පාස්කු කොමි­ෂන් සභාවේ ඇතැම් නිර්දේශ ළඟදීම ක්‍රියා­ත්ම­කයි | Page 2 | සිළුමිණ

පාස්කු කොමි­ෂන් සභාවේ ඇතැම් නිර්දේශ ළඟදීම ක්‍රියා­ත්ම­කයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ඉකුත් 5 වැනිදා ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබිණි. ඒ වාර්තාවේ ඇතුළත් නිර්දේශ සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී තිබෙන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඒ අමාත්‍ය අනු කමිටුවේ ලේකම්, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණදීර සිළුමිණට මෙසේ අදහස් දැක්වීය.

අමාත්‍ය අනුකමිටුව විසින් ජනාධිපතිවරයාට බාර දුන් වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා නම්?

අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ 78කින් යුතු මේ වාර්තාව නිකුත් කළේ ඉහත කී වාර්තා දෙකම මනාව අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ අනුව එම වාර්තාවල ඇතුළත් සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් සමහර ඒවා ක්‍රියාත්මක නොකිරීමටත් මේ කමිටුවෙන් යෝජනා කර තිබෙනවා. එසේ ක්‍රියාත්මක කරන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු රජයේ අමාත්‍යාංශ සහ ආයතන මොනවාද? ඒවා කළ යුත්තේ කෙසේද යන්න ගැන වගේම ඉහත කී වාර්තා දෙකේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ඉවහල් වූ හේතු කාරණා ගැනත් මේ වාර්තාවෙන් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව මෙහි ඇතුළත් වන්නේ ඉතාම සාධනීය යෝජනා බව කිව යුතුයි. උදාහරණයක් විදිහට කියනවා නම් ඩ්‍රෝන කැමරා භාවිතය ඇතුළු ගුවන් අවකාශය රජය විසින් සම්පූර්ණයෙන්ම නියාමනය කිරීමටත් සයිබර් අවකාශයේ අන්තවාදී ආගමික වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි ක්‍රියාත්මක කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට, සයිබර් ත්‍රස්තවාදයට එරෙහිව ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට, ජාතික සයිබර් ආරක්ෂණ පනතක් සම්පාදනයට හා සයිබර් අපරාධ පනත සංශෝධනය කිරීමත් අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ අතර වෙනවා. ඊට හේතුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට සහරාන් ඇතුළු කණ්ඩායම විශාල වශයෙන් ඉහත කී තාක්ෂණය භාවිත කර ඇති බව හෙළි වී තිබෙන නිසා, ඉදිරියේදී එවැනි සිදුවීම් වැළැක්වීමට ඉහත කී නිර්දේශ ඉවහල් වන බව කමිටුවට නිරීක්ෂණය වීමයි.

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් නිර්දේශ ඊට ඇතුළත්ද?

ප්‍රධාන වශයෙන් කිව යුත්තේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත්කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉහත කී වර්තාවලින් දී තිබූ නිගමන සහ නිර්දේශවල නෛතික කාරණා හැර අනෙකුත් කාරණා ඉෂ්ට කරන ආකාරය පිළිබඳ සොයා බැලීමටයි. ඊට අමතරව යම් යම් පුද්ගලයන් සහ සංවිධානවලට විරුද්ධව අපරාධ නඩු පැවරීම ඇතුළු නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ නීතිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ පූර්ණ අභිමතය ඇත්තේ නීතිපතිවරයාටයි.

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නඩු පැවරීම ඇතුළු නෛතික කටයුතුවල ප්‍රමාදයක් තිබෙන බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කරනවා නේද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිටු 38,000කින් පමණ සමන්විතයි. අපරාධ නඩු ගොනු කිරීමේදී එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු බව අප අමතක කළ යුතු නැහැ. ජනාධිපති කොමිසමක සාක්ෂි ලබාගන්නා විට සාක්ෂි ආඥා පනත බලපාන්නේ නැති වුවත් අපරාධ නඩු සඳහා එය එලෙසින්ම අදාළ කරගත නොහැකියි. අපරාධ නඩු ගොනුකිරීමට පෙර නීතිපතිවරයා ඒ වාර්තාව කියවා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා යම් කාලයක් ගතවීම ප්‍රායෝගිකයි.

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කර තිබුණද අමාත්‍ය අනුකමිටු වාර්තාව එසේ නොකිරීමට නිර්දේශ කිරීමට හේතු මොනවාද?

