ණය උගු­ලට එරෙ­හිව හිඟු­ර­ක්ගොඩ කාන්තාවෝ වීදි බසිති | Page 2 | සිළුමිණ

ණය උගු­ලට එරෙ­හිව හිඟු­ර­ක්ගොඩ කාන්තාවෝ වීදි බසිති

වැලි­ඔය පදිංචි වී සිටින රේණුකා කරු­ණා­රත්න එක්තරා බැංකු­ව­කින් රු: ලක්ෂ 7ක ණය මුද­ලක් ලබා ගෙන තිබුණේ කුකු­ළන් ඇති කිරීමේ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරී­ම­ටය. ඇය මාසි­කව ගෙවිය යුතු වාරික මුදල රු: 22,000 ක් විය. මේ වන විට කුලී වැඩ කර­මින් දරු පවුල නඩත්තු කළ ඇගේ සැමියා පවු­ලෙන් වෙන් වී සිටියේ මීට පෙර ගත් ණය මුද­ල්වල ණය වාරික ගෙවීමේ සීමා­වක් නැති නිසා ය. ණය ගෙවූ පසු දරු­වන්ට ඉගැ­න්වී­ම­ටත්, කෑම­ටත් මුදල් ඉතිරි නොවී­මෙන් පවුලේ ප්‍රශ්න ඇති වී තිබිණි. සැමියා ගිය පසුව රේණුකා ජීවත් වූයේ ඉලුක් කපා මිටි බැඳ විකි­ණී­මෙනි.

ඈ ලක්ෂ 7ක ණයක් ලබා ගත්තේ ඒ නිසාය. වෙනත් මූල්‍යා­ය­ත­න­ව­ලට ගෙවිය යුතු ණය මුදල් යම් පම­ණ­කට ගෙවා ඉතිරි මුද­ලින් කුකුළු ගොවි­පොළ කර­ගෙන ගිය ඈ ණය වාරික ගෙව­මින් ජීවි­තය ගැට­ගසා ගැනී­මට සමත් වූවාය. එහෙත් කුකු­ළන්ට රෝග­යක් වැල­ඳී­මෙන් කුකුළු ගොවි­පොළ කට­යුතු අසා­ර්ථක වූයේ අවා­ස­නා­වන්ත අයු­රිනි. රේණු­කාට මාස 3ක් පුරා ණය වාරික ගෙවා ගැනී­මට නොහැකි වූයේ එම­නි­සාය.

දිනක් උදෑ­සන බැංකු නිල­ධා­රින් දෙදෙ­න­කුත් නීති­ඥ­ව­රි­ය­කුත් ඇගේ නිව­සට පැමිණ රු. 30,000 ක් ගෙවන තුරු නිව­සින් නොයන බවට පවසා තිබිණි. ඒ වන විට ඈ දරු­වන්ට කන්න දී තිබුණේ නිවසේ තිබූ කටු­කම්බි රෝල් 2ක් විකුණා ගත් මුද­ලිනි. ඇප­ක­රු­වන්ට කතා කර­මින්, නිවසේ තිබෙන බඩු වීඩියෝ කර වට්ස්ඇප් කර­මින් නිවසේ වාඩි වී සිටි මේ පිරිස නිවෙ­සින් ගියේම නැත. නිවසේ බඩු විකි­ණී­මට කැමති බව සඳ­හන් කළ ලියු­ම­කට අත්සන් තබන ලෙස ඔවුහු බල කළහ. වේලාව පස්වරු 2.00 විය. ඈ දරු දෙදෙ­නාත් සමඟ අත් අල්ලා­ගෙන නිවෙසේ පිටු­පස ඇති ළිඳ ළඟට ගියේ ළිඳට පැන දිවි තොර කර ගැනී­ම­ටය. එහෙත් ඇගේ දිය­ණිය ඊට විරුද්ධ වී ඉදි­රි­යට තැබූ පය පිටු­ප­සට ගැනී­මෙන් එය ව්‍යවර්ථ විය.

