ඒ කිනම් සන්නි­වේ­දන රීති­යක්ද? | සිළුමිණ

ඒ කිනම් සන්නි­වේ­දන රීති­යක්ද?

“මම අද ඔබට කතා කරන්නට යන්නේ ඔබ බාගදා කලින් අහලා, දැනගෙන ඇති සන්නිවේදන සංකල්පයක් (Communication) (Concept) ගැන. මම ඒ සංකල්පය හඳුනා දෙන්නට යන්නේ වදන් දෙකකින්. ඒ වදන් දෙකින් එකක් තමයි ‘වැඩසටහන’ හෝ වැඩ සැලසුම යන අර්ථය දෙන ප්‍රෝග්‍රෑම් (Programme) යන්න. අනිත් වචනය තමයි, චින්තනය, නැත්නම් සිතිවිල්ල, සිතන හැටි යන අර්ථ දෙන කොන්ස්ෂන්ස් (Conscience) යන්න. ඒ නිසා මේ සංකල්පය Programme Conscience කියල හඳුන්වන්නට පුළුවන්.

 

මේ අයුරින් තමන්ගේ සංවාදාත්මය දේශනය පටන්ගත්තේ බී.බී.සී. ලෝක සේවයේ මහා අධ්‍යක්ෂ ලෙස කටයුතු භාරව සිටි ප්‍රවීණ ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නකු මෙන්ම සැලසුම් කරුවකු වූ ග්‍රැහම් ග්‍රීන් (Graham greene) මහතාය. කතාව පටන් ගත්තේ ඒ අයුරින් වුණත් ඔහු ඊළඟට කීදේ මට වැදගත් විය.

“මම හැමදාම ඉගෙන ගන්න කෙනෙකි. මම හුඟක් කැමැති මා උගත් දෙයක් ‍ගැන, යමක් ඉගෙනීමට කැමැති අයට ඉගැන්වීමට. මම හුඟක් ගුවන් විදුලි වැඩසටහන් ගැන කරුණු කාරණා ඉගෙන ගත්තේ මගේ ගුරුවරයා ලෙස මා සලකන ජෝන් රීත් (John Reith) මහත්මයාගෙන්.”

“ඒ නිසා මට ඒ මගේ ගුරුතුමා දුන්නු මේ සංකල්පය මා අද සලකන්නේ ගුවන් විදුලි මාධ්‍යයට විතරක් නොව, අනිත් හැම මාධ්‍යයකටම සුවිශේෂවූ සන්නිවේදන සංකල්පයක් වශයෙනුයි.” අපි නිශ්ශබ්දව අසා සිටිමු.

“යම්කිසි සංදේශයක් මාධ්‍යගත කරන කෙනෙකුට පැහැදිලි චින්තනයක් (Clear Conscience) තිබිය යුතුයි. ඔහුගෙන් ඇය තමන්ගෙන් ම මුලින් ම ඇසිය යුතු ප්‍රශ්න මොනවාද?

ටිකක් තමයි, මම සන්නිවේදනය කරන සන්දේශය මම හරියට සැලසුම් කරල ද තිබෙන්නේ? මගේ සැලසුම මට ද වැටහෙනවාද? මට නොවැටහෙන දෙයක් මට සන්දේශ ගත කිරීමට පුළුවන්ද? මා සැලසුම් කර ඇති සන්දේශය මට නොතේරුණොත්, මගේ ග්‍රාහක කණ්ඩායමකට වැටහේ යයි හිතන්නට පුළුවන්ද? මේ නිසා මගේ සැලසුම් කිරීමේ ක්‍රියාදාමය (Programming Process) මට මුලින් වැටහෙන්නට ඕනෑ බව මට වඩා වටහා ගැනීමට පුළුවන් කෙනෙක් ඇතැයි හිතන්නට අමාරුයි. දැන් ඔබට මා කියන්නේ කුමක් දැයි වටහා ගැනීම පහසු ඇති.

ඊළඟට ඔබ හමුවේ තවත් ප්‍රශ්නයක් පැන නඟිනවා. ඒ මොකක්ද ඒ ප්‍රශ්නය? මම, කිනම් ආකාරයක උපක්‍රමයක්ද භාවිතයට ගන්නේ? කිනම් ආකාරයක රීතියක් ද ගුරුකොට ගන්නේ? මගේ මූලාශ්‍ර (Sources) මොනවාද? ඒ මූලාශ්‍රවලින් වඩාත් මගේ ප්‍රස්තුතයට වැදගත් වන්නේ කිනම් මූලාශ්‍රයක් ද? ඒ වැදගත් මූලාශ්‍රය මඟින් මා ලබාගන්නා කරුණු කෙතරම් මට වැටහෙනවාද? නොවැටහීම අතිශයින් සමාව දීමට පුළුවන් තත්ත්වයකි. අපට සිදුවෙනවා, නොවැටහෙන දේවල් ඒවා වටහාගත් අය මඟින් දැන ගැනීමට.

මේ තමයි ස්වර්ණමය රීතිය (Golden Rule) මේ ස්වර්ණමය රීතිය නොදැන ඔබට කිසිවක් සැලසුම් කරන්නට බැහැ.

මට කීමට තිබෙන්නේ මෙච්චර ද? නෑ. තවත් වැදගත් කාරණයක් තමයි, ඔ‍ෙබ් භාෂා රීතිය හා භාෂා භාවිතය (Use of Language) ඔබ පවසන දේ කෙතරම් ඔබේ ග්‍රාහකයාට පැහැදිලි ද? ඔබත්, ඔබේ ග්‍රාහකයත් නොදන්නා දේ සන්දේශ ගතවීමේදී දන්නාවූත් ළෙන්ගතුවූත් බසක් බවට පත්වෙනවා.

ඔබ විටෙක කවියෙක්. ඔබ විටෙක සිත්තරෙක්. ඔබ විටෙක ගුරුතුමෙක්.

ඔබ විටෙක මත දරන්නෙකි. මගේ මතය, ඔබේ මතයම විය යුතු නැහැ. එසේ කීමට බිය නොවන්න. යහපත් සැලසුම්කාරී විඥානයකින් යුතු සන්නිවේදකයකුට සම්මත මත වෙනස් කළ හැකි බව මතක තබා ගත යුතුයි.”

Comments