වොලිබෝලයට තඩිබාන රහස් පොලිස්කාරයා | සිළුමිණ

වොලිබෝලයට තඩිබාන රහස් පොලිස්කාරයා

 

චාල්ස් 01

ඔහු හැඩි දැඩි නොවී ය. කුඩා සිරුරැති විය. එහෙත් ඔහු තරගයක දී සිය තීක්ෂණ බුද්ධිය හොදින් මෙහෙය වූයේ ය. නමුත් ඔහු අනෙක් ක්‍රීඩකයන් අභිභවා ජයගත්තේ තම බුද්ධිය හා තැනට සුදුසු උපක්‍රමශීලි ක්‍රීඩා රටාව හැම අවස්ථාවකදීම මැනැවින් උපයෝගී කරගත් බැවිනි.

උස් බුද්ධියෙන් ප්‍රතිවාදීන් මිටි කළ සිරිලක වොලිබෝල් තාත්තා

‘වොලිබෝල් පියවරු එමටය. එහෙත් සැබෑම වොලිබෝල් පියවරු වශයෙන් සැලකිය හැකි ශූරයන් සිටින්නේ නම් ඒ අතළොස්සකි.

මේ සැබැවින්ම සිරිලක  වොලිබෝල් පියා ය.’

 

ඒ