“ඊට­පස්සේ අපි තුන්දෙ­නාම බදා­ගෙන ඇඬුවා. බැංකුවේ අය ගියාට පස්සේ මම හිඟු­ර­ක්ගොඩ ඉන්න මගේ නෑනාට කතා කරලා විස්ත­රය කිව්වා. ඒ වගේ අයගේ සංවි­ධා­න­යක් තියෙ­නවා කියලා මට උප­දෙස් ගන්න එහෙ එන්න කිව්වා. මම පහු­වෙ­නි­දාම හිඟු­ර­ක්ගොඩ ගියා. මම යන­කොට අපි වගේ ණය අරන් අමා­රුවේ වැටුණු අයගේ රැස්වී­මක්, හිඟු­ර­ක්ගොඩ පොලි­සිය ළඟ රැස්වීම් ශාලා­වක පැවැ­ත්වෙ­නවා. මමත් ඒකට ගියා. ඒ 2019 මැයි. එදා ඉඳලා අද දක්වාම මම මේ සංවි­ධා­නය එක්ක ඉන්නවා. මම මගේ ණය මුද­ලින් ලක්ෂ 2කටත් වැඩි ගණ­නක් ගෙව්වා. රු. 5,80,000 ක් ගෙවන්න තිබුණේ. ඒත් රු: 7,99,000/-ක් ගෙවන්න කියලා දැන් මට නඩු දාලා. ණය ගෙවා ගන්න බැරිව සාරි­ය­කින් බෙල්ලෙ වැල­දා­ගන්න ගිහින් බේරා ගත්තු කෙනෙ­කුත් මේ පැත්තේ ඉන්නවා. ලාම්පු­තෙල් ඇඟේ හළා­ගෙන ගිනි තියා­ගන්න ගිය කෙනෙ­කුව නූලෙන් බේරා ගත්තා.“ යනු­වෙන් රේණුකා කරු­ණා­රත්න විස්තර කළාය. අද ඈ ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු­වෙන් විප­තට පත් වූ කාන්තා එක­තුවේ ලේක­ම්ව­රි­යයි.

මෙම වසරේ ජන­වාරි මාසයේ මාතර පදිංචි 24 හැවි­රිදි එක් දරු මවක් සිය දරු­වාව නිවසේ බාල්කයේ එල්ලා ඇය ද සිය දිවි හානි කර­ගෙන තිබුණේ ණය ගෙවා ගැනී­මට නොහැ­කි­වය. ණය පිය­වීමේ අර­මු­ණින් ඈ විදේ­ශ­ගත වීමට උත්සාහ කළ ද ඇගේ මව දරුවා බලා ගැනී­මට අක­මැති වීම හේතු­වෙන් ඈ විස­ඳුම් සෙව්වේ මර­ණ­යෙනි. කිළි­නො­ච්චියේ මවක් කුඩා දරු තිදෙ­නාව ළිඳට දමා ඇය ද ළිඳට පැන දිවි නසා ගැනී­මට උත්සාහ කළ ද දරු තිදෙනා පම­ණක් මර­ණ­යට පත් වී ඇගේ දිවි බේරී පුව­තක් වාර්තා වූයේ පසු­ගිය ජන­වාරි මාස­යේ­දීය. එම අවා­ස­නා­වන්ත සිදු­වී­මට හේතුව ගෙවා නිම කළ නොහැකි ක්ෂුද්‍ර මූල්‍ය ණය උගු­ලයි. ජාත්‍ය­න්තර කාන්තා දින­යට පසු දින, එනම් මාර්තු 09 වැනි දින තඹු­ත්තේ­ගම මවක් ගෙල වැල­ළා­ගෙන මිය ගියේ ණය ගෙවා ගත නොහැකි වූ නිසාය. වව්නි­යාවේ ඕමන්ත ප්‍රදේ­ශයේ 26 වියැති මවක් වයස අවු: 2 1/2ක දරුවා සමඟ ළිඳට පැන සිය දිවි හානි කර­ගෙන තිබුණේ රු: 25,000ක ණය මුද­ලක් ගෙවා ගැනී­මට නොහැ­කි­වය.

