ජාතික ලොතරැයි මණ්ඩලය පියවර දස දහසක් පෙරට | සිළුමිණ

ජාතික ලොතරැයි මණ්ඩලය පියවර දස දහසක් පෙරට

ලොතරැයි ඉතිහාසයේ කැලැන්ඩර මාසයක් තුළ මෙතෙක් සිදු කළා වූ වාර්තාගත ම ලොතරැයි අලෙවිය, පසුගිය මාර්තු මාසයේ දී, ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සිදු කර තිබේ. පවතින තත්ත්වය සමඟ රටේ සියලු ව්‍යාපාර තවමත් නැඟිටින්නට වෙර දරමින් සිටින පසුබිමක් තුළ, ජාතික ලොතරැයි මණ්ඩලය තබා ඇති මෙම අලෙවි වාර්තාව පිළිබඳ එහි සභාපති, නීතීඥ ලලිත් පියුම් පෙරේරාගෙන් අප විමසූයෙමු.

මේ වාර්තාගත ආදායම, මුදලින් කොපමණ ප්‍රමාණයක් ද...

රුපියල් බිලියන දෙකකුත්, මිලියන තුන්සිය හැට හයක් ( රුපියල් බිලියන 2.366ක්). මෙය වාර්තාවක් වන්නේ, වසර 60කට වැඩි ඉතිහාසයක් හිමි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළම අලෙවිය ලෙස මෙතෙක් වාර්තාගතව තිබූ 2016 වසරේ දෙසැම්බර් මාසයේ සිදු කළ, රුපියල් බිලියන 2.200 ක අලෙවිය ඉක්මවා යෑම නිසා.

රටේ බොහෝ ව්‍යාපාර තවමත් හිස ඔසවමින් පවතින පසුබිමක, ජාතික ලොතරැයි මණ්ඩලය කොහොමද මේ දේ කළේ...

අවශ්‍ය වෙලාවේ; අවශ්‍ය තීන්දු තීරණ ගැනීමෙන්. ඊළඟට, සියයට සියයක්ම නිසි කළමනාකරණයෙන්. ඒ කළමනාකරණය තුළ සේවක පිරිස රැක ගැනීම,සහන පිරිනැමීම, RDB බැංකුව හරහා 4% ක අඩු පොලී අනුපාත යටතේ දිස්ත්‍රික් ඒජන්තවරු, අලෙවි නියෝජිතවරු සහ අලෙවි සහායකයන්ට විශාල ලෙස ණය සහන ලබා දීම, ඔවුන් දිරිමත් කිරීම... වැනි බොහෝ කාරණා ඇතුළත් වනවා. මේ රටේ හැම ව්‍යාපාරයක් වගේම, අපිත් පසු කළේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක්. කොටින්ම, කොරෝනා දෙවැනි රැල්ලේ දී අපට බොහෝ ඉල්ලීම් ආවා, රටේ හැදුණු අනෙක් පොකුරු වගේ, ලොතරැයි පොකුරකුත් හැදෙන්න පුළුවන්, ඒ නිසා ලොතරැයි අලෙවිය නවතමු කියලා. නමුත් අපි එහෙම කළේ නැහැ. අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින්, ආයතනික වියදම් දැඩි ලෙස සීමා කරමින්, බොහෝ ධෛර්යයෙන් මේ ගමන ආවා. ඒ නිසා විකිණුම් අඩු වුණත්, ජාතික ලොතරැයි මණ්ඩල ඉතිහාසයේ වැඩිම ලාභය සනිටුහන් වුණේ ගිය වසරේ. එය රුපියල් බිලියනයකට වැඩි ශුද්ධ ලාභයක්. කියන්න ඕන වැදගත්ම දේ තමයි, අපි මේ සියල්ල කළේ සේවකයන්ගේ වැටුප් හෝ වරප්‍රසාද කප්පාදු නොකරමින්. ඇත්තටම අපි කළේ, පුළුවන් තරම් සේවක අභිප්‍රේරණය ඇති කරමින් ඔවුන්ට සිය විකුණුම් ඉලක්ක කරා යන්නට සහාය වූ එක. රාජ්‍ය ආයතනයක් වුණත් මේක ව්‍යාපාරයක්. එහෙනම්, ආදායම් ඉපැයීමයි වැදගත්ම දේ. ඒ සඳහා පුළුවන් තරම් සේවක අභිප්‍රේරණය ඇති කළ යුතුයි. අපි එය ආදර්ශයෙන් පෙන්වූ රාජ්‍ය ආයතනයක්.

ඔබ ඔය කියන කළමනාකරණ න්‍යාය හැරුණු කොට, ජනතාවගේ අත මිටේ මුදල් හිඟකම ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්නට හේතු වූවා වන්නට බැරිද...

