ජන­පති ගම සමඟ පිළි­ස­ඳ­රෙන් මාස 3 කින් හැදුණු අලුත් ගමක් | සිළුමිණ

ජන­පති ගම සමඟ පිළි­ස­ඳ­රෙන් මාස 3 කින් හැදුණු අලුත් ගමක්

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් නිවාස හිමි­කම් සහ­තික නිවාස ලාභී­නට ප්‍රදා­නය කළ අව­ස්ථාව.   ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් සුද­ර්ශන පති­ර­ණ ද මෙහි වෙයි.
ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් නිවාස හිමි­කම් සහ­තික නිවාස ලාභී­නට ප්‍රදා­නය කළ අව­ස්ථාව. ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් සුද­ර්ශන පති­ර­ණ ද මෙහි වෙයි.

සර 15 කට පෙර මෙරට දරුණුතම බස් බෝම්බයට හසුවුණු කැබිතිගොල්ලෑව කණුගහවැව ගමේ වැසියනට මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනදාට වඩා සතුටින් ගත කරන්නට දැන් අවස්ථාව ලැබී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ ඒ ගමේ ජනතාවට දැන් අලුත් ගමක් අලුත් නිවාස සමඟ විදුලිය, මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් ලැබීම හේතු කොට ගෙනය.

ජනපති ගෝඨාභය රාජපක්ෂයන් සිවුවැනි ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ කණුගහවැව ගම්මානයට ගියේ මීට මාස 3 කට පෙර 2020 දෙසැම්බර් 30 දිනය. එදින සිට මාස 3 ක් ඇතුළත ජනපතිගේ උපදෙස් මත මේ ගම්මානයට අරුණලු උදා කරන්නට ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන උපරිම වෙහෙසක් ගෙන ඇත.

අනුරාධපුරයේ සිට කිලෝමීටර් 71 ක් දුරින් පිහිටි කණුගහවැව ගමේ පවුල් 385 ක පුද්ගලයෝ 1426 ක් වෙසෙති. කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කරන ඒ ජනතාව පසුගිය සමයේ ජීවත්වූවේ බරපතළ ජීවිත අරගලයක යෙදෙමින් ය.

 ගුවන් හමු­දාව ඉදි­කළ නවීන පහසුකම් වලින් සමන්විත නිවාස හා එම නිවැසියන් ජීවත්වූ පැරැණි නිවෙස

2006 ජූනි මස 15 වැනි දින යකාවැව හල්මිල්ලවැටිය ග්‍රාමයේදී කැබිතිගොල්ලෑව බස් රථයට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයට ලක්ව කැබිතිගොල්ලෑව කණුගහවැව ගමේ 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එදා ආරක්ෂක අංශ එහි යාමට එපා කියද්දී එදා ජනපති මහින්ද රාජපක්ෂයන් එම ස්ථානයට ගොස් මහා සංඝරත්නයට හා මහජනතාවට පොරොන්දු වූයේ රට වනසන ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා‍ දමන බවය. ඒ අනුව වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් එවකට ආරක්ෂක ලේකම් ලෙස දුන් පූර්ණ එඩිතර දායකත්වය නිසාම 2009 මැයි 19 දින ඒ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමට ඉඩ ලැබුණි‍.

කෙසේ වුවත් 1995 සිට 1998 දක්වාත් 2006 සිට 2008 දක්වාත් කණුගහවැව, හල්මිල්ලවැටිය ගම්වල වැසියන්ට සිදුවූයේ ත්‍රස්තවාදී භීෂණය නිසා කැලේ හෝ කඳවුරුගතව ජීවත්වීමට ය.

ත්‍රස්තවාදී භීෂණය අවසන් වුව ද ඒ ගම්වල ජනතාව බරපතළ ආර්ථික, සමාජයීය ප්‍රශ්න රැසකට මුහුණපා සිටියහ.

ඉඩම් ගැටලු, වැව් ඇළ වේලි පිළිසකර කිරීම, ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවාහන ඇතුළු ගැටලු රැසක් ඔවුනට තිබිණි.