වැල් පොලී ක්‍රමය යටතේ පොලී ගණ­නය වෙමින් පැටවු ගසන ණය පිය­වී­මට නොහැ­කිව යාප­නයේ කාන්තා­වක් දරු­වන් තිදෙ­නා­වද මර­ණ­යට පත්කර ඇය ද මරු වැලඳ ගත් අතර ඇගේ සැමියා ද සිය­දිවි හානි කර ගෙන තිබුණේ 2018 මැයි මාස­යේ­දීය.

මේ ආකා­ර­යට ණය ගෙවා ගැනී­මට නොහැ­කිව සිය ­දිවි හානි කර ගත් මුළු සංඛ්‍යාව 201 කි. ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් සමස්ත ප්‍රමා­ණය ලක්ෂ 29කට ආස­න්නය.

ඉන් විසි­හ­තර ලක්ෂ තිස්අට දහ­සක් (24,38,000) කාන්තාවෝ වෙති. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පිරිමි සංඛ්‍යාව හාර­ලක්ෂ පන­ස් එක් දහ­සකි (4,51,000). මෙම මුළු පිරි­සෙන් එක්ලක්ෂ දෙදා­හක් (1,02,000) සිටින්නේ පොළො­න්න­රු­වේය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන බැංකු­ව­ලට වඩා පුද්ග­ලික මූල්‍යා­ය­තන තමයි මේ පැති­වල ඇවිත් ණය දෙන්නේ. ණය දෙන­කොට නම් පොලිය 25% - 30% කිය­නවා. ගෙව­න­කොට තමයි දන්නේ අපි රැව­ටිලා කියලා. ලක්ෂ­යක ණයක් ඉල්ලු­වොත් අර­වට මේවට කපා­ගෙන අතට ලැබෙන්නේ රු: 85,000/-යි. හැබැයි පොලිය හදන්නේ ලක්ෂ­යට. අපි වාරික ගෙව්වාට ඒවා අඩු කර­න්නෙත් නැහැ. මුදල් ගෙව්වාම රිසිට් 1ක් දෙනවා. ඒත් ඒක සති­යෙන් මැකිලා යනවා, හරි­යට බස් ටිකට් එකක් වගෙයි. අපි ළඟ කාඩ් එකක් තිබු­ණට ණය ගෙවන ඒවා ඒකෙ සට­හන් කර­න්නෙත් නැහැ. ඒ නිසා අපිට ණය ගෙවීම් පෙන්වන්න ලිඛිත සාක්ෂි­යක් නැහැ. ඒ නිසයි අපි රජ­යෙන් ඉල්ලා සිටින්නේ මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආය­ත­න­වල විධි­මත් විග­ණ­න­යක් කරන්න කියලා. පොලිය ගණ­නය කිරීමේ ක්‍රම­වේ­ද­යක් නැහැ. අපි ණය ගෙව­නවා, ගෙව­නවා ඉව­ර­ය­කුත් නැහැ. සම­හර නිල­ධා­රින් ණය වාරි­ක­ව­ලට හිලව් වෙන්න කියලා කාන්තා­වන්ව ලිංගික ගොදු­රක් බවට පත් කර ගන්නවා. ඒවගේ සිද්ධි නිසා සම­හ­රුන්ගේ පවුල් අවුල් වෙලා තියෙ­නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් අය එක­තු­වෙලා සාධා­ර­ණ­යක් වෙනු­වෙන් සටන් කරන්නේ ඒ නිසයි.“ යනු­වෙන් පැහැ­දිලි කළේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු­වෙන් විප­තට පත් වූ කාන්තා එක­තුවේ සභා­ප­ති­නිය ප්‍රිය­න්තිකා කුමාරි ය.

මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු කුම­ක්දැයි පැහැ­දිලි කර ගැනීම වටී. ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු අඩු ආදා­ය­ම්ලා­භින්ට මූල්‍ය සේවා සැල­සී­මයි. ප්‍රධාන වශ­යෙන් ප්‍රමා­ණ­වත් ඇප­කර ඉදි­රි­පත් කිරී­මට හැකි­යාව නැති­වීම හේතු­වෙන් බැංකු­ව­ලින් මූල්‍ය පහ­සු­කම් සපු­රා­ගත නොහැකි දිළිඳු පුද්ග­ල­යන් වෙත ණය පහ­සු­කම්, ඉතිරි කිරීමේ පහ­සු­කම් සහ වෙනත් මූල්‍ය පහ­සු­කම් සැල­සීම මෙයින් සිදු කෙරේ. අඩු ආදා­ය­ම්ලා­භින්ගේ ආදා­යම් උත්පා­ද­නය කිරීමේ කට­යුතු සහ ආදා­යම් උත්පා­දන ධාරිතා වැඩි­දි­යුණු කිරීම සහ ප්‍රසා­ර­ණය කිරීම මෙහි ප්‍රධාන පර­මා­ර්ථ­යයි. ආර්ථික විද්‍ය­ඥ­යකු වන මහා­චාර්ය මොහො­මඩ් යූනුස් 70 දශ­කයේ දී බංග්ලා­දේ­ශයේ ඉතා දුප්පත් ගම්මා­න­යක් ආශ්‍රි­තව සිදු කළ පර්යේ­ෂ­ණ­යක් ඇසු­රෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමා­ගම් සංක­ල්පය ලොවට හඳුන්වා දුන්නේය. ලොව පුරා ව්‍යාප්ත ග්‍රාමින් බැංකු සංක­ල්පය බිහි වූයේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. දුප්ප­ත්කම කෞතු­කා­ගා­ර­යට යැවීම ලෙස සඳ­හන් කළ මහා­චාර්ය යූනුස්ට 2006 දී නොබෙල් සාම ත්‍යාග­යද හිමි විය.

ශ්‍රී ලංකාව තුළ බල­ප­ත්‍ර­ලාභි බැංකු, බල­ප­ත්‍ර­ලාභි මුදල් සමා­ගම්, සමූ­ප­කාර ග්‍රාමීය බැංකු, සක­සු­රු­වම් හා ණය ගනු­දෙනු පිළි­බඳ සමූ­ප­කාර සමිති, දිවි නැඟුම බැංකු සහ අනෙ­කුත් ප්‍රජා මූලික සංවි­ධාන, ක්ෂුද්‍ර මූල්‍ය සමා­ගම්, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපා­ර­වල නිරත වන රාජ්‍ය නොවන සංවි­ධාන වැනි ආය­තන රැසක් ක්ෂුද්‍ර මූල්‍ය­ක­ර­ණයේ නිරත වේ. බල­ප­ත්‍ර­ලාභි බැංකු සහ බල­ප­ත්‍ර­ලාභි මූල්‍ය සමා­ගම් නියා­ම­නය කෙරෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු­වයි. සමූ­ප­කාර ග්‍රාමීය බැංකු සහ සමූ­ප­කාර හා ණය ගනු­දෙනු පිළි­බඳ සමිති සමූ­ප­කාර සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ද දිවි­නැ­ඟුම බැංකු දිවි නැඟුම සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ද ක්ෂුද්‍ර මූල්‍ය­ක­ර­ණයේ නිරත රාජ්‍ය නොවන සංවි­ධාන, සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ද නියා­ම­නය කෙරෙනු ඇත. එහෙත් කවර ආකා­ර­ය­කට හෝ නියා­මන රාමු­ව­කට යටත් නොවන ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පා­දන ආය­තන රාශි­යක් ලංකාවේ තිබේ. පාර්ලි­මේ­න්තු­වෙන් පන­වනු ලැබූ 2016 අංක 06 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත බලා­ත්මක වූයේ 2016 ජූලි 15 වැනිදා සිට ය. මෙම පනත 2016 දී බලා­ත්මක කරනු ලැබුවේ 2002 සිට සිට ගෙනා පනත් 6කින් පසුව බව ද සඳ­හන් කළ යුතු­මය. සම්මත වූයේ 6 වැනි වරට ඉදි­රි­පත් කළ පන­තයි. මේ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාප්ත වූ වේග­යෙන් නියා­මන ක්‍රම­වේ­දය ක්‍රියා­ත්මක නොවූ බව පැහැ­දි­ලිය.

