මේ අලුත් අවු­රුද්දේ අපේ සූදා­නම ජන ගී ලොව පුරා දරු­වන්ට උග­න්ව­න්නයි | සිළුමිණ

මේ අලුත් අවු­රුද්දේ අපේ සූදා­නම ජන ගී ලොව පුරා දරු­වන්ට උග­න්ව­න්නයි

 - සහන් රන්වල

සංස්කෘතිකාංග සුරක්ෂිත කරන්නට දැඩි වෙහෙසක් ගත් මගේ තාත්තා ලයනල් රන්වල කිසිවිටෙක අතීතකාමය කරපින්නා ගත් කෙනෙක් වුණේ නැහැ. ඔහු අපේ ජන සංස්කෘතිය ආරක්ෂා කරන්නට තැත් දැරුවේ උදාවන අනාගතය දෙස බලමින්

 

කොහෝ නදට මුහු වෙන රබන් හඬ ද කැවුම් කොකිස් සුවඳ ද එකට මුසු වන වසන්ත මංගල්‍යයේ මඟහැරිය නොහැකි තවත් එක් සලකුණක් වන්නේ රන්වල බළකායයි. අවුරුද්ද හා බැඳුණු සොබාදහමේ වෙනස්කම් ද සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ද අතරට රන්වල බළකාය එක් කරන ජන සංස්කෘතිකාංග කිසිවිටෙක බැහැර කොට තැබිය නොහැකිය.

 

රන්වල බළකායේ නිර්මාතෘ ලයනල් රන්වලයන් අපෙන් සමුගෙන බොහෝ කාලයක් ගත වුවත් අවුරුදු කාලයට අදටත් ඔහු ජීවමානය. ඒ පිය ඇසුරෙන් අලුත් අවුරුද්ද දුටු, අලුත් අවුරුද්ද විඳි; ඒ අපූරු සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙනයන සහන් රන්වල එදා දුටු අලුත් අවුරුද්ද සහ අද දකින අලුත් අවුරුද්ද පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

"අවුරුද්ද යන වචනය ඇසූ සැණින් අපේ හිත් දිව යන්නේ ඈත පිටිසර ගම්මාන වෙත. අවුරුද්දේ සැබෑ අසිරිය තිබෙන්නේ සැබැවින්ම ගම්බද පරිසරයකයි. මම ඉපදුණේ නුගේගොඩ ප්‍රදේශයේ. අර්ධ නාගරික පරිසරයක නගරබද දරුවෙක් ලෙස හැදී වැඩුණත් අලුත් අවුරුද්දේ සුන්දරත්වය නොඅඩුව විඳින්න මට අවකාශ හිමි වුණා. මගේ අවුරුදු නිවාඩුව බොහෝ විට ගත වුණේ අම්මාගේ ගම වූ කොත්මලේ මඩකුඹුර. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවුරුදු සිරිය එහි පිරි ඉතිරී ගියා. දරුවකු ලෙස මට විඳින්නට ලැබුණු අවුරුදු අසිරියේ වඩාත්ම මතකයේ සිටින දේ අවුරුදු කෑම වර්ග. විශේෂයෙන්ම අම්මාගේ ගම් ප්‍රදේශයේ තිබූ පිරිසුදු කිතුල් පැණි. ඒ ප්‍රදේශය කිතුල් පැණිවලට නමක් දිනාගෙන තිබුණා. කිතුල් පැණි යොදා සකස් කරන, අලුත් අවුරුද්දටම ආවේණික වූ ගම්බද ආහාරවල තිබුණේ අමුතුම මිහිරක්. කුඩා දරුවන් විදිහට ඒ රසයට අපි බොහෝ ඇලුම් කළා. අලුත් අවුරුද්ද එන තුරු බලා සිටියේ ඒ රසවත් කෑම ජාති ආහාරයට ගන්න ලැබෙන නිසා.

සාමාන්‍ය දරුවන් විඳින ඒ අවුරුදු අත්දැකීම්වලට අමතරව මට විඳින්නට ලැබුණු විශේෂ අත්දැකීම් සම්භාරයකුත් තිබුණා. මගේ තාත්තා සෑම අලුත් අවුරුද්දකටම ඉතාම කාර්යබහුලයි. තාත්තා සහභාගීවන අවුරුදු වැඩ සටහන්වලට තාත්තා සමඟ සහභාගී වන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම් වෙනත් දරුවකුට විඳින්න නොලැබෙන විශේෂිත ඒවා.