2020 දෙසැම්බර් 30 වැනිදා ජනපති ගම සමඟ පිළිසඳර සිවුවැනි වැඩසටහන පැවැත්වූයේ මේ දුප්පත් අහිංසක ජනතාව සමඟ කණුගහවැව ගම්මානය කේන්ද්‍ර කරගෙනය. ඒ අනුව ජනාධිපතිතුමා කණුගහවැව හා හල්මිල්ලවැටිය ප්‍රදේශවල ජනතාවගේ ගැටලු පිළිබඳව පෞද්ගලිකව අසා සොයා බලා ක්ෂණික විසඳුම් ලබාදුන්නේය. ඊට අමතරව විශේෂයෙන් මේ ප්‍රදේශවල පවතින අධ්‍යාපනික හා මාර්ග ගැටලු රැසකට ද විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය කිරීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ බාරගෙන තිබිණි.

පසුගිය මාස 3 ඇතුළත කණුගහවැව ගමේ ජනතා අවශ්‍යතා සපුරනු ලැබූ අතර ඒ අනුව ඉදිකළ කණුගහවැව ආදර්ශ ගම්මානය පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අතින් ඒ ප්‍රදේශයේ දුප්පත් ජනතාවට පිරිනැමීය. නව ආදර්ශ ගම්මානය විවෘත කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පළමුව කණුගහවැව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස්. එම විහාරස්ථානයේ ගුවන් හමුදාව ඉදිකළ ඝණ්ටාර කුලුන අභිනවයෙන් ඉදිකෙරුණු බෝධි ප්‍රාකාරය, ආවාස ගෙය දැක බලාගැනීමට ද ජනපති කටයුතු කළේය.

මේ ගම්මානයේ දුප්පත් ජනතාව ජීවත්වූ අබලන් පැල්පත් නිවාස වෙනුවට නව නිවාස 70 ක් ඉදිකරන අතර ඉන් නව නිවාස 15 ක අයිතිය මෙම අවස්ථාවේදී ජනාධිපති තුමා හා ජනපති ආර්යා අයෝමා රාජපක්ෂයන් අතින් ඒ පවුල් වෙත ලබාදුන්නේ කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියේදීය. එහිදී එම විදුහලේ ඉදිකළ නව ගුරු නිවාසයේ යතුරු ද විදුහල්පතිවරයාට බාරදුන්නේ ය.

එල්.ටී‍.ටී.ඊ. ත්‍රස්තවාදීන් මේ ගම්මානවලට හැම තිස්සේම පහර දුන්නා. ඒ නිසා බොහෝ දෙමාපියන්ට හරි හැටි අධ්‍යාපනයක් නෑ. ඒ අයට අකුරු ලියන්න කියන්න බෑ. ඒ අයගේ දරුවෝ අද මේ පාසලේ ‘සුහුරු පන්ති කාමරයක’ (Smart Class Room) පරිගණක මඟින් ඉගෙන ගන්නවා. මේ තත්ත්වය අපට ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගම සමඟ පිළිසඳරෙන් අපේ ගමට ආපු නිසා” කණුගහවැව ප්‍රාථමික විදුහලේ විදුහල්පති ඩබ්.ඒ.එස්.කේ. අරුණතිලක පවසයි.

දැනට මාස දෙකකට අදාළ සියලු පාඩම් පරිගණක ගත කර අවසානයි. ඒ සඳහා පරිගණක දැනුම ඇති ගුරුවරයෙක් ද දැන් අපට ඉන්නවා. කවදාවත් පරිගණකයක් දැකල නැතිව සිටි දරුවන් දැන් පරිගණක‍ය මඟින් ආසාවෙන් ඉගෙන ගන්නවා” ඔහු කීය.

සුහුරු පන්ති කාමර ඇති කණු­ග­හ­වැව නව පාසල් ගොඩ­නැ­ගිල්ල ජනා­ධි­ප­ති­තුමාගේ නිරී­ක්ෂ­ණ­යට ලක්වූ අව­ස්ථාව‍.

