හේන් තහනම නිසා කබලෙන් ළිපට වැටුණු රාවණා පරපුරේ මිනිස්සු | සිළුමිණ

හේන් තහනම නිසා කබලෙන් ළිපට වැටුණු රාවණා පරපුරේ මිනිස්සු

 

අහිමි වී ගිය හේන් වගාව නැවත ස්ථාපිත කර දෙන්නැයි වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාතලේ ලග්ගල ලකේගල පාමුල ජීවත්වන රණ පරපුරේ සිට පැවත එන රණමුරේ ගම්මානයේ වැසියෝ කියති.

ලකේගල පාමුල ජීවත්වන ගම්මාන දෙකක ජනතාව රාවණා පරපුරේ සිට පැවත එන පිරිසක් බව ඔවුහු හඳුන්වති.

අතීතයේ සිට මේ ජනතාව හේන් ගොවිතැනින් ජීවත් වූවෝ වෙති. ඔවුන් අවස්ථා ගණනාවක දීම තමන්ට හේන් වගාව ස්ථාපිත කර දෙන්නැයි රජයට ඉල්ලීම් කරමින් සමුළුවක් පැවැත්වූ අතර සාම්ප්‍රදායික හේනක ඇති වැදගත්කම රාජ්‍ය නිලධාරීන් වෙත හේන නිර්මාණය කරමින් ප්‍රදර්ශනය පවා සිදුකර තිබීම විශේෂත්වයකි.

මෙම ගම්මානවල ජීවත්වන ජනයා කුරක්කන් වී කවුපි බඩඉරිගු මෙනේරි ආදී ඉපැරැණි බෝග වර්ග හේන්වල වගා කරගෙන ආහාර රැස්කර ගෙන ජීවත් වූවෝ වෙති.

අදටද මේ ජනතාව තම ගම්මානේ හේන් වගාව රජය තහනම් කිරීමෙන් පසුව කුරහන් ඇටයත් තල මෙනේරි ආදී ආහාර වර්ග ඉතා සීමිත ප්‍රමාණයක් වගා කර ගන්නා අතර එදා තමන් වගා කල ආහාර පිට ප්‍රදේශවලින් මිලදීගෙන සෝදා පිරිසුදු කොට පැකට් කරමින් අලෙවි කිරීම රැකියාව ලෙස සිදු කරමින් සිටින බව ගම්මු කියති.

රණමුරේ ගම්මානය මොරගහකන්ද හා කලුගග ජලාශ ඉදිකිරිම නිසා ලග්ගල ඉතිරිවූ එකම ඉපැරණි ගම්මානයද වේ .හිටපු ජනපති ගේ නියෝගයෙන් මේ අතීත ජනයාගේ හේනට හෙන වැදුණු බව පෙන්වා දෙන ජනතාව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ රාවණා පරපුරේ සිට පැවත එන එකම ගම්මානය වන රණමුරේ ජනතාවට හේන් වගාව සඳහා අවසරය ලබාදෙන ලෙසය .

ඒ අවශ්‍ය භූමි වෙන් කොට තිබණ නිසා තමන්ට කෘතිම පොහොර රසායනික පොහොර නොයොදා හේන තුළින් මෙරට ජනතාවගේ නිරෝගීතාව ඇති කිරීමට අවශ්‍ය ආහාරපාන යම් මට්ටමකින් හෝ නිපදවා දීමට හැකි බවය. එම නිසා තල, මෙනේරි, කුරක්කන්, අබ, එළවළු ආදී වගා කර ගැනීමට හේන නැවත ආදර්ශයක් ලෙස හෝ පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙසය.