බොදු බල සංවිධානය අපරාධවලට සහ එවැනි උසිගැන්වීම්වලට සහභාගි වී ඇති බව ඔප්පු කළ හැකි සාධක නිරීක්ෂණය නොවූ නිසයි එම නිර්දේශය අමාත්‍ය අනු කමිටුව විසින් බැහැර කරනු ලැබුවේ. නමුත් ඒ සම්බන්ධයෙන් යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් එය නීතිපතිවරයා විසින් කළ යුතු බවට කමිටුව නිර්දේශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අමාත්‍ය අනුකමිටුව නිකුත් කර තිබෙන නිර්දේශ මොනවාද?

වින්දිතයන්ට වන්දි ලබාදීම් කඩිනම් කිරීමටත් ඒ අනුව මියගිය අය වෙනුවෙන් රුපියල් මිලියන 2 බැගින් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ලක්ෂ පහ බැගින් ලබාදීමටත් යෝජනා කර තිබෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු මවුපියන් දෙදෙනාම අහිමි දරුවන් සඳහා සුභසාධන ව්‍යාපෘතියක් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් මෙම නිර්දේශ අතර වනවා.

අප්‍රේල් 21 වැනිදා වන විට ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේ මූලික ක්‍රියාමාර්ග හෝ නොගන්නේ නම් රට පුරා විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළ යුතුයි. එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පැවත්වූ පොලිස් විමර්ශන ප්‍රමාණවත් නොවූ නිසයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවක් ස්ථාපිත කළේ. ඒ දෙකේම වාර්තා ලැබුණු පසු හිටපු ජනාධිපතිවරයා විසින් 2019 සැප්තැම්බර් 23 වැනිදා කොමිෂන් සභා පනත යටතේ මේ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදීම, වරදකරුවන්ට නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම වැනි කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම මෙම සභාව පත්කිරීමට විශේෂයෙන් ඉවහල් වුණා. එම ජනාධිපති කොමිෂන් සභාව පටන්ගන්නා අවස්ථාවේදීම එහි සාමාජිකයන් විසින් කාදිනල්තුමාට දැනුම් දුන්නා; එම කොමිසම පැවැත්වෙන මුළු කාලය පුරාම කාදිනල්තුමාගේ නියෝජනයක් ලබාදෙන බව. ඒ අනුව කොමිෂන් සභාව රහසිගත සාක්ෂි ලබාගන්නා අවස්ථාවලදී පවා කාදිනල්තුමා නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරයකු ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියා.

2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ කොමිෂන් සභා පනත යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ කොමිෂන් සභාවේ සංයුතිය, අධිකාරි බලය වෙනස් කිරීමට අවශ්‍ය දැයි කාදිනල්තුමාගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ කාදිනල්තුමා පැවසුවේ එවැනි වෙනසක් කළ යුතු නැහැ, කොමිෂන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන ලෙසයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කොමිසමේ කටයුතු කඩිනමින් සහ විධිමත්ම පවත්වාගෙන යන ලෙස උපදෙස් දුන්නා. කොවිඩ් වසංගතය තත්ත්වය තුළ වසරකුත් මාස තුනක පමණ කාලයකින් පසු පසුගිය පෙබරවාරි මස 1 වැනිදා අවසන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා. ඉංග්‍රීසි බසින් තිබෙන එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආදී කටයුතු සඳහා සිංහල පිටපතක් අවශ්‍ය වන නිසා වහාම එය පරිවර්තනය කරන ලෙස ජනාධිපතිතුමා එදිනම උපදෙස් දුන්නා. ඒ අනුව වාර්තාවේ සිංහල පිටපත පෙබරවාරි 22 වැනිදා ජනාධිපතිතුමාට බාරදීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට කැබිනට් අනුමැතිය ලැබුණු පසු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කිරීමත් සමඟම අවසන් වාර්තාව කාදිනල්තුමා, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට බාර දුන්නා. ඒ වගේම එහි ප්‍රධාන වෙළුම පෙබරවාරි 25 වැනිදා නීතිපතිතුමාටත් කථානායකුමාටත් බාර දුන්නා. එම වාර්තාවට ඇතුළත් වූ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී සහ සංකීර්ණ කරුණු සහිත රහසිගත වාර්තා ජනාධිපතිතුමා විසින් ආරක්ෂක කමිටුව සමඟත් සාකච්ඡා කර මාර්තු 3 වැනිදා ඒ සියලු තොරතුරු නීතිපතිවරයාට බාරදී තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ කතෝලික ජනතාවට නායකත්වය දෙමින් ඇතිවීමට තිබූ ඊටත් වඩා විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට කටයුතු කළේ කාදිනල්තුමා බව අපි පිළිගන්නවා වගේම එහි ගෞරවයත් එතුමාට පිරිනමනවා. එම ප්‍රහාරයට වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීමට එතුමාට තිබෙන අවශ්‍යතාව සාධාරණයි. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මුල සිටම මේ සම්බන්ධයෙන් ඉතා සද් භාවයෙන්, ක්‍රමවත්ව සහ විධිමත්ව ක්‍රියාකළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙන බවත් පැහැදිලිවම කිව යුතුයි. මේ වන විට නීතිපතිතුමා ඉතා ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරු 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ සියලු ලිපිලේඛන අධ්‍යයනය කරමින් අධි චෝදනා පත්‍ර සකස් කිරීමේ නිරතව සිටිනවා. එය ඉතා සංකීර්ණ සහ වගකීම් සහගත කාර්යයක්. නීතිපතිතුමාට අවශ්‍ය නම් කමිටු නිර්දේශ මතම යැපෙන්නෙ නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තවත් විමර්ශන සිදුකර අධි චෝදනා පත්‍ර ගොනුකර නඩු පැවරීම කළ හැකියි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමට ප්‍රමාණවත් තොරතුරු පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවාද?

