සංවේදී මානව හදවතක් තනා ගැනීමේදී පරිකල්පනීය වින්දනය වැදගත් | සිළුමිණ

සංවේදී මානව හදවතක් තනා ගැනීමේදී පරිකල්පනීය වින්දනය වැදගත්

 

ඵෙතිහාසික පුරාණ සාහිත්‍යමය කතා ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ අදහස් කළේ ඇයි?

“ඉතිහාසය වඩාත් තීව්‍රර විදියට අවබෝධමය ඥානයකින් අත් විඳීමට නම් එවැනි නිර්මාණ අවශ්‍ය වෙනවා. මන්ද පෙර පැවති සිදුවීමක් තත්වාකාරයෙන් වටහා දීමට පාඨකයා ඒ වටපිටාවට රැගෙන යා යුතු වෙනවා. ඒ විදිහට සහෘදයා සියවස් ගණනාවක් ඈතට රැගෙන යා හැකි වනුයේ ප්‍රතිනිර්මාණමය ආඛ්‍යාන විලාසයකින් විතරයි. ඒ ප්‍රතිනිර්මාණයම විලාසය කළ යුතු වන්නේ ඉතිහාසය පිළිබඳ ගැඹුරු වගේම පතළ අවබෝධය තුළින්. ඒ වගේමයි නූතන වටපිටාව ගැන ඇති තේරුම් සහගත බවත් එක්කමයි. මොකද අතීත පුරාවෘත්ත සමඟ ජීවත් කරවන්න සිදුවන්නේ වර්තමාන පාඨකයාවයි.

ඔහු නිසි ලෙස අතීතයට රැගෙන යා යුතු වන්නේ වර්තමාන තත්වය නොබිඳ ගෙනය. බොහෝ අතීත වස්තු තේමා මත සිදු වූ නිර්මාණ මේ සැලකිල්ලෙන් සිදුකල ඒවා නම් නොවේ.

අනෙක් කාරණය තමයි ඓතිහාසික හා සාහිත්‍යමය වටිනාකම් සහිත සිදුවීම් නූතනයට ප්‍රතිනිර්මාණය කිරීමේ වැදගත්කම කුමක්ද කියන එක. ඇත්තටම සංවේදී මානව හදවතක් තනා ගැනීමේදී පරිකල්පනීය වින්දනය හරිම වැදගත්.

ඉතිහාස පුවත් තරම් පරිකල්පනීය පරාසයක් තනන වෙනත් මානයක් නැති තරම්.

ඒ වගේම තමයි පොදු භාවයන් වගේම සොබාදහමේ රිද්ම තරංගයන් මත බැඳුණු සිතුම් වල පරාවර්තනයක් මේ තුළින් මතුවීමයි. අනෙක් දේ තමයි ජාතික ඒකාග්‍රතාවය වගේම දේශත්වය හා කුතුහලය සොයා යාම, අනාගතය නිර්මාණ කර ගැනීමට අදාළ දැනුම් පද්ධතියක් උකහා ගන්නත් බලපානවා.

මගේ “ආදර සිරිත” කෘතිය එබී බැලුවේ ම ඒ අවකාශයටයි. සිදුහත් බෝසතාණන් වහන්සේගේත් යශෝධරා කුමරියගේත් සංසාරික ආදරය ලංකාවේ ජන සිතුම් නිර්මාණයට යළි කැඳවීම මගේ ප්‍රාර්ථනය වුණා. මෙම සංසාරික ආදරය තමයි ලංකාව ශිෂ්ටාචාරගත කළේ ඇත්තටම.

ඒ නිසා ප්‍රතිනිර්මාණ ජන සිතුමේ දනවා තැන්පත් කළ හැක්කේම ඉතිහාසමය සාහිත්‍යය මූල ධාතුව ආඛ්‍යනයට ගැනීමෙන්.

ඒ තුළින් සිදුවන්නේ අතීතයේ සිරගත වීම නම් නොවේ. හැබෑටම අතීත රිද්මයේ සුසුමන් තුළින් අනාගතය සොයන සැනසීමේ සහනයන් විඳීම සහ එවන් ක්‍රියාවන් හි උපතයි.