මෙම හේන් වගාවෙන් පරිසරය විනාශ වන බවට රාජ්‍ය නොවන සංවිධාන හිටපු ජනාධිපතිවරුන්ට සහ පරිසර අමාත්‍යවරුන්ට පෙන්වා දී ගමේ තිබුණු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කොට දැමූ බව රණමුරේ වැසියෝ පෙන්වා දෙති. පෙරදා කිසිදු ලෙඩ රෝගයකින් තොරව ජීවත් වූයේ මිනිසුන් වන සතුන් ඉතා ආරක්ෂිතව සතුටෙන් ජීවත් වූ බව ද, හේන නිසා පරිසර විනාශයක් සිදු නොවූ බව ද ඔවුහු පෙන්වා දෙති.

වෙනදා කිසිදු තෙල් බෙහෙත් යොදා ගැනීමකින් තොරව වගා කළ තමුන්ට අද සිදුවී ඇත්තේ කුඩා පැල් අටවාගෙන කුඹුරු ඉඩම් වල බෝංචි වගා කිරීම බවත් බෝංචි සඳහා කෘමි නාශක පොහොර වර්ග විශාල වශයෙන් යෙදීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති. එම නිසා රාවණා පරපුරේ සිට පැවත එන තමන්ට හේන් වගාව ඉටුකරදීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකසා දෙන්නැයි ඔවුහු ඉල්ලීම් කරති.

නැවත තමන්ට හේන් වගාව සිදු කර ගැනීම සඳහා හේන ඉල්ලන රණමුරේ ගම්මානේ විදුහල්පතිවරයකු ලෙස සේවය කරන ඒ .ජි. ගුණසේනගේ අදහස මෙසේය.

"අපි රාවණා පරපුරේ ඉඳලා එන මිනිස්සු අදටත් අපේ රාවණා මුත්තා තමයි දෙවියන් හැටියට සලකන්නේ රාවණා යක්කම පවා නටන්නෙ අපේ ගමේ රාවණා රජුගේ ආභරණ ආයුධ පවා ආරක්ෂිතව කියලා තියෙන්නෙත් අපේ ගමේ. අදටත් කාට හරි හේනක් බලන්න හරි තියෙන්නෙ මේ ගමේ විතරයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ වෙන මොනවත් නෙවෙයි රණමුරේ ගම්මාන වලට වෙන් කරලා තියෙන ඉඩම් ටික වහාම අපිට හේන් වගාවට ලබාදෙන්න." "හේන කියන්නේ ගහකොළ සතා සිවුපාවා ආරක්ෂා කරන තැනක් මිනිස්සුන්ගේ බඩ වියත රකින තැනක් ඒ විතරක් නෙවෙයි; වසවිස වලින් තොරව ආහාර ටිකක් නිෂ්පාදනය කරන තැනක් අපි අහන්නේ. හේන් වගාව තහනම් කරල මේ රටේ රැකපු කැලේ කොහෙද තියෙන්නේ. ඒ දවස් වල අපි කැලේ හිටපු නිසා කැලේ රැකුණ සතා සිවුපාවා ආරක්ෂා වුණා. හැබැයි අපිව කැලයෙන් එළවලා දාලා කැලේ රකින්න බාරගත්තු අය සිද්ධ කළේ දැව ජාවාරම් කරුවන්ට මස් වැද්දන්ට මුළු රක්ෂිත ලබා දීම. දිය උල්පතින් විනාශ කළා. අද සතා සිවුපාවා ගමට ඇවිල්ලා මිනිස්සුත් එක්ක හරි හරියට පොර බඳිනවා; මේක තමයි ඇත්ත.

එදා මීට වඩා කැලේත් තිබුණා; මීට වඩා වන සතුනුත් හිටියා. හැබැයි අලියා ගමට ආවේ නෑ; එයාලට අපි අත්හරින හේනේ දලු කොළ කන්න ඉතුරු වෙනවා. එයාලට ගමට එන්න උවමනාවක් නෑ. අද ඉතිරිවෙලා තියන ඔය කැලේ සත්තුන්ට කන්න දෙයක් නෑ ඒ නිසා තමයි සත්තු ගමට ඇවිල්ලා මිනිස්සුත් එක්ක මරා ගන්නේ."