සිල්ලර කඩ, සත්ව පාල­නය, ධීවර කට­යුතු, ස්වයං රැකියා වැනි ආදා­යම් උත්පා­දන මාර්ග සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දුන්නත් ඇතැම් කාන්තා­වන් ණය මුදල් ගෙන විවාහ මංගල්‍ය පැවැ­ත්වීම. පිරිත් පින්කම් පැවැ­ත්වීම, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ මිල දී ගැනීම වැනි අව­ශ්‍යතා සපු­රා­ගෙන ඇති බව එක්සත් ජාතින්ගේ සංවි­ධා­නයේ පැබ්ලෝ බ්ලර්ස්කි සිදු කළ ගවේ­ෂ­ණ­ය­කදී හෙළි­ද­රව් වී ඇත. එයින් පැහැ­දිලි වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආය­තන විසින් ණය පිළි­බ­ඳව පසු විප­ර­මක් නොක­රන බවය. පැබ්ලෝ බ්ලර්ස්කි විශේ­ෂ­ඥ­ව­ර­යාගේ ගවේ­ෂ­ණ­යේදී ණය පොලී අනු­පා­ති­කය 25% - 35% ලෙස පැව­සු­වද ඇතැම් ආය­ත­න­වල එය 220%ක් වී ඇති බවද අනා­ව­ර­ණය කර­ගෙන ඇත. ඔහු 2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලයේ 14 වැනි සැසි වාර­යට මේ පිළි­බ­ඳව වාර්තා­වක් ඉදි­රි­පත් කළ අතර ඒ පිළි­බ­ඳව වාර්තා­වක් ශ්‍රී ලංකා රජ­යට ද ඉදි­රි­පත් කර තිබේ. ලංකාවේ ණය­ගැ­ති­භා­ව­යෙන් පෙළෙන අය පිළි­බ­ඳව 2016දී සිදු කළ සංග­ණ­න­යට අනුව ප්‍රථම ස්ථානයේ සිටින්නේ කිළි­නොච්චි දිස්ත්‍රි­ක්ක­යයි. ඉන්ප­සුව මාතලේ, පොළො­න්න­රුව, අනු­රා­ධ­පු­රය, වව්නි­යාව, ත්‍රි:මලය, අම්පාර, මුල­තිව්, යාප­නය වැනි දිස්ත්‍රික්ක ණය­ගැ­ති­භා­ව­යෙන් පෙළෙයි.

“උතුරේ යුද්ධය අව­සාන වුණත් එක්කම ඒ දිස්ත්‍රි­ක්ක­වල පදිංචි අයගේ ආර්ථි­කය නඟා සිටු­වීමේ වැඩ­පි­ළි­වෙ­ළක් හැටි­ය­ටයි; ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ව්‍යාප්ත වුණේ. අන්ති­මට සිද්ධ වුණේ ඒ අය යුද්ධය අස්සේ හංගා­ගෙන තියා­ගෙන හිටපු රත්ත­රන් බඩු ටිකත් අහිමි වුණු එක විත­රයි. ඇත්ත­ටම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල අපි හඳු­නා­ගත්තේ 2016 දී.

