියේ ‘හපන් පැදුර‘ වැඩසටහනට යොමු වන්නේ. ගීත් මධුසංඛ සිය අතීත විත්ති අපට එකින් එක දිග හරින්න ගත්තා.

“ මම පොඩි කාලේ ඉඳන් ලස්සනට අදින්න ෆැෂන් කරන්න ආසයි. ඒ තිබුණ උනන්දුවයි අද මාව නිරූපණ ශිල්පියෙක් කළේ. නිවේදන ශිල්පියෙක් වෙන හීනේ හැබෑ කර ගන්න පුළුවන් වුණේ චැනල් සී ආයතනය හරහා. මම චැනල් සී ආයතනයේ පූර්ණ කාලීන නිෂ්පාදකවරයෙක් සහ නිවේදකයෙක් විදියට වැඩ කරනවා. තුසිත සර්, ප්‍රසංග සර් දුන්නු අවස්ථාව නිසයි අද මට මේ හැමදේම ලැබුණේ.“

ගීත් අධ්‍යාපනය ලබන්නෙ ගණිතය විෂය ධාරාවෙන්. නමුත් ගණිත විෂය ධාරාව තුළ ඔහු බලාපොරොත්තුවන ඉලක්ක සාධනය කරගන්න බැරි වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න තිබුණ කාලය ඔහු යොදවන්නෙ‍ රියැලිටි වැඩසටහන් වලට. කෙසේ වෙතත් තෝරා ගත්තු ක්ෂේත්‍රය තුළ ඔහු ස්ථාවරව අඩි තබමින් යනවා. ඔහුගේ ඊළඟ ප්‍රවේශ ගැන ගීත් අපට කියන්නෙ මේ විදිහට.

“ The voice කියන්නෙ මගේ ජීවිතේ මීළඟ පෙරළිය. මගේ ඊළඟ බලාපොරොත්තුව. මේ කොවිඩ් වසංගතය මැද්දේ සිරස ටීවී කාර්‍යමණ්ඩලය අපේ සෞඛ්‍ය මට්ටමේ ඉඳලා හොයලා බලනවා. ඒ වගේම කෝච් ශෂිකා මහත්මිය හැමවෙලාවකම අපි එක්කම ඉන්නවා.“

රැකියාව, නිවේදනය සහ ගායනය සාර්ථකව සමබරව කරගෙන යෑම ඔබට අභියෝගාත්මක කටයුත්තක්දැයි විමසූ විට ගීත් දුන්නෙ මෙවැනි පිළිතුරක්.

“හැම දෙයක්ම සමබරව කරගෙන යන්න පුළුවන්... හැබැයි ලේසි නෑ. ඒකට හිතේ නිදහසක් තියෙන්න ඕනේ. අපිව කෙනෙක් එයාගෙ වැඩවලට ගන්නෙ එයා ගැන තියන විශ්වාසයට. අපි ඒ විශ්වාසය තිබ්බොත් තමයි අපිට ඒ අවස්ථාව එන්නෙ. මම එතනදි ගොඩක් වග බලා ගන්නවා මට එන වැඩ එක්ක ජීවිතේ සමතුලිත කර ගන්න.

මේ සමඟම තම නිවැසියන්ගෙ ආදරය ඔහු මතක් කළේ හැගීම්බරව..

මම ඉන්නෙ කොළඹ. අපේ ගම මහනුවර. මම ලොකු පවුලක කෙනෙක් නෙමෙයි. ඒත් මට අවශ්‍ය සෑම දෙයක්ම මට අම්මා තාත්තා දුන්නා. ඒ වගේම ලොකු නංගි පොඩි නංගි, තරංග, මගෙ අප්පච්චි,... එයාලා තමයි මගේ ශක්තිය.

ගීත්ගෙ අනාගත බලාපොරොත්තු ඉතාම විශාලයි.

“ඉදිරියේදි සිනමාවටත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ. රංගනය ගායනය, නිරූපනය , නිවේදනය මේ හැම අංශයකින්ම ප්‍රවීණත්වය ලබා ගන්නයි මගේ බලාපොරොත්තුව.“ගීත් අප සමඟ පැවසුවා.

Comments