"විවිධ පරිසර සංවිධාන කියාගෙන ඇවිල්ලා සිද්ධ කරලා තියෙන්නේ. අපේ එකමුතුකම, සංස්කෘතිය, ගැමිකම, අපේකම සියල්ලම රඳා පැවතුණු හේන් වගාව විනාශ කරන්න; ඒ අයගේ ඉලක්ක ටික සපුර ගත්තා. හැබැයි අපේ මිනිස්සුන්ගේ එකමුතුතාවට සංස්කෘතියට හෙන ගැහුවා. එදා අපි එක එකාට උදවු පදවු කරමින් හේන කෙටුවා අද අල්ලපු ගෙදර මිනිහා එක්කත් තරහ වෙලා තාප්ප ගහගෙන තනියම ජීවත් වෙනවා. මේ තමයි අපේ රට විනාශ කරන්න ගෙනාපු තවත් ක්‍රමයක්."එච්. ජි. පිංචි අම්මාගේ අදහස මෙසේය.

"අපි එදා හේනෙන් තමයි ජීවත් උනේ අපිට අද කුරහන් ටිකක් කන්න නෑ. අපේ පරණ බීජ ටික හොයාගන්න නෑ. අද අපට වෙලා තියෙන්නේ බඩගින්නෙ මැරෙන්න. ආසාවට කුරහන් ටිකක් වපුර ගන්නෙ කුඹුරේ; ඒක අපට මදි. පිටින් ගේන්නේ කුරහන් කිලෝවක් රුපියල් 300 ක ට. එදා අපි බත් කෑවේ සතියකට දවස් දෙකයි. කුරහන් රොටි, ඉරිඟු, කව්පි, මෑ කරල් ඇට, වට්ටක්කා තමයි තම්බගෙන කෑවෙ. අද අපිට මේ සියල්ල අහිමි කළා. ජනවාරි මාසේ අපි කිරි උතුරන්න හේනට ගිහාම සිංහල අවුරුද්දට තමයි ආපහු ගෙදර එන්නේ. එතකන් අපි සියලු දෙනාම ඉතාමත් සතුටෙන් හිටියා."

" ගහකොළ සතා සිවුපාවා ඒ විතරක් නෙවෙයි අපේ මිනිස්සු හරිම ශක්තිමත්ව හිටියා. අද අපේ ගම්මානවල මිනිස්සු ඇවිදින මළකඳන් බවට පත්වෙලා; වස විස ආහාරයට අරගෙන. අපේ ගමට මේ මෑතක් වෙනකම්ම පිටින් ගෙනාවේ රෙදි ,දියලුණු යි විතරයි. අනිත් සියලුම දේ අපි හොයාගත්තා හේන හින්දා."

"අවසානයේදී පරිසර සංවිධානවල ඉල්ලීම් මුල් කරගෙන අපට හේන නැති කළා. පස්සේ අපි කළු පාන එනසල් වගාවෙන් ජීවත් වුණා. පරිසර සංවිධාන ඇවිල්ලා අපේ එනසල් වගාවත් අත්පත් කරගත්තා. අවසානයේදී අපේ එනසල් වේලපු වාඩි ඔක්කොම ගිනි තියලා විනාශ කළා. දැන් ඒ පැත්ත තනිකරම දැව හොරුන්ගේ, නිධන් හොරුන්ගේ, මස් වැද්දන් ගේ පාරාදීසයක් වෙලා. අපි අහනවා වනජීවී එකෙන්; වනසංරක්ෂණ මහත්තුරුන්ගෙන් අපි හේනෙන් අයින් කරලා පරිසර සංවිධාන එක්ක කැලේ රැක්කා ද කියලා?

