යට‌ෙවන තෙල්දෙනිය දැක නිර්මාණකරණයට පිළිපන් නිර්මාණකරුවා | සිළුමිණ

යට‌ෙවන තෙල්දෙනිය දැක නිර්මාණකරණයට පිළිපන් නිර්මාණකරුවා

 

‘සාහිත්‍ය නිර්මාණයක් කරන්න පෙරුම් පුරණ අයට සාහිත්‍ය ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ග්‍රන්ථාරූඪ වී ඇති සාහිත්‍යයත්, කටින් කට පැවත එන ජන සාහිත්‍යයත් යන දෙකෙහිම ඉතිහාසය දැන ගැනීම බොහෝම ප්‍රයෝජනවත්. මිනිසකු කිසියම් කාර්යයක නිරත වෙන විට ඒ පිළිබඳ ඉතිහාසය, දැනුම නැතිව ම බැහැ. කම්හලක වැඩ කරන කම්කරුවකු වුණත්, ඒ කර්මාන්ත ව්‍යාපාරයේ ඉතිහාසය, නිෂ්පාදන තත්ත්වය ආදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අතීතය දැන ගත්තම අපිට වර්තමානයේ ජීවත්වන අපට අනාගතය පහසුවෙන් ගොඩනඟා ගන්න පුළුවන්. අපි අපේ ඉපැරණි සාහිත්‍ය පොතපත පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න ඕනෑ. විදේශීය සාහිත්‍ය ගැනත් දැනුම දියුණු කර ගැනීම වැදගත්. ලෝකයේ රටවල් විවිධ වුවත්, බොහෝ විට ඒවායේ වෙසෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් එක සමාන බව පෙනෙන නිසයි මා එසේ කියන්නේ‘.

 

මැක්සිම් ගෝර්කි වරක් තරුණ නිර්මාණකරුවන් අරභයා කරන ලද දේශනයකදී එසේ පවසයි. ඉතිහාසය හැදෑරීම තරම් වර්තමානය ගැන සවිඥානික වීමට වෙන මඟක් නැත.

වික්ටෝරියානු සදාචාරය විසින් අණසකට ගන්නට පෙර අප කෙතරම් නිදහස් හා අසීමාන්තික ව මානවවාදී වූයේ ද යන්න ගැන අපූර්ව ලෙසින් ලියැවුණු නවකතාවක අත්දැකීම් ඔබට කියන්නට පෙර මා මේ පූර්විකාව ලියූයේ ඉතිහාසය කෙතරම් නිර්මාණ රසගුලාවක් ද යන්න ගැන ඔබට පවසන්නටය. බොහෝ දෙනෙක් නොදන්නා පැහැසර සංස්කෘතික ලිබරල්වාදයකින් පොහොණි වූ ඒ අතීතය, මනරම් ව සංකල්ප රූප මවමින් අප ඉදිරියේ මැවූ අපූරු ලේඛකයෙක් වෙයි. ඔහු අජිත් පී. ධර්මසූරියයි; කෘතිය 'ධවල ගොසරෑවිය' නම් වෙයි.

කුටුම්බය, ලිංගිකත්වය, පුද්ගල ද්වීරූපීත්වය, මානව දයාව, ප්‍රේමය හා උත්කර්ෂය එකී නවකතාවේ මැනවින් පදම් වී තිබේ. විටෙක ශෘංගාරයත්, තවත් විටෙක විප්‍රලම්භයත් එහි මැනවින් සංකලනය වී ඇත්තේ පාඨක අප ආනන්දයෙන් පුරවමිනි. කතුවරයා භාවිත බස මනරම් ය; සුගම ය; චිත්ත රෑප ජනනයේ ලා පොහොණි ය.