නැහැ. ඊට එහා ගිය ආර්ථික කරුණු මේ සඳහා බලපා තිබෙනවා. සමහරු හිතනවා අප ධනවත් රටක් වුණොත්, මිනිස්සු අතේ මුදල් ගැවසුණොත්, ලොතරැයි ව්‍යාපාරය කඩා වැටෙනවා කියලා. නමුත් ලෝකයේ කර තිබෙන සමීක්ෂණ සහ පරීක්ෂණ වාර්තා අනුව පෙනී යන දෙයක් තමයි, ජනතාවගේ අතේ මුදල් ගැවසෙනවා නම්, රටක් දියුණු වෙනවා නම්, ලොතරැයි ව්‍යාපාරයත් ශීඝ්‍රයෙන් දියුණු වෙනවා කියන එක. එය අපේ රටටත් අදාළයි. අපේ රටේ ජනතාවට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. නමුත් මොන ප්‍රශ්න මැද වුණත්, ලොතරැයි පිළිබඳ ඔවුන් තබා තිබෙන විශ්වාසය ඉතා ඉහළයි. දැන් ඉස්සරටත් වඩා තෑගි මුදල් ප්‍රමාණය වැඩි වීම තුළ ඒ විශ්වාසය තවත් තීව්‍ර වී තිබෙනවා. ඒ නිසා, දුප්පත්කමින් ගොඩ එන්න විතරක් මිනිස්සු ලොතරැයි ගන්නවා ය කියන ඔය පදනම් විරහිත කතාවට මම එකඟ නැහැ.

මොන දේ කළත්, ජනතාව තුළ ලොතරැයි පිළිබඳ සැක සංකා තිබෙනවා, කිව්වොත් ඔබ පිළිගන්නවා ද...

කාලයක් ජනතාව තුළ ලොතරැයි පිළිබඳ විශ්වාසය අඩුවී තිබුණා. නමුත් පහුගිය දිනවල 'මෙගා පවර්' ලොතරැයියේ රුපියල් කෝටි තුනක ජයග්‍රාහිකාවක් බිහි වුණා. රුපියල් කෝටියකට අධික තෑගි විශාල ප්‍රමාණයක් අප පිරිනැමුවා. කොරෝනා සමයේ ජයග්‍රාහකයන් ගේ ගම්වලට ම ගොස් තෑගි ලබා දුන්නා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වාහනය දුටු විට, ඒ ගම්මු සතුටට පත්වුණා. 'අපේ ගමටත් ලොතරැයියක් ඇදිලා...' කියන සතුට ඔවුන්ට දැනුණා. ඒ වගේම, අපේ කාර්යය මණ්ඩලය ඉතා කැපවීමකින් මේ අමාරු කාලවලදි ආයතනයත් සමඟ හිටියා. සහාය දැක්වූවා. ඉතින් අප කළ ඒ දේවල් සමඟ, ජනතාව තුළ සැක සංකා තිබුණත් දැන් ඒවා පහව ගිහින් බවයි, මගේ විශ්වාසය. කෙසේවුවත් ලොතරැයි මුද්‍රණය කිරීමේ ප්‍රමාදය නිසා අපට ගැටලුවක් මතු වී තිබෙනවා.

ලොතරැයි අලෙවි සහායකයන් මොන තරම් පිරිසක් මේ කර්මාන්තයේ යෙදී ඉන්නවා ද...

දිස්ත්‍රික් ඒජන්තවරු 4500ක්, අලෙවි නියෝජිත ජාලයක් සහ 20,000ක් තරම් වන අලෙවි සහායකයන් පිරිසක් මේ කර්මාන්තයේ නියැළී සිටිනවා. එහෙම බලද්දී, ලොතරැයි ව්‍යාපාරය හරහා යැපෙන ප්‍රමාණය තිස් හතළිස් දාහකට ආසන්නයි. මේ ලොතරැයි අලෙවි කරන බොහෝ දෙනා වියපත් වැඩිහිටියන්. එක්කෝ ආබාධිත පුද්ගලයන්. එසේත් නැතිනම්, දරු පවුලක් රකින අසරණ මවුවරු. පියවරු. ඒ නිසා තවත් අතකින් මෙය, කඩා වැටෙන්නට දිය නොහැකි ජාතික ව්‍යාපාරයක්.

ඒත් ලොතරැයි කියන්නේ, සූදුවක්. බොහෝ අය හිතන්නේ එහෙමයි...

කිසිසේත් නැහැ. සූදුවක් නම්, ආදායමත් ලාභයත් යන්න ඕනේ විකුණන්නා ට පමණයි. ලොතරැයි කර්මාන්තය කියන්නේ, රජයට සහ මහා භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන සුවිශේෂී සේවාවක්. කෙනකුට දිනුමක් නැති වුණත් එයින් ලැබෙන ප්‍රතිලාභ මහා භාණ්ඩාගාරය හරහා යළි සමස්ත රටට ම ලැබෙනවා.

බොහෝ අය සිතන්නේ දුර පළාතක ටිකට් පත්වලට දිනුම් ඇදීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා කියා මෙහි සත්‍යතාව කුමක් ද...

මගේ දැනුමේ හැටියට, ඒකට පළාත වැදගත් වන්නේ නැහැ. ඔබ තුළ තිබෙන විශ්වාසය සහ වාසනාව මතයි, ඔබට දිනුම් ඇදීමක් ලැබෙන්නේ.

දිනුමක් ඇදෙන්නේ ලක්ෂයකට එකයි. එතරම් මුදලක් උපයලත් ජයග්‍රාහකයන්ගෙන් යළි බදු මුදලකුත් කපා ගන්නේ ඇයි...

ඒ දේට මමත් එතරම් කැමති නැහැ. නමුත්, වසර තුන හතරක ඉඳලා රුපියල් ලක්ෂ 10ට වැඩි දිනුම් හිමි සුපිරි ජයග්‍රාහකයන් ගෙන් 16% ක බදු මුදලක් කපා ගන්නවා. එය නවත්වන්න පුළුවන්ද බලන්න, මම මේ දිනවල මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

මොනවද ඔබේ අනාගත සැලසුම්...

රට පුරා විසිරී සිටින 20,000ක් තරම් වූ ලොතරැයි සහායකයන් සඳහා වූ විශ්‍රාම අරමුදලක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටිනවා. මේ ව්‍යාපාරය නංවාලිය හැකි ආකාරයේ ව්‍යාපාරික දැනුම සහ ආකල්ප නංවන වැඩපිළිවෙළකටත් ඔවුන් රැගෙන යා යුතුයි. ඒ වගේම, සුපිරි ත්‍යාගලාභීන්ට තමන් දිනා ගන්නා මුදල් කළමනාකරණය කර ගැනීම පිළිබඳ, උපදෙස් සහ මඟ පෙන්වීමක් ලබා දෙන පසු විපරම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් මගේ එක් ඉලක්කයක්. ජාතික ලොතරැයි මණ්ඩලය සාර්ථක රාජ්‍ය ආයතනයක් විදියට තව තවත් ඉදිරියට යෑම සඳහා, සේවක අභිප්‍රේරණය නංවාලන සහ ඔවුන්ගේ වරප්‍රසාද නංවාලන වැඩපිළිවෙළක් සඳහා කටයුතු සලසමින් සිටිනවා. බී ශ්‍රේණියේ ආයතනයක් වන අප ආයතනය, ඒ ශ්‍රේණිය දක්වා උසස් කිරීමට අවශ්‍ය කටයුතු නංවාලීමටත්, ලාභ උපයන හොඳම රාජ්‍ය ආයතනයක් බවට පත් කර ගැනීමටත් ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කරනවා.

මේ තනතුරේ හිඳින ඔබේ පසුබිම කුමක්ද...

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් මම, ඒ කාලේ පටන් ශිෂ්‍ය ව්‍යාපාරවල නියැළුණු ක්‍රියාකාරී තරුණයෙක්. මගේ පශ්චාත් උපාධිය අවසන් කළේ සරේ හි kingston විශ්වවිද්‍යාලයෙන්. මට තිබෙන්නේ, ව්‍යාපාර නීතිය සම්බන්ධ පශ්චාත් උපාධියක්.. 2007 වසරේ සාගර විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ බාර ගන්නා මම, 2010 දක්වා එහි සේවය කරනවා. ඊළඟට, 2010 සිට 2014 දක්වා ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරනවා. 2019 වසරේදී මම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය බාර ගන්නා තුරු, නීතිඥයකු ලෙස ඒ ලද කාලය තුළ නිදහසේ වැඩ කරනවා. දැනුත් මම මොන තනතුරු දැරුවත් මගේ නීතිඥ වෘත්තිය අත්හැර නැහැ.

අන්තිමට කියන්න, ඔබ දේශපාලනික පත්වීමක්. මේ ඔබට ටික කලකට ලැබුණු වරප්‍රසාදයක්ද...

කිසිසේත් නැහැ. මේ තනතුරේ මම තවම මාස 15 යි. ඒ කාලය තුළ ආයතනයේ දියුණුවට බොහෝ දේ මා කර තිබෙනවා. එය ඉලක්කම්වලින් ඔප්පු කොට තිබෙනවා. මේසා විශාල අලෙවි වාර්තාවක් තැබුවේ, මගේ තනතුර බාර ගෙන පහළොස් වැනි මාසයේ දී යි. වැඩකරන ආයතනයේ ප්‍රගතිය කියන්නේ, මගේත් ප්‍රගතියයි. අපේ සාර්ථක බව පිටස්තරයන් දකින්නේ, අප බාර ගෙන සිටින ආයතනයේ දියුණුවේ තරමින්. මම සාර්ථක වෙන්න නම් මගේ ආයතනයත් සාර්ථක තැනකට රැගෙන යා යුතුයි. ඒ නිසා මට මේ තනතුර ටික කලකට ලැබුණු වරප්‍රසාදයක් නම් නෙවෙයි.

ඡායාරූප - රොෂාන් පිටිපන

 

Comments