"මේ අවනඩුව කියන්න අපේ රාවණා මුත්තා එන්නේ නෑ ඒ නිසා රට පාලනය කරන ඇත්තෝ මේ ගැන බලන්න අපි ජනාධිපතිතුමා ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා අපට දාන නීතිරීති දාලා නැවතත් හේන වගා කරන්න ඉඩ දෙන්න කියලා. එහෙම වුණොත් අපට දේශීය විදේශීය ආහාර ටික නැවත වගා කරලා අඩුම තරමේ ඉස්කෝලේ දරුවකුට හරි හේන පෙන්නන්න රැකගන්න පුළුවන්."

රණමුරේ ගම්මානයේ පදිංචි ජී ධනපාල මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

"හේන් වගාව එක්ක අපට බැඳිලා තියෙන අතීතය සුළුපටු නැහැ. අපේ ගමේ මිනිස්සු අදටත් පැල් කවියට, ජන ගීයට ආදරේ කරන මිනිස්සු. හැන්දෑවට පැළට ගිහාම පැල් කවියක් කියලා ගිනි ගොඩක් ගහගෙන එකමුතුවෙන් හිටිය. විශ්වවිද්‍යාලවල ළමයි, ආචාර්ය මහාචාර්යවරු, අපේ ගමට ඇවිල්ලා තමයි ගැමිකම අපේකම ගැන පොත් ලිව්වේ; ඒ විතරක් නෙවෙයි සින්දු ලිව්වෙ. අපට හොඳට මතකයි; අද ඇහෙන ගැමි ගීත ගොඩක් අපේ ගම්වලට ඇවිල්ල තමයි ලිව්වේ. රාවණා මුත්තා ගැන හොයන්න එන හැම කෙනෙක්ම ආවෙ අපේ ගමට ඇවිල්ලා කිතුල් මලක රහ බලලා අපි වගා කරපු තල, මුං, මෙනේරි, කව්පි ඇට ආදී දේ අපට සල්ලි දීලා අරගෙන ගියා. අද වෙලා තියෙන්නේ විකුණන්න තියා අපට කන්න වත් ඒව නෑ".

"අපේ සමෘද්ධි සහනාධාරය කරුණාකරලා රජයට ගන්න අපට එපා අපට හේන කරගන්න අවසර දෙන්න ඒ ඇති. ජනාධිපතිතුමාට අපි කියන්නේ රණමුරේ ගම්මානයට වත් මේ ආදර්ශයක් හැටියට හේන ලබා දීල බලන්න ඒ මිනිස්සු මොන තරම් සුන්දරද කියලා අපේ සමුර්දි සහනාධාරය පරිත්‍යාග කරන්න කැමතියි.

හේන වෙනුවෙන් මේ රුපියල් දාහක් එක්දාස් පන්සීයක් පමණ අපට හේන දහසක් වටිනවා අපේ පරපුරේ මිනිස්සු දැන් හේන් වගාවෙන් අයින් වෙලා බදාම අන්න නගරේ යනවා කොළඹ රටේ යනවා.

මේක තවදුරටත් බලාගෙන ඉන්න බෑ ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ අපට හේන දෙන්න පොහොර එපා රසායනික තෙල් බෙහෙත් එපා අපට වගා කරගන්න පුළුවන් මේ මොනවත් නැතුව, දැන් අපි බෝංචි වගාවට කොටු කරලා. බීජ මහපොළොවට දාපු දවසේ ඉඳලා පොහොරයි තෙලුයි ගහලා අපිත් විනාශ වෙනවා. පොළොව විනාශ වෙනවා; මිනිස්සුත් විනාශ වෙනවා; බෝංචි වගාව හින්ද

බලන්න අපේ කැලේ තියෙන හිස් බෝතල් ගොඩ. මොන තරම් නං අපි තෙල් බේත් ගහලා තියෙනවද කියලා මේ බෝංචිවලට. මේ අපරාධයෙන් රටත් අපිත් මුදවා ගන්න; ඒ ඇති. මේක මහා පින්කමක් කියල හිතන්න ."

Comments