අද වනවිට කණුගහවැව කනිටු විදුහල පන්ති කාමර පහක්, ක්‍රීඩා පිටියක්, ගුරු නේවාසිකාගාරයක්, සත්දෙනෙක් ගෙන් යුතු ගුරු මණ්ඩලයක් සහ ‘Smart Class Room’ පන්තියක් සහිත සම්පූර්ණ ප්‍රාථමික පාසලක් බවට පත්ව ඇත.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරුණි. කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවාස සහ ජංගම අක්ෂි රෝහලේ සිදුකළ අක්ෂි සැත්කම් ජනපතිතුමාගේ නිරීක්ෂණයට යොමු විය. එම විදුහලේ ඉදිකළ නව ගොඩනැගිල්ල ද දරුවන්ට පිරිනැමිණි. ගම වටා කිලෝමීටර් 15 ක් දිග අලි විදුලි වැටක් ගුවන් හමුදාව ඉදිකර තිබිණි.

කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි අය අතරින් පස් දෙනෙකුට ඔප්පු ප්‍රදානය ද ජනාධිපතිතුමා එදින සංකේතාත්මකව සිදු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක පැවසුවේ ඉතා අඩු පහසුකම් යටතේ කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කළ කණුගහවැව ජනතාවට ගම සමඟ පිළිසඳර නිසා අලුත් ගෙවල් හා විදුලිය හා යටිතල පහසුකම් රැසක් ලැබී ඇති බවයි.

“මේ පවුල් රැසක් ගොවිතැනින් තමයි ජීවත්වෙන්නේ. හුඟක් ගෙවල් කටුමැටි හා පොල් අතුවලින් හදලා තිබුණේ. ජනාධිපතිතුමා ගමට ඇවිල්ලා මාස 3 ක් ඇතුළත අලුත් ගෙවල් හැදුණා. පන්සල පාසල් හැදුණා. පාරවල් හැදුණා. ගමේ අයට දැන් ලොකු සතුටක්.”

ගුවන් හමුදාව ගමේ වැඩ ගොඩක් කළ‍‍ා. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සේවා පියසක් හදනවා. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව කණුගහවැව හල්මිල්ලවැටිය ප්‍රදේශවල මාර්ග කිලෝමීටර් 6 ක් අලුතින් හැදුවා. කණුගහවැව හල්මිල්ලවැටිය පාසල්වලට අලුත් ක්‍රීඩාංගණ ලැබුණා. පාසල්වල ගුරු නිවාස ඉදිකළා. අලුත් ගොඩනැගිලි ලැබුණා. හල්මිල්ලවැටිය විද්‍යාලීය පරිගණක විද්‍යාගාරය අලුත් වැඩියා කළා. ඒ සියලු දේ පිළිබඳව ඒ ගම්වල ජනතාව ජනාධිපතිතුමාට ස්තුති කරනවා” ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

කණුගහවැව ග්‍රාම නිලධාරි සුනන්ද නිශ්ශංක කුමාර පවසන්නේ කණුගහවැව ගමේ වෙසෙන පුද්ගලයන් 1426 ටම ‘ජනපති ගම සමඟ පිළිසඳර’ නිසා සෙත සැලසුණු බවයි.

“ජනාධිපතිතුමා ආපු වෙලාවේ ගමේ අය ඒ අයගේ දුක ප්‍රශ්න කිව්වා. ජනාධිපතිතුමා ඒවාට එවේලේම විසඳුම් දුන්න. ගුවන් හමුදාව හා රාජ්‍ය ආයතනවලට ගම හදන එක බාරදුන්නා. දැන් ගොඩක් වැඩ කෙරිලා. ගමට පිවිසෙන ප්‍රධාන මාර්ගය හදන්නත් දැන් සියලු මිනුම් කරලා අවසන්. ගමේ තිබුණු කටුමැටි ගෙවල් වෙනුවට අලුත් ගෙවල් හදලා දුන්නා. ඒ අයට නොමිලේම විදුලිය දුන්නා. තවත් ගෙවල් හදමින් පවතිනවා. සියලු දෙනාට නොමිලේ විදුලිය දෙනවා. අනුරාධපුරයේ සිට අපේ ගමට කිලෝමීටර් 71 ක් දුරයි. කැබිතිගොල්ලෑවේ ඉඳන් කිලෝමීටර් 12 ක් දුරයි. මේ දුෂ්කර ගම්මානයේ ජනතාව ඉස්සරට වඩා සතුටින් දැන් ඉන්නවා. මේ සැරේ සිංහල අවුරුද්ද ඒ අයටත් අපිටත් සතුටින් සමරන්න පුළුවන්” ග්‍රාම නිලධාරි සුනන්ද පවසයි.

Comments