විෂ පොල්තෙල් ගෙන්වූ සමා­ගම් 5කට වැඩ වරදී | සිළුමිණ

විෂ පොල්තෙල් ගෙන්වූ සමා­ගම් 5කට වැඩ වරදී

පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කරන ලද මහා පරිමාණ සමාගම් පිළිබඳව පාරිභෝගික අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව විසින් පාරිභෝගික ආරක්ෂා පනතට හා රේගු ආඥා පනතට අනුව නීතිමය කටයුතු කරන බවත් මේ වන විට අදාළ විෂ පොල්තෙල් ප්‍රති අපනයනය කිරීම අරඹා ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිළුමිණට කීය.

අත්අඩංගුවට ගන්නා ලද පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් පිළිබඳව සිදු කළ විමර්ශනයන්හිදී මහා පරිමාණ සමාගම් 5ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් ඒවා පිළිබඳ කඩිනම් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද දැනටමත් සමාගම් 3ක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම අරඹා ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අදාළ සමාගම් විසින් ඇෆ්ලොටොක්සීන් සිරුරට විෂ සහිත බව දැනදැනත් මේ විෂ පොල්තෙල් ආනයනය කිරීම මෙරට ජනතාවගේ  සෞඛ්‍යය වෙනුවෙන් හා ආහාර ද්‍රව්‍ය සම්බන්ධව ඇති ආනයන හා පාරිභෝගික ආරක්ෂා පනත් සියල්ල උල්ලංඝණය වී ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා අනෙකුත් අදාළ ආයතන විසින් සිදු කරන විමර්ශනයන්හිදී අදාළ ආයතන විසින් හිතාමතාම මේ ආනයනය කර ඇති බව හෙළිවුවහොත් ඒ වෙනුවෙන් බිලියන ගණනක වන්දි ලබා ගැනීමට හා අදාළ බහුජාතික විදෙස් සමාගම්වලින්ද අතිවිශාල වන්දි ලබා ගැනීමට හැකි බවචද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ඇෆ්ලොටොක්සීන් සහිත පොල්තෙල් සහ අනෙකුත් ආහාර පිළිබඳ දිගුකාලීන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

Comments