අනිත් කාරණා තමයි පාලි සංස්කෘත සහ පෞරාණික සිංහල භාෂාවෙන් ලියැවී ඇති ඉතිහාසය මෙම භාෂා දැනුම අහිමිවෙන සමාජය තුළට කැඳවා ලීමට ඇති මාවතක් ඒකමයි. නූතනකරණය හමුවේ ඇති ප්‍රාචීන භාෂා ඥානය මඟ හැරීම තුළ සිදුවන ඉතිහාසය දුරාවබෝධය මකාලීමට ඇති මාවතත් මෙයමයි. හෘද බන්ධන රුචි මනාපමය ඓතිහාසික තතු පවත් වලින් ප්‍රති නිරූපිත ආඛ්‍යානය තමයි ඉතිහාස විෂයය පථය රැකගැනීමේ මාවතත් වන්නේම. ඒකයි ප්‍රතිනිර්මාණයමය ආඛ්‍යානය වැදගත් වන්නේ.“

 

ඔබේ ඉතිහසයේ රස කතා නම් කෘතිය පොදු පෘඨකයා වෙනුවෙන් ලියුවක් ද?

“ඉතිහාසය රසය දැනීම තේරීම හා විඳීම වගේ දේවල් එක්ක බැඳෙන්න ඕනි. මොකද ඉතිහාසය කියන්නේ මානවයාගේ පොදු මහා ගුණයයි. බොහෝ අය ඉතිහාසය දකින්නේ ඉතිහාසය කියන්නේ වීරත්වය කියලා.

වීරත්වය කියන්නේ යුද්ධය ගැටුම කියලා. ඇත්තටම ඉතිහාසය කියන්නේ වීරත්වය ආලය රාගය යුද්ධය ගැටුම විරහව, කාමය, ඥානය එකට පිරුණු තැනක්. ඒ කිව්වේ රාග වීරයන් ඥාන වීරයන් විරහ වීරයන් යුද්ධ වීරයන් ඉන්න තැනක්.

මම මේ හැමදේම හොයනවා. යුද වීරයෝ හොයනවා වගේම විරහ වීරයෝත්, රාග වීරයොත්, ඥාන වීරයොත් හොයනවා. ඉතින් මෙහෙම හොයන විට අපි දන්න බොහෝ දේ ඇතුළේ මානව භාව වේදනා සංවේදනා මට අහු වෙනවා.

සමහර දේවල් රහස් . ඒත් මට හිතුණා මේ සියල්ල එකට බැඳෙන තැන ලියන්න ඕනි කියලා. අනෙක අපේ ඉතිහාසය නිර්මාණය කරපු හැමෝගේම ගෞරවය රැකගෙන ඔවුන්ගේ ජීවිත වල සිටින පොදු මිනිසා, ඉතින් සාමාන්‍ය මිනිසාට ලියන්න ඕනි කියල මට හිතුනා. ඥාන මාර්ගික පර්යේෂකයා අවසන් වෙමින් යන රටක මට ඒ මාර්ගය පිණිස අතිශය වෙහෙසකර ගමනක් යන්න සිදුවෙලා. ඒත් මට ඒක සතුටක්.

මම ඒ සතුටින් මතුපරපුරට ඉතිහාස කව්ළුවෙන් ලෝකය දකින්න ලියනවා. සමබර පොදු මානවීය දේශත්වයකින් හෙබිව ජීවත් වන මාර්ගය පාදන්න බැලුවා. මේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක්. “අතීතයේ රස කතා” එහෙමයි උපන්නේ. ඉතින් හැදෑරීමෙන් උපන් භාව උද්දීපනය මගින් සාහිත්‍යමය ඉතිහාස කියවීමක් මතු වුණේ එහෙමයි.

ඔබ අනන්‍ය වූ මතු වීමක් කියන්නේ මම මේ ගුරුකුලයක සිර වී නැති බව වෙන්න ඕනි. පෙර කී ලෙස ඉතිහාසය කියන විෂය ඉතිහාසෙන්ම බැලිය යුතුය.

ඒත් එය මාක්ස්වාදයෙන් ලිබරල්වාදයෙන් ධනවාදයෙන් ජාතිකවාදයෙන් බලන්නේ.