‘මේ කෘතිය මුලින්ම ලියන්නේ තිර රචනයක් විදියට. මගේ පාසල් මිත්‍රයෙක් වන චතුර ජයතිලක මට ලෙනාඩ් වුල්ෆ්ගෙ දිනපොත ගෙනත් දෙනවා. ඔහුගේ ඉල්ලීම තිර රචනයක් කරන්නයි. මේක කියවද්දි මට අහුවුණා ලෙනාඩ් වුල්ෆ් මුදල් මත පදනම්ව පැවැත්වූ අනියම් සබඳතාවක් ගැන. මට මේක දැනුණා. ඒ කාන්තාවගේ නම සඳහන්ව තිබුණා; සපුගොඩ පරම්පරාව ගැනත් විස්තර තිබුණා. ඊට පස්සෙ වැල්ලවාය පැත්තේ ගිහින් මේ විස්තර මම හෙව්වා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ‘ගිරි‘ නමින් මම ටෙලිනාට්‍ය පිටපතක් ලියනවා. වියදම වැඩි නිසා මේක ටෙලිනාට්‍යයක් කිරීම හීනයක් වෙනවා. මේ තිරනාටකය ආශ්‍රයෙන් මම ධවල ගොසරෑවය නවකතාව ලියන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ඉල්ලීමක් ලෙස. දැන් එය රූප රචනයක් ලෙසත් ඉදිරියේදී දකින්න ලැබේවි. ඉතිහාසය කෙතරම් නිර්මාණකරුවාට නිර්මාණ තෝතැන්නක් ද යන්න මා ඔබට මුලින්ම කීවේ මේ කරුණ නිසයා. සොයා යන්නකුට ඉතිහාසය වස්තු බීජ ආකරයකි.

අජිත් ධර්මසූරිය සිත්තරෙකි. හේ රේඛාවට ජීවය දෙන්නෙකි; වර්ණ කතා කරවන්නෙකි. රේඛා, වර්ණ එක් කර සමස්ත කතාවක් ගොඩනඟන්නෙකි.

‘තෙල්දෙනිය යට වෙද්දි මට අවුරුදු 16ක් 17ක් විතර. අපි ආදරය කරපු අපේ නගරය යටවෙන පින්තූර ගන්න මට හරිම ඕනෑකමක් තිබුණා. ඒත් මට කැමරාවක් නෑ. කැමරාවක් ගන්න සල්ලිත් නෑ. මම එකින් එක තෙල්දෙනිය යටවෙන හැටි චිත්‍රයට නැඟුවා. හරියට කැමරාවකින් පින්තූර ගත්තා වගේ.

කොතරම් කතා කළත් අත්දැකීම් කෙදිනකවත් ඉවර නොවේ. ජීවත් වීම ම අත්දැකීමකි. කාලය හා අවකාශය විසින් ඊට වෙනස් වෙනස් අර්ථකතන දෙනු ලැබේ. ඉපදුණු දිනයේ පටන් මැරෙන මොහොත දක්වාම විවිධ අත්දැකීම් අප වින්දනයට, විඳවීමට ලක්කරනු ලබයි.

අත්දැකීම කුමක් හෝ ඉඟි කරයි ද; සංඥා කරයි ද; ආවරණ, අනාවරණ කරයි ද යන්න ගැන කලින් කිව නොහැකිය. අත්දැකීම් තීව්‍ර හෝ මොට කරන්නේත්, නොතකා හරින්නේත් නිර්මාණකරුවා විසිනි. කලාව වනාහි හුදෙක් ප්‍රතිමා, පින්තූර, නවකතා, කෙටිකතා හෝ කවි පමණක්ම නොවේ. මේ සියල්ල තේරුම් ගැනීමේ බුද්ධිමය චමත්කාරය කලාවය. කලාව යනු සමස්ත දැකීම යැයි අප කියන්නේ ඒ නිසාය. සිය අත්දැකීම් සිතුවමකට ගොනු කරන ඔහු සිය විඳවීම වින්දනයක් කර ගනියි.

