කොකිස් බැෙදන විට නළියන්ෙන් කවුද? | සිළුමිණ

කොකිස් බැෙදන විට නළියන්ෙන් කවුද?

“ආණ්ඩුව ජනතාවට වස කවනවා. වස කවන ආණ්ඩුවකින් ජනතාව බේරා ගැනීමට අවශ්‍යයි. ඒක නිසා අපිත් සමඟ එකතුවෙන්න.”යනුවෙන් පසුගිය දින කිහිපය තළ දිගින් දිගටම කියාගෙන ගියේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාය. ඊට දින කිහිපයකට පෙර “කැලෑව විනාශ කරනවා, කැලෑ විනාශ කරන ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි.” යනුවෙන් පැවසුවේ ද සජිත් ප්‍රේමදාසය. සිංහරාජය තුළ කිසිදු කැලෑ විනාශයක් සිදු වී නොමැති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව අනාවරණය කරගෙන ඇති අතර විපක්ෂයේ සටන් පාඨය කැළෑවෙන් වස විස ආහාරවලට මේ වන විට ක්ෂණිකව මාරු වී තිබේ.

 

මේ ආකාරයට දිනෙන් දින සටන් පාඨ වෙනස් කරන විපක්ෂයක්පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මීට පෙර නොසිටි තරම්ය.

සංවේදී කාරණා අතට ගනු ලබන විපක්ෂය එය අසත්‍ය ප්‍රචාරයක් බවට සමාජගත වූ වහාම තවත් සංවේදී මාතෘකාවක් අල්ලා ගන්නේය.

දැන් සිදුවී තිබෙන්නේ එයයි.

වස සහිත පොල්තෙල්, වස සහිත පරිප්පු, වස රහිත වියළි මිරිස් යනුවෙන් විපක්ෂය යළි සටන් පාඨයක් නිර්මාණය කරනු ලබන්නේ අවුරුද්ද කටේ තියාගෙනය.

ඔවුන්ගෙන් සමාජ මාධ්‍ය ජාල හරහා ද මෙය ප්‍රචාරය කරන අතර ඔවුන් විසින්ම රබන් පදයක් ද නිර්මාණය කොට ඇත්තේ ආණ්ඩුවට පහර දීම සඳහාය.

“කොකිස්වලටකහත් නෑ

කැවුම්වලට තෙලුත් නෑ

මුන් කැවුමට ඇටත් නෑ

කොහාට දැන් ගසුත් නෑ

සැපද කියාපන් තකදොන්

සැපද කියාපන්”

වර්තමානය වන විට විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය වී තිබෙන්නේ මෙම රබන් පදයයි.

මෙම සටන් පාඨ එකිනෙක විග්‍රහ කර බැලුවොත් විපක්ෂය කෙතරම් බංකොලොත් වී තිබේදැයි දැන ගැනීම එතරම් අපහසු නොවේ.

“කොකිස්වලටකහත් නෑ” සටන්පාඨය ගැන අවධානය යොමු කළ විට සත්‍ය තත්වය කුමක්ද? දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වර්තමාන රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බව රහසක් නොවේ.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය කොට මේ රටේ ගම්මිරිස් ගොවියා නැත්තටම නැති කළේ කවුද? ගම්මිරිස් පමණක් නොවේ. සුළු අපනයන භෝග ආර්ථිකය කඩා බිඳ දැමීමට මූලිකවම ක්‍රියා කළේ කවුද? කියා මුළු රටම දනී.

ගම්මිරිස්, කරුංකා ප්‍රතිඅපනයන කිරීමෙන් මෙරට ගොවියාට පහර පිට පහර දුන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලියට පාස්කු ප්‍රහාරය සිදුකළ චූදිතයෙකුගේ පියා වන ඊබ්‍රහිම් නැමැති ව්‍යාපාරිකයා ද සම්බන්ධ විය.

දේශීය ගම්මිරිස් ගොවියා අන්ත අසරණ කර ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අන්තවාදී සංවිධානවලට අනුබල දුන් ඇතැම් ව්‍යාපාරිකයන්ට පසුගිය යහපාලන ආණ්ඩුව මඟින් සහයෝගය ලබාදෙමින් දේශපාලන රැකවරණය ලබාදුන් බව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ද සඳහන් වේ.

එසේ දේශීය ගොවියා නැත්තට ම නැති කිරීමට ක්‍රියාකළ පිරිස් මේ ආකාරයෙන් රබන් පද නිර්මාණය කිරීම තරම් විහිළුවක් තවත් නැත.

කහ මේ මෙරටට ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා මීට පෙර වසරකට වැයකළ මුදල රුපියල් බිලියන ගණනකි.

නමුත් දේශීය වශයෙන් කහ නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහා වර්තමාන රජය දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන කහද අත්අඩංගුවට ගැනීමෙන් පසුව විනාශ කරන ලෙසට අදාළ අංශවලට රජය විසින් උපදෙස් ලබා දෙන ලදී.

ඒ වන විට දේශීය කහ ගොවියා වගා කිරීම ආරම්භ කර තිබුණු අතර වෙළෙඳපොළ තුළ යම් කහ හිඟයක් ඇතිවූයේ දේශීය ගොවියාගේ කහ නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙන තුරුය.

එම තීරණය ආණ්ඩුව ගත්තේ අභියෝග රැසකට මුහුණ දෙමිනි.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරස ලෝක වසංගතය ද මේ අවස්ථාවේ පැමිණීම තවත් අභියෝගයකි. එවැනි අභියෝගවලට මුහුණ දීමේදී කහ වැනි විෂබීජනාශක සහිත ඖෂධීය ගුණයකින් යුත් ආහාරයක අවශ්‍යතාවය තදින්ම දැනෙන අවස්ථාවකදී දේශීය කහ ගොවියා නඟාසිටුවීමට ක්‍රියා කිරීමද විශේෂ කාරණයකි.

“කහ නැතිනම් නීති විරෝධී ලෙස මෙරටට ගේන කහ අත්අඩංගුවට ගත්තට පස්සේ එම කහ හරි කමක් නැහැ, මිනිස්සුන්ට දෙන්න.” යනුවෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑ ගැසූහ. නීති විරෝධී ලෙස මෙරටට ගෙන එනු ලබන කහ එසේ අත්අඩංගුවට ගෙන වෙළඳපොළට මුදා හැරියේ නම් සිදුවන්නේ කුමක් ද? එසේ වූවානම් සිදුවන්නේ කහ නිෂ්පාදනයට අතගැසූ දේශීය ගොවියා යළිත්වරක් තම බලාපොරොත්තු අත්හැරීමයි.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එනු ලබන කහ අත්අඩංගුවට ගෙන විපක්ෂය කියන ආකාරයට වෙළඳපොළට නිකුත් කළා නම් සිදුවන්නේ කුමක්ද?

පාරිභෝගික ජනතාවගේ කහ අවශ්‍යතාව සපුරනු ලැබුවද දේශීය කහ ගොවියාට යළිත් හිස එසවීමක් කිසිදාක කළ නොහැකි වනු ඇත.

දේශීය කහ ගොවියා නගා සිටුවමින් දේශීය කහ නිෂ්පාදනය ඉහළනැංවීමට නම් ඉන්දියාවෙන් කහ ගෙන ඒම නතර කළ යුතුමය.

ඊට අමතරව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වනු ලබන කහද අත්අඩංගුවට ගත යුතුයි. නැතහොත් සිදුවන්නේ හොර පාරෙන් වෙළඳපොළට එන කහ නිසා යළිත් වරක් දේශීය කහ ගොවියා අධෛර්යට පත් වීමයි.

දේශීය කහ වෙළඳපොළට පැමිණෙන තුරු යම් කාලයක් ඉවසිය යුතුය. එසේ ඉවසූ විට දේශීය කහ ගොවියාත් දේශීය කහ නිෂ්පාදනයත් සවිමත් වෙනු ඇත.

විපක්ෂය කියන ආකාරයට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වනු ලබන කහ අත්අඩංගුවට ගෙන හෝ වෙළඳපොළට නිකුත් කළා නම් සිදුවන්නේ කුමක්ද?

එසේ වූවා නම් මේ වන විට දේශීය කහ වෙළඳපොළට ලැබෙන්නේ නැත. නමුත් මේ වන විට දේශීය කහ වෙළඳපොළට ලැබෙමින් පවතින අතර දේශීය කහ ගොවියාට ආදායමක් හිමි වී එය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ද ඉවහල් වෙමින් තිබේ.

නොඑසේ නම් ඉන්දියාවෙන් තව දුරටත් කහ ගෙන්වාගෙන අපේ රටේ මුදල් රුපියල් බිලියන ගණනින් තවමත් වාර්ෂිකව ඉන්දියාවට ගෙවීමට සිදුවනු ඇත.

දේශීය කහ ඉන්දියානු කහවලටත් වඩා ගුණයෙන් වැඩි බව ආයුර්වේද වෛද්‍යවරු ද පෙන්වා දෙති. විෂබීජ නාශකයක් ලෙස ආහාර රසවත් කිරීමට යොදා ගන්නා දේශීය කහ ගුණයෙන් මෙන්ම රසයෙන්ද සපිරිය. එය ඉන්දියානු කහවලටත් වඩා හැම පැත්තකින් ම වටිනා බව දැන් තහවුරු වී තිබේ.

එවැනි තත්ත්වයක් මත දේශීය කහ රටේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර නිෂ්පාදනය වුවහොත් කහ අපනයනය කිරීමට ද පුළුවණි. එම නිසාත් අති විශාල ආදායමක් මෙරටට ඉපැයිය හැකිය.

මෙවැනි තත්ත්වයක් මෙරට ඇති කළ පසුව “කොකිස්වලට කහත් නෑ” යනුවෙන් අසත්‍ය ප්‍රචාර දියත් කළාට සත්‍ය එය නොවන බව මේ රටේ පොදු මහජනතාව දනිති.

අනෙක් රබන් පදය “කැවුම්වලට තෙලුත් නෑ” කියාය. මෙරට තෙල් ගැන මුලින්ම අර්බුදයක් ආරම්භ වුණේ කෙසේද?

තෙල් පමණක් නොව මෙරට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවලට අදාළ භාණ්ඩ 48ක මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට පෙර රේගුවේ දී පරීක්ෂාවන් කිහිපයකටම ලක්වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද පරීක්ෂණ සිදුකරන අතර පාරිභෝගික ආරක්ෂණ අධිකාරියද ඒ ගැන සිටින්නේ විමසිල්ලෙනි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ ආයතන ද ඒ ගැන පරික්ෂණ සිදු කරයි. මෙවැනි තත්ත්වයක් මත ඕනෑම ආහාරයක රසායනික ප්‍රතිශතයක් අදාළ ප්‍රමාණයන්ට වඩා ඉහළ අගයක් ගන්නවා නම් වහාම ඒ ආහාර වර්ග ගැන දිගින් දිගටම පරීක්ෂාවන් සිදුකර ඒවා නිසි ප්‍රමිතියට අදාළ නොවේ නම් වහාම එම භාණ්ඩ මෙරට වෙළඳපොළට නිකුත් නොකෙරේ.

එම භාණ්ඩ වහාම සීල්කර මෙරටින් පිට කිරීමට කටයුතු කෙරේ. කුමන ආණ්ඩුවක් තිබුණද මෙම ක්‍රියාවලිය වසර කිහිපයක් තිස්සේම දිගටම සිදුවන බව රහසක් නොවේ. විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීමේදී එය 100% ක්ම නිවැරදි ප්‍රමිතීන්ට අනුකූලව තිබෙනවාද කියා ප්‍රායෝගිකව පරික්ෂා කිරීම්, රසායනාගාර පරික්ෂා කිරීම් සිදුවෙන්නෙ ඒවා මෙරටට ගෙන්වූ පසුව වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ඒවා කන්ටේනර් බහාලුම් හෝ ගුදම්වල තිබෙන විටය.

නමුත් පොල්තෙල් ගැන මෙවැනි කතාවක් මතුවූයේ කෙසේද?

එහි අරමුණ කුමක්ද?

සිංහරාජය ආණ්ඩුව මඟින් විනාශ කරනවා. සිංහරාජය ඇතුළු කැලෑවල් විනාශ වනතුරු ආණ්ඩුව බලාගෙන ඉන්නවා යනුවෙන් විපක්ෂය ගෙනගිය දැඩි ප්‍රචාරයන් පුස්සක් බව දැන් කරුණු සහිතව අනාවරණය වෙමින් පවතී.

කැලෑ විනාශය ගැන ප්‍රචාරයන් තවදුරටත් සාර්ථක කර ගැනීමට නොහැකි නිසාත් එම අසත්‍ය ප්‍රචාරයන් තුළ එල්ලීගෙන යාමට හැකියාවක් නොමැති නිසාත් තවත් සංවේදී කාරණයක් වන ආහාරවල වස විෂ යන කාරණය විපක්ෂය විසින් අල්ලා ගන්නා ලදී. විෂ පොල්තෙල් කතාවද එළියට එන්නේ ඒ ආකාරයටය.

විපක්ෂය ප්‍රකාශ කිරීමට පෙර ආනයනය කරනු ලැබූ පොල්තෙල් පරික්ෂා කිරීම නිසා ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අල්ලා ගැනීමට ආණ්ඩුවට හැකි විය.

එම කරුණු මුලින්ම හෙළිකරන ලද්දේ රාජ්‍ය ආයතන විසිනි.

එම කරුණු හෙළිකර එම පොල්තෙල් තොග සීල් තබා පොල්තෙල් ගැන තවදුරටත් පරීක්ෂණ කරමින් සිටින විට එක පාරටම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන සංවිධාන ගණනාවක එක් සංවිධානයකින් මෙය ප්‍රචාරය කළේ ජනතාව තුළ බියක් ඇති කරන ආකාරයෙනි.

එම සංවිධානයට එවැනි ප්‍රකාශ සිදුකළ හැකි පදනම කුමක් ද?

එසේ ජනතාව බියගන්වා ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ පිටුපස විපක්ෂයේ දේශපාලන පක්ෂ සිටින බව සාධාරණයකින් තොරව ඔප්පු වේ.

නමුත් රජය මෙවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් දක්වනු ලබන්නේ ඉතාම ඈලිමෑලි ස්වභාවයකින් වීම ඉතාම කනගාටුදායක ය.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවල අරමුණු හා ඒ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා ජනතාවට දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ආණ්ඩුවේ වගකීමකි. නමුත් එවැනි තත්වයකින් වර්තමාන ආණ්ඩුව තුළින් දක්නට නොමැතිවීම බරපතළ අඩුපාඩුවකි.

පොල්තෙල් කලවම් කිරීම සඳහා එය නීතියක් බවට පත් කරමින් ඒ ගැන වැඩි උනන්දුවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ පහුගිය යහපාලන ආණ්ඩුවයි. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටින විට මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම පොල්තෙල් කලවම් කිරීමේ වගන්ති අවලංගු කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කිරීම කාලෝචිතය.

ආණ්ඩුව පැත්තෙන් මෙවැනි අසත්‍ය කාරණාවලට එරෙහිව යම් පියවරක් ගත්තේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පමණි.

බන්දුලගේ සහන මල්ල අසහන මල්ලක් බවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා චෝදනා නැඟීය. නමුත් අසහනය ඇතිවන්නේ කෙසේද කියා සජිත් තර්කානුකූලව කියන්නේ නැත. සජිත්ට අවශ්‍ය වී ඇත්තේ සම්ප්‍රදායානුකූලව තවත් එක් විරෝධතා සටන් පාඨයක් පමණි.

බන්දුලගේ සහන මල්ල තුළින් රුපියල් 1350/= ක් පමණ වටිනා බඩු මල්ලක් සතොස, සමූපකාර හරහා බන්දුල රුපියල් 1000/= ට ලබාදෙයි.

සහල් වර්ග 04ක්, පරිප්පු කිලෝ ග්‍රෑම් 01 ක්, පාන් පිටි කිලෝ ග්‍රෑම් 01 ක්, ලුණු කුඩු කිලෝ ග්‍රෑම් 01 ක්, හාල්මැස්සන් ග්‍රෑම් 250ක්, මිරිස් කුඩු ඇතුළු භාණ්ඩ වර්ග 12 ක් සමඟ මුඛ ආවරණයක් ද ලබා දෙයි.

ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ මෙසේ සතොස මඟින් බෙදා හැරීමට පටන් ගත් සිට දින 03 ක් යනවිට සමස්ත සතොස ශාඛා ජාලයේ ආදායම රුපියල් කෝටි 15 ක් වී තිබේ.

එම සහන මල්ල ලබාගැනීම සඳහා මේ රටේ පොදු මහජනතාව දක්වන උනන්දුවට එය හොඳම සාක්ෂියකි.

සතොස මඟින් මෙම සහන මල්ල ලබාදීමත් සමඟම සුපිරි වෙළඳසැල් ඇතුළු තවත් වෙළඳසැල් රුපියල් 1000 ට වඩා අඩු මුදලකට සහන මල්ලක් ලබා දීමට කටයුතු කරයි.

මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යම් දිරි ගැන්වීමක් සිදු කරනු වෙනුවට විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ සතොස රුපියල් 1000/= ට ලබාදෙන සහන මල්ල වෙනත් තැන්වලින් රුපියල් 900 ට හෝ රුපියල් 950 ට ලැබෙන බවයි. නමුත් සත්‍ය එය නොවේ. එහි ඇති ඇතැම් දේ වල බර ද අඩුවී ඇත.

එතනින් නොනැවතුණු විපක්ෂයට හිතවත් සංවිධානයක නියෝජිතයකු තවත් කෙබරයක් ඇද බෑවේය.

“බන්දුල ගුණවර්ධන ඇමතිගේ සහන මල්ලේ බඩුවලට කිසිදු ප්‍රමිතියක් නැහැ. මේකෙ තියෙන පරිප්පුවල විෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා. මේ පරිප්පු වැලිගමදී අල්ලපු පරිප්පු වගයක්. තේ කොළත් එහෙමයි. භාවිතයට නුසුදුසු කසළ තේ තමයි මේ විදියට සහන මල්ලට දාලා බන්දුල දෙන්නේ” යනුවෙන් මෙම පුද්ගලයා මාධ්‍ය හමු පවත්වමින් බන්දුලට චෝදනා කළේය.

මෙම අසත්‍ය චෝදනා ඉවසා සිටීමට නොහැකිව එම පුද්ගලයාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බන්දුල විසින් තීරණය කිරීම ඉතා යහපත් කාරණයකි.

රටේ පොදු මහජනතාවට යම්කිසි සහනයක් ලබාදීම සඳහා කටයුතු කරන විට ඒ කෙරෙහි උනන්දුව ජනතාව තුළ යම්කිසි සැකයක් ඇතිවන ආකාරයෙන් මෙසේ අසත්‍ය චෝදනා නැඟීම ජනතාවට කරනු ලබන බරපතළ අසාධාරණයක් නොවේ ද?

එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මෙම අසත්‍ය චෝදනා, මඩ ප්‍රචාරවලට යම් කිසි සීමාවක් පැනවේ.

ඕනෑම බොරුවක්, ඕනෑම මඩක් සමාජගත කිරීම මාධ්‍ය නිදහස නොවන බවද ඉතා හොඳින් සිහිපත් කරගත යුතුව ඇත.

නොඑසේ නම් විපක්ෂය එයත් කොනකින් අල්ලාගෙන ප්‍රකාශ කරනුයේ මාධ්‍ය නිදහස ආණ්ඩුව විසින් අසුරන බවට තවත් චෝදනාවක් එල්ල කරමිනි. පොල්තෙල් ගැන යම්කිසි අනිසි බියක් ඇති කරමින් විපක්ෂය ගෙන යන මෙම ප්‍රචාරයන්ගෙන් අවැසිය සිදුවන්නේ මේ රටට හා ජනතාවටයි.

ශ්‍රී ලංකාවේ පොල්තෙල් සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්සිදුකිරීම ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්ව තිබේ.

මෙරට බිස්කට් වර්ග ඇතුළු ඇතැම් දේශීය ආහාර සහ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයෙන් තිබෙන්නේ දැඩි ඉල්ලුමකි.

නමුත් විපක්ෂ කිසිදු පදනමකින් තොරව ගෙන යන මෙම විෂ පොල්තෙල් කතාව නිසා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන බිස්කට් ඇතුළු ආහාර වර්ග සඳහා ජාත්‍යන්තර රටවලින් පවතින ඉල්ලුමෙන් යම් පහත වැටීමක් සිදුවීමේ අනතුරක් ද මතුව තිබේ.

එමනිසා වගකිවයුතු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දිය යුතුයි. එදා වේල ටුවර්ස් විපක්ෂයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම ද එක්තරා අන්දමකින් විහිළුවකි.

Comments