එතකොට ඉතිහාසය නෙමෙයි මතුවන්නේ පෙරකී දර්ශනවාද වලට ඕන මතුවීමයි. මම ඉතිහාසය බලන්නේ ඉතිහාසය තුළින්ම විතරයි. වෙන වෙනත් විෂය මාන තුළින් ඉතිහාසය දැකීමෙන් ඉතිහාසය කියල විෂයක් අද ඉතුරු වෙලා නෑ.

ඔබ කියන ලෙසම මාගේ ලේඛනය තුළින් අනන්‍යතාවයක් මතුවී පෙනේ නම් ඒ අනන්‍යතාවය කියන්නේ ඉතිහාසය වසාගත් මාන වලින් ඉවත් වීම කියලා මට කියන්න පුළුවන්.

ඉතිහාසය වෙනස් විෂය ආකෘතිවලින් උදුරා ගැනීමෙන් විනාශයට පත්වෙලා. ඒ විනාශයෙන් ඉතිහාසය මුදවා ගැනීමේ අරගලයක් අපට කරන්න සිදුවෙලා. එය කා සමඟවත් තරඟයකට හෝ තරහකට කරන දෙයක් නොවෙයි.

මම සම්භාවිත ඥාන මහතෙර පරපුරක වගේම ප්‍රාමාණික වියතුන් සමඟ හැදී වැඩුණු කෙනෙක් ලෙස මේ කරුණ සඳහා කැපවෙනවා. ඒ සියලූ විද්වතුන් නික්ම යන සමයක ඉතිහාසය ඉතිහාසය ලෙසම රැකගන්න මම ඒක කරන්නම ඕන.

 

මෑත දේශපාලනයේ ජාතික ව්‍යාපාරය නියෝජනය කළ ක්‍රියාකාරිකයෙකු වු ඔබ එය සමඟ ඔබේ වත්මන් සාහිත්‍ය කටයුතු සසඳන්නේ කෙසේ ද?

“නවකතාව කවිය ගීතය සිනමාව ගැන කුඩා වියේ ඉඳලා තිබුණු හැඟීමට සාහිත්‍යය එක් වුණා සාහිත්‍ය සමඟ ඉතිහාසයත් එක්ක වුණා.

කොහොම වුණත් ළමා වියේම අපට පේන්න ගත්තේ මළමිනි. අපේ පරපුරම අපේ ඇස් ඉස්සරහම පිලිස්සී ගියා. ඒ අතරින් කඩා පැන්න බෙදුම්වාදී ත්‍රස්තවාදය.

මෙතුවක් තිබුණු දර්ශන සියල්ල යල් පැනලා තිබුණේ.

මාක්ස්වාදය ධනවාදය ලිබරල් වාදය අවසන් වෙලා තිබුණු බව අපට වේලාසනින් තේරුණා. කොහොම වුණත් 90 දශකය ආරම්භ වන්නේ හිස් පුස් බවක් එක්ක. කොහොම වුණත් මේ අර්බුද මැදින් මිදෙන මඟක් ගැන සමාජකාමී හිතක් විදියට මමත් හිතුවා.

ස්වීයත්වය බිඳීයාම හෙවත් ජාතිකත්වය අර්බුදයට යෑම තදින් දැනෙන්න පටන් ගත්තා.

කලාව සාහිත්‍යය වෙදකම සොබාවාදය පාලි සංස්කෘත සිංහල භාෂාවේ සිට රටේ ඒකීයත්වය රකින පොදු මහා ජාතික ව්‍යාපාරයක් ඕන වුණා. ඒ වුවමනාව ශාස්ත්‍රවන්තයන් විදියට ගොඩනඟන්න කැපවුණා.

ඇත්තටම ජාතිකත්ව පාර කියන්නේ ගෝලීය ලෝකයේ ලංකා පොළොවට හැදුනු අනන්‍ය ස්වීය ඥාන මාර්ගයක්.