අජිත් නිර්මාණකරණයට පිවිසෙන්නේ ‘ගිරි හිසක් සේ‘ නවකතාව රචනා කරමිනි. තුරුණු වියේ අත්දැකීම් දරා ගත නොහැකිව ජීවිතයෙන් නික්ම යන, එල්ලී මැරෙන තරුණ පරම්පරාවක් අබියස අජිත් විඳවීම අරුත්බර කරගනී. එක පාර මා මරන්න කියනවාට වඩා ඔහු ජීවත් වෙන්නට මාර්ග සොයයි; ඉනික්බිති ඒ පාරෙන් එන්නට පාඨක සහෘදයාට ආරාධනා කරයි. ලේඛක වගකීම පාඨකයාගේ ආනන්දය නම් අජිත් එය මනාව ඉටු කරයි.

‘ප්‍රථම ප්‍රේමය හැමෝටම ආනන්ද ජනක දෙයක්. ඒක අමුතුයි; ආදරණීයයි.මගේ ප්‍රථම ප්‍රේමය ගම හැරදා ගියා; අර මගේ චිත්‍රයට පාදක වුණු තෙල්දෙනිය යට වීම තමයි ඇය ගමෙන් යන්න හේතුව. මම ගමේ නතර වුණා. ඒ කම්පනය බොහෝ කාලයක් මගේ සිතේ තිබුණා. මංගලී, බණ්ඩාර මේ චරිත සියල්ල මා නිර්මාණය කළේ මගේ සජීවි අත්දැකීම ඔස්සේයි. එකම දේ මම මගේ චරිතය සහ ඇගේ චරිතය මාරු කළා; අදාළ පරිසර මාරු කළා’.

ප්‍රබන්ධ චරිත හා අත්දැකීම් ස්වකීය ඒවා බැව් බොහෝ දෙනා නොසිතති. ජීවිතයට ආකෘතියක් ඇත්තේ යම්තාක් ද, ඒ තරමට එය කලාවක් වන්නේය.

ශිෂ්ටාචාරයේ අවුල හෝ චින්තනමය පීඩාව වැඩි වන්නට, වන්නට එය කලාවක් වේ. කලා කෘතිවලදී ගැඹුරු ලෙස ද, පොහොසත් ලෙස ද සංවේදනා පැහැදිලි කරන්නේ සවිඥානික හා සැමට පෙනෙන ප්‍රකට රටා ඔස්සේය. කලාවේදී සියලු අත්දැකීම් හා වස්තුවලට පැහැදිලි ස්ථානයක් ලබා දෙයි. ප්‍රිය උපදවන, ලාලසාව වර්ධනය කරන සිහිනමය දෑ පවා කලාවේදී එක්තරා හික්මීමකට ලක්කරයි. එසේත් නැතිනම් තාර්කික රටාවකට යටත් කරයි.

ගැඹුරු විදග්ධ කල්පනා ශක්තියෙන් අඩු අය පවා යම්කිසි දිනෙක ජීවිතයේ නිස්සාරත්වය හෝ අත්හැරීම හෝ සෞන්දර්යය අත්විඳ ඇත.

මේවා ක්‍රමවත්ව සංවිධානය කරගන්නේ අහඹු ලෙස කෙනෙකි. ඒ නිසාය කලාකරුවාගේ ප්‍රයත්නය වැදගත් වන්නේ. අප හදවත්හි අර්ධ වශයෙන් ප්‍රකාශිත ජීවිතයේ වියවුල, අවකාශය නැවත නැවත අප හදවත්හි සිදු වුව ද එහි සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට අප බොහෝ දෙනා අසමත් ය.

එහෙත් කවියකදී, නවකතාවකදී හෝ නාට්‍යයකදී ඒවා සඳහට ම පැහැදිලි කෙරේ. යාන්තමට අවබෝධ වුණු හැඟීමක්, සිතිවිල්ලක්, සාහිත්‍යයේ හෝ සංස්කෘතියේ පැහැදිලි කිරීමකට සමපාත වන්නට ඒ අනුව අපට හැකි වේ. අජිත් ධර්මසූරිය බහුවිධ කලාවන්හි නිපුණ ලෙස නිරත වන්නේ ජීවිත පරිඥානයෙන්, ඇසුරෙන් ලද අත්දැකීම් නිසාය. ඔහු අත සියලු නිර්මාණ සුමටව අපට ජීවිතය ගැන බොහෝ දේ කියා දෙන්නේය.

Comments