ජනාධිපතිවරයා සහ ජාතික ආරක්ෂාව බාර අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් සිදුවිය යුතු කටයුතු පැහැර හැරියාද යන්න සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ තිබෙනවා. ඒ වගේම හිටපු ආරක්ෂක ප්‍රධානීන් රනිල් වික්‍රමසිංහ එවකට හිටපු අගමැතිතුමාට ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ විට මුස්ලිම් පක්ෂවල නායකයන් සමඟ සාකච්ඡා නොකර තීරණ ගැනීමේ හැකියාවක් නැති බව පවසමින් අගමැතිතුමා ඒවා බැහැර කළ බව නිරීක්ෂණය වී තිබෙනවා; ඒවාද සැලකිල්ලට ගත යුතුයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නඩු පැවරීමක් කරනවා නම් එයත් කළ යුත්තේ නීතිපතිවරයා විසින් කරුණු සොයාබැලීමෙන් පසුවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි මුක්තිය අපරාධ නඩුවකදී කොතරම් දුරට බලපානවද යන්න සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැක්කේද ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඊට පෙර මේ කරුණු යටතේ අපරාධ නඩුවක් පැවරීමේ හැකියාවක් තිබෙනවාද යන්න නීතිපතිවරයා විසින් තීන්දු කළ යුතුව තිබෙනවා. කෙසේවෙතත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය සෑමවිටම ජනාධිපතිවරයා භාරයේ තිබිය යුතු අතර; ජනාධිපතිවරයා විදේශගත වන අවස්ථාවක එම අමාත්‍යාංශයට අනිවාර්යෙන්ම අගමැතිවරයා හෝ සුදුසු ඇමතිවරයෙක් පත්කළ යුතුයි.

අවසන් වාර්තාව මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 10කට අධික මුදලක් වැයවූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කළා. ඒ ගැන පැහැදිලි කරනවා නම්?

ඒ පිළිබඳ නිවැරදි කිරීමක් කළ යුතුයි. පිටු 38,000කින් යුතු අවසන් වාර්තාව මුද්‍රණය කිරීම වෙනුවෙන් රජයේ මුද්‍රණාලයට රුපියල් 44,05,231ක් ගෙවා තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව එක් වචනයක් පරිවර්තනය කිරීමට රුපියල් 2.50ක් බැගින් වචන 1,21,022ක් සඳහා රුපියල් 3,02,555ක් අනුමත භාෂා පරිවර්තකට ගෙවා තිබෙනවා.

අවසන් වාර්තාව පිළිගැන්වීමත් සමඟ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ කාර්යභාරය අවසන් වනවාද?

එම නිර්දේශවල නෛතික කරුණු ඉටු කිරීමේ කාර්යය නීතිපතිතුමාට පවරා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුවිපරම් සිදු කෙරෙනවා. වාර්තාවේ සඳහන් නිර්දේශ ඒවා ක්‍රියාත්මක කළ යුතු අමාත්‍යාංශ වෙත දැනටමත් යොමු කර තිබෙනවා. ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප - රොෂාන් පිටිපන

Comments