සිරිලක අවුරුදු උත්සවයේ විකාශය | සිළුමිණ

සිරිලක අවුරුදු උත්සවයේ විකාශය

 

සිංහල ජන සමාජය තුළ එහි පැවැත්මට අදාළ වන්නා වූ සාරධර්ම රාශියක් පෝෂණය කරන වැදගත්ම ජාතික උත්සවය සිංහල අවුරුදු උලෙළයි. එහි ආරම්භය සිංහල ජාතියේ ආරම්භය තරමටම පැරැණි වන අතර එහි විශේෂත්වය වන්නේ සිරිත් විරිත් රාශියක් මුල්කරගෙන පවත්වනු ලැ‍බීමයි. මෙම සිරිත් විරිත් යුගයෙන් යුගයට වෙනස් වෙමින් අලුත් වෙමින් අද පවතින තත්ත්වයට හැඩ ගැසී ඇත.

අනුරාධපුර සමයේ නැකැත් කෙළි පැවැතී ඇත්තේ පොසොන් මාසයේ ය. එය පැවැත්වෙන්නේ සූර්යයා මුල් කරගෙන පැවැත්වෙන උත්සවයක් ලෙසය. මිනිසුන් හිරු මුල් කරගෙන උත්සව පැවැත්වීමට පෙලඹී ඇත්තේ ඇයි දැයි යන්න මෙහිදී විමසා බැලිය යුතුය. මුළු මහත් ලෝකයේ ම කුදු මහත් සෑම දෙයක් කෙරෙහිම අසීමිත බලපෑමක් කරන්නේ සූර්යයා ය. ඒ අනුව ආදිම මිනිසා සූර්යයා තමා කෙරෙහි බැල්ම හෙළා සිටින දෙවියෙකු ලෙස සලකා පුද පූජා කළහ. ‘හිරු දෙවි’ ඇදහීම ඇතිවූයේ එසේ ය.

සූර්යයා මුල් කරගෙන අවුරුදු ‍උත්සව පවත්වන පෙරදිග ජාතීහු අප්‍රේල් මාසයේ මැදට යෙදෙන විශේෂ දිනයක් ඒ සඳහා යොදා ගත්හ. එම දිනය සමාන රාත්‍රි හා සමාන දවල් ඇති දිනයයි. භාරතීයයන් මෙදින පැවැත්වෙන උත්සවය හඳුන්වන්නේ ‘විෂුවෝත්සවය’ ලෙස ය. මෙම දිනය අප්‍රේල් මස 13 ට හෝ 14 ට යෙදේ.

 

•ලිත් සෑදීම

හිරුගේ ගමන අනුව ලිත් සෑදීම ආරම්භ වන්නේ ඉන්දියාවේ සිටි බෞද්ධ රාජ පරම්පරාවක් වන ‘ශක’ රාජ වංශයේ ආරම්භයත් සමඟය. මේ නිසා දැනිදු අවුරුදු නැකැත්කරුවා නැකැත් සාදන්නේ ‘ශක වර්ෂ’ ක්‍රමය අනුවය. වසර 2021 අප්‍රේල් මස උදාවන්නේ 1943 වැනි ශක වර්ෂයයි. එය ක්‍රි. වර්ෂයෙන් වසර 78 ක් පසුව ඇරැඹී ඇත. ලිත් ක්‍රමය අනුව සූර්යයා මේෂ රාශියෙන් ගමන් අරඹා රාශි 12 ක ගමන් කර මීන රාශියෙන් යළිත් මේෂ රාශියට සංක්‍රමණය වන්නේ අප්‍රේල් 13 හෝ 14 දිනයකය. එම සංක්‍රාන්ති කාලය නැකැත් නැති කාලයකි. නැකත් නැති කාලය ‘නොනැකැත්’ කාලයයි. ‘නොනගතය’ වී ඇත්තේ එම වචනයයි. කිසිම සුබ වැඩකට නොසුදුසු මේ කාලය සුදුසු වන්නේ පිං කටයුතුවලටය. බෞද්ධයන් එම කාලය හඳුන්වන්නේ ‘පුණ්‍යකාලය’ ලෙසය.

 

•සතර මංගල්‍යය

බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම වීමත් සමඟ එය රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතයක් බවට පත් විය. දළදා වහන්සේ මහනුවරට වැඩම වීමත් සමඟම ‘දළදා සංස්කෘතියක්’ මහනුවර කේන්ද්‍රකොට ගෙන නිර්මාණය විය, ඒ අනුව දළදා වහන්සේට එදිනෙදා කෙරෙන පුද පූජාවලට අමතරව ප්‍රධාන මංගල්‍ය සතරක් ද ඇරැඹිණි. එම සතර මංගල්‍ය නමින් හඳුන්වන මංගල්‍ය හතර අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබේ. එම සතර මංගල්‍ය වන්නේ අලුත් සහල් මංගල්‍ය, අවුරුදු මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය යන සතරයි.

අවුරුදු උදාවට පෙර රජ වාසල දෛවඥවරුන් නැකැත් වේලාවන් පිළියෙල කරන අතර රජ වාසල වෛද්‍යවරුන් හිස තෙල් ගෑම සඳහා ඖෂධීය යුෂ පිළියෙල කරනු ලබති. විවිධ ඖෂධීය ශාක මිශ්‍රණයෙන් මෙම යුෂ පිළියෙල කරනුයේ නාථ දේවාලයේදීය. එය මහත් ආයාසයෙන් සිදු කළ කාර්යයකි. අවශ්‍ය කොළ වර්ග හා බෙහෙත් වර්ග ඒ ඒ ප්‍රමාණයෙන් ගෙන කොටා තම්බා මිරිකා යුෂ ගෙන ඒවා මුට්ටිවල පුරවා වැසුම් යොදා (සුදු රෙදි කඩකින් කට වසා) රජ වාසලට ගෙන යයි. අනතුරුව මහනුවර අවට විහාරස්ථානවලට ‍ඒවා බෙදා හරිනු ලැබේ.

මෙම මූලික කටයුතු සංවිධානයේදී සැරැසිලි කිරීමද අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලැකූ බව නොක්ස් සඳහන් ‍කරයි. ඒ අනුව රජ වාසල දොරටුවක් පාසා තොරණ බැඳ සැරැසිලි කළ බව ඔහු සඳහන් කරයි.

කණු හතක් හෝ නමයක් මැද කණුව උස්ව සිටින ලෙස සිටුවා හරස් ලී බැඳ එම තොරණ සෑදූ බව දැක්වේ. වර්තමාන කාලයේ ද මහනුවර ප්‍රදේශයේ සාම්ප්‍රදායික තොරණ සාදනු ලබන්නේ මේ ක්‍රමයටමය. තොරණවල දොරටුවෙහි ආරුක්කු බදිනා ලද බවත් තොරණ මුඳුනේ හරස් ලීවල ගෙඩි වළලු එල්ලා මිනිස්, සිවුපා, පක්ෂි වැනි රූපවලින් යුත් කොඩි බැන්ද බවත් සඳහන් කරයි.

 

•අවුරුදු චාරිත්‍ර

මේ විස්තරය අනුව ‍එම කොඩි දැනිදු දළදා පෙරහරේ ගෙන යන ප්‍රාදේශීය කොඩි විය හැකි ය. සමහර තැනෙක තොරණ වෙනුවට කොඩිගස් සිටුවා තිබුණ බව ද මේ ලෙස සැරසිලි කොට රජ මාලිගය දෙවු විමනක් ලෙස අලංකාර කළ බව ද නොක්ස් සඳහන් කරයි.

මේ ලෙස මූලික කටයුතු සංවිධානය කිරීමෙන් පසු නැකැත් වේලාව අනුව ඒ ඒ චාරිත්‍ර පවත්වනු ලැබේ.

ඩේවිගේ විස්තරය අනුව අවුරුදු මංගල්‍ය ප්‍රධාන අංග 6 කින් සමන්විත වේ. ඒ යටතේ අවුරුදු උදාව, හිසතෙල් ගෑම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ස්නානය , රජතුමාට අලුත් අවුරුදු තෑගි පිරිනැමීම සිදු කෙරේ. පළමුවැනි අංගය වන අවුරුදු උදාවන මොහොතේදී රජතුමා නිලමේවරු පිරිවරා සිංහාසනාරූඪවී සිටියදී කොඩිතුවක්කු වෙඩි මඟින් අලුත් අවුරුදු උදාව නුවර වැසියන්ට සන්නිවේදනය කෙරේ.

දෙවන අංගය හිසතෙල් ගෑමය. තෙල් යනුවෙන් අදහස් කරන්නේ නාථ දේවාලයේ පිළියෙල කළ නානු ය. ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ රජ වාසලදීය.

 

•ආහාර අනුභවය

තුන් වැනි අංගය නැකතට ආහාර අනුභව කිරීමයි. රජතුමා පළමුව විශේෂයෙන් පිළියෙල කරන ලද ආහාරයෙන් ටිකක් අනුභව කොට රැස්ව සිටින නිලමේවරුන්ට ද ටික ටික බෙදා දෙයි. මෙය හඳුන්වන්නේ ‘දින භෝජම’ යනුවෙනි. නිලමේ වරු ද එය අනුභව කරති. මෙදින රාත්‍රියේ නිලමේවරුන් සඳහා රජ වාසල භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ඩේවි සඳහන් කරයි.

සිවුවෙනි අංගය වූ නැකතට වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ද අලුත් අවුරුදු මංගල්‍යයේ වැදගත් තැනක් ගනී. නිලමේවරු සහල්, පොල්, පලතුරු වැනි ද්‍රව්‍ය මහ ගබඩාවට බාර දී සමාන වෙනත් භාණ්ඩවලට හුවමාරු කරගනී. මෙදින මහ ගබඩාව සාමාන්‍ය ජනයාට ද විවෘතය. ඔවුන් විසින් ද සුළු සුළු ද්‍රව්‍ය හුවමාරු කරගනු ලැබේ. එසේම සියලුම වැසියෝ තම ඥාති මිත්‍රාදීන් සමඟ සුහදත්වයේ සංකේතයක් ලෙස තෑගි බෝග හුවමාරු කරගත් බව ඩේවි සඳහන් කරයි.

පස්වැනි අංගය වූ ස්නානය කිරීම ද හිසතෙල් ගෑමේ මංගල්‍යයට බෙහෙවින් සමානය. ස්නානයෙන් පසු නිලධාරීහු රජු බැහැ දැකීමට පැමිණෙති. එසේ පැමිණ තුන් වරක් දනින් වැටී නමස්කාර කරති. මෙලෙස ඇතැම් සිරිත් අභාවයට යමින් අලුත් චාරිත්‍ර එකතු වෙමින් සිංහල අවුරුදු උලෙළ මෙරට ප්‍රධාන තම ජනතා සැණකෙළිය ලෙස වර්ධනය වෙමින් චිරාත් කාලයක් පවතිනු ඇත.

Comments