ජීව ප්‍රශ්නවලින් ලාංකික මානවයා මුදාගෙන සුවබර සමාජයක් බවට අපේ රට පවත්වාගන්නා මාවත. ඒ මාවත සොයමින් නිර්මාණය කිරීමට කැප වුණා. සමහර දේවල් ජයගන්න දේශපාලනික විය යුතුයි. සමහර දේවල් ජයගන්නට දේශපාලනයෙන් බැහැරට යා යුතුයි. මම මේ දෙකම විවෘතව සිද්ධ කරා. මම එහෙමයි හිතන්නේ. දේශපාලනය තෝරාගත යුත්තේ බලය තමාට පිහිටුවා ගැනීමට නොව පරමාර්ථයට බලය පිහිටුවා දීමට. මම එය ඉටු කළා.

ඒත් ජාතිකත්වය, ජාතිකත්වයේ බැහැරව සිටි බොහෝ අයගෙන් විපරිත ව ගියා. එය බාල බොළදයන් අතට පත් වීම ඛෙදවාචකයක්. කොහොම වුණත් ලංකාව ඒකත්වයේ රටක් වගේම බහුජන විවිධත්වයෙන් පිරි සමාජයක් එය සිංහල නිසා කියන කතාවක් නෙමෙයි.

ලංකාව මහා මුහුදු පැල්මෙන් ශේෂවී ඉන්දියන් සයුරේ භාරත උප මහත්දීපය පාමුල පිහිටන්නේ බහුජන ඒකීය සුසැදි යක් සහිතවයි,

ඒක අපේ සොබා පිහිටීමක්. එය ආපසු හරවා ලීමට කවර වර්ගවාදයක් උසිගන්වා හෝ කරන්නට බැරි ලෙස ජාතිකත්ව මතය තහවුරු වුණා. ඒ සඳහා ආධ්‍යාත්මිකව කැපවූ මට ආත්ම තෘප්තියක් තිබෙනවා.

ඔබ අසන්නේ ජාතිකත්ව ව්‍යාපාරය හා මගේ නුතන සාහිත්‍ය හැසිරීම ගැනනේ. ඔව් මම ජාතිකත්වය ලෙස ලාංකික දේශත්වය දකින්නෙක්.

සැබැවින්ම මානව හැඟුම් පුබුදුවාලිය යුතුයි. මානව සංවේදනා ඔප්නංවන භාව සංතෘප්ත සමාජයකට ඉඩ විවර කරගත යුතුමයි. ඉතින් මානවීය පොදු භාව සුමුදුව ඇති වන්නේ එවිටයි.

දැන් අපේ අභියෝගය ඒ තැනයි. වාර්ගික අන්තයන් ජාතික ව්‍යාපාරයට දැන් අවශ්‍යතාවයක් නෑ.

මහා ලාංකික මිනිසා හැදෙන බෞද්ධත්වයේ විශ්වීය ගුණය සොයා යෑමයි අවශ්‍ය. සීගිරි කාශ්‍යප, බුද්ධදාස, මානවම්ම,කුමාරදාස, මහාපරාක්‍රමබාහු වගේම එළාර රජු පරදා දුටුගැමුණු රජු පවා මහා සෑය පාමුල ප්‍රචලිත කළේ මේ දැක්මයි මොකද ලංකා රාජ්‍යයේ අරමුණ නිවන, නිවන රාජ්‍ය ඉලක්ක කරගත් සමාජයක්.

එයට ඕනෑම මොහොතක සතුරා පරාජය කර ගත හැකි දැක්මක් තිබෙනවා. එබැවින් ආන්තිකත්වය ජාතිකත්වය යැයි කීමෙන් පලක් නෑ.

දැන් ලෞකික භාව දියුණුවෙන් ලොව්තුරු රස භාව සාහිත්‍ය නිවීම ඇතුළේ මගේ ලේඛන ගමන් කරන්නේ සාහිත්‍යයෙන් දියුණු සමාජයක් බවට අපේ සමාජය පෙරළා ගැනීමත් ශාස්ත්‍ර ශික්ෂිත ඉතිහාස කරණයත් මතු කර ගැනීමත් මගේ ලේඛනයේ භාවිතාව වී තියෙන්නේ. මට තිබෙන්නේ ප්‍රතිපදාවක්.

ජාතිකත්ව ව්‍යාපාරය තුළත් සාහිත්‍යයෙත් මා සිදු කළෙත් කරන්නෙත් එයයි. මම මා ගොඩනැඟුවා නොව පොදු භාවයක් ගොඩනැඟුවා.

Comments