මෙය නව ලිබ­රල් දේශ­පා­ලන ක්‍රමයේ එක් පැති­ක­ඩක් හැටි­යට හඳු­න්වන්න පුළු­වන්. ලංකාවේ දිස්ත්‍රික්ක 12ක ගොවි සංවි­ධාන ඒක­රාශි වූ අව­ස්ථා­වක ඒ ඒ ප්‍රදේ­ශ­වල ණය බරින් පෙළෙන අය ගැන කතා වුණා. එත­නදි තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩා­වට ගොදුරු වුණු අය ගැන අපි හරි­ය­ටම තේරුම් ගත්තේ. පසුව අපි මේ සම්බ­න්ධ­යෙන් ලෝකයේ කියැ­වී­මක් කළා. ඊට පස්සේ මේ පිරිස එක්රැස් කරලා සංවි­ධා­න­ගත වීමේ අව­ශ්‍ය­තාව පැහැ­දිලි කරලා දුන්නා. රජ­යට ඉල්ලී­මක් කරන්න නම් සංවි­ධා­න­යක් හැටි­යට තියෙන එක වටි­නවා. ඒ අනු­වයි ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු­වෙන් විප­තට පත් වූ කාන්තා එක­තුව බිහි වුණේ. 2018 දී රු: ලක්ෂ­යට අඩු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරි­නවා කිව්වා. ඒත් ඒ ණය කපා හැරලා භාණ්ඩා­ගා­ර­යෙන් මුදල් ගෙව්වෙ දේශ­පා­ලන සබ­ඳතා ඇති ණය ආය­ත­න­ය­කට පම­ණයි. 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දීත් 2020 මහ මැති­ව­ර­ණ­යේ­දීත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කර­නවා කිව්ව නිසා ලක්ෂ 24ක් ඡන්දය දුන්නා. ඒත් අද වෙන­කොට ණය ගෙව්වෙ නැහැ කියලා නඩු දාලා. හුඟක් දෙන­කුට මැයි මාසයේ උසා­වියේ පෙනී සිටින්න සිතාසි ඇවිත්. සම­හ­රුන්ගේ නම් අසාදු ලේඛ­න­යට ඇතු­ළත් වෙලා. ඒ අයට කිසිම බැංකු­ව­කින් ණයක් ගන්න බැහැ. ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙකම ඡන්දෙදි නම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන කතා කර­නවා. පොලිය සත­ය­ක්වත් ගෙවන්න එපා කිය­නවා. අන්ති­මට පොලිය දෙගුණ තෙගුණ වෙලා එනවා.“ යනු­වෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු­වෙන් විප­තට පත් වූ කාන්තා එක­තුවේ කැඳ­වු­ම්කරු කවු­ඩුල්ලේ ජය­තිස්ස පැව­සීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු­වෙන් විප­තට පත් වූ කාන්තා එක­තුව හිඟු­ර­ක්ගොඩ නගර මධ්‍යයේ සත්‍ය­ග්‍ර­හ­යක් ආරම්භ කළේ ඔවුන්ට සාධා­ර­ණ­යක් ඉටු කර ගැනීමේ අපේ­ක්ෂා­වෙනි. අප්‍රේල් 10 වැනිදාට සත්‍ය­ග්‍ර­හ­යට දින 34කි. මාසය සම්පූර්ණ වූ දින අප්‍රේල් 6 හිඟු­ර­ක්ගො­ඩදී දැවැන්ත උද්ඝෝ­ෂ­ණ­යක් ද පැවැ­ත්විණි. ඔවුන්ගේ අර­මුණ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීම, ඔවුන්ට පවරා ඇති නඩු ඉවත් කිරීම, අසාදු ලේඛ­න­යෙන් නම් ඉවත් කිරීම සහ ක්ෂුද්‍ර මූල්‍යා­ය­තන විධි­මත් විග­ණ­න­ය­කට භාජ­නය කිරීම යන සිවුවැ­දෑ­රුම් ඉල්ලීම් දිනා ගැනී­මයි. අද වන විට මෙය කාන්තා සංවි­ධා­න­යක සට­න­කට වඩා පොදු බහු­ජන සංවි­ධා­න­යක අර­ග­ල­යක් වී තිබේ.

ඡායාරූප - අරුණ ශාන්ත නෝනිස්

Comments