ටිකෙන් ටික වයසින් වැඩෙද්දී අලුත් අවුරුදු කාලයට එසේ කාර්යබහුලවීම, සංස්කෘතිකාංග සමඟ අවුරුදු වැඩසටහන්වලට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ ලොකු සතුටක් මට දැනුණා. රටට, ලෝකයට මතු අනාගතයට ආරක්ෂා කර තැබිය යුතු දේවල් සුරක්ෂිත කරන්නට කැපවීම පිළිබඳව සියුම් ආඩම්බරයක් ඒ සතුට තුළ තිබුණා.

මගේ තාත්තා සංස්කෘතිකාංග සුරක්ෂිත කරන්නට දැඩි වෙහෙසක් ගත්තත් ඔහු කිසිවිටක අතීතකාමය කරපින්නා ගත් කෙනෙක් බවට පත්වූයේ නැහැ. ඔහුට තිබුණේ ඉතාම පුළුල් නිදහස් චින්තනයක්. ඔහු අපේ ජන සංස්කෘතිය ආරක්ෂා කරන්නට තැත් දැරුවේ උදාවන අනාගතය දෙස බලමින්. වසර ගණනාවකට පෙර ඔහු දැරූ ඒ උත්සාහය වඩාත් ඵලදායි වන්නේ අද දවසයි. තාත්තාට තිබුණේ තරුණ සිතුවිලි. ඒ නිසා විශාල තරුණ පිරිසක් ඔහු වටා එක් රොක් වුණා. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ බොහෝ සංස්කෘතිකාංග ආරක්ෂා කරගෙන ඉදිරියට එන්නට අපට හැකි වුණා.

වර්තමානය වන විට අලුත් අවුරුදු සැමරීමේ යම් යම් වෙනස්කම් සිදු වී තිබෙනවා. අලුත් අවුරුදු සිරිත් ඉදිරියට පවත්වාගෙන එන්නට ජනමාධ්‍ය ඔස්සේ විශාල රුකුලක් ලැබුණා. මාධ්‍ය ඔස්සේ ඇසූ දුටු බොහෝ දේවල් ආදර්ශයට ගෙන තිබෙනවා. මගේ කුඩා කාලයේ වෙළෙඳ සමාගම් අලුත් අවුරුද්දත් සමඟ එතරම් තදින් බැඳී තිබුණේ නැහැ. නමුත් වර්තමානය වන විට වෙළෙඳ සමාගම් ඉතා තදින් අලුත් අවුරුද්ද සමඟ බැඳී තිබෙනවා. ඔවුන් මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන බොහෝ දේවල් අලුත් අවුරුද්ද සමඟ එක් වෙමින් මිනිසුන්ගේ ජීවිත තුළට ගමන් කරනවා. ඒ ඔස්සේ අලුත් අවුරුද්ද පිළිබඳ බොහෝ දෙනා තුළ ඇති අවබෝධය සහ හැඟීම් වෙනස් වෙමින් පවතිනවා. අවුරුද්ද එයට ආවේණික සංස්කෘතිකමය වටිනාකම ද සමඟ රැක ගන්නට මෙන්ම එහි හරය යම් යම් වෙනස්කම්වලට ලක් කරන්නටත් දායක වන්නට ජන මාධ්‍යයට පුළුවන්.

එළඹෙන අලුත් අවුරුද්ද සමඟ රන්වල බළකායේ අපි තවත් අලුත් වැඩකට සූදානමින් සිටිනවා. ශ්‍රී ලාංකේය දරු දැරියන්ට ජන ගී සහ ජන සංස්කෘතිය නිවැරදිව හදාරන්නට හැකි පරිසරයක් අප දැනටත් සකස් කරගෙන සිටිනවා. මේ අලුත් අවුරුද්දේ සිට එය ලොව පුරා දරුවන්ට ඉගෙන ගන්නට හැකි තැනක් බවට පත් කරන්නට අප සූදානමින් සිටිනවා. ඒ අනුව එළඹෙන අලුත් අවුරුද්දට ලංකා ඊ පාසල ආරම්භ වේවි. ඒ හරහා ලොව පුරා සිටින සියලු ශ්‍රී ලාංකිකයන් එකම ශ්‍රී ලාංකේය නෑ පරපුරක් ලෙස එකට අත්වැල් බැඳ ගනිමින් සංස්කෘතික උරුමයන් ඉදිරියට රැගෙන යන්නට එක්රොක් කර ගැනීමයි අපේ අභිප්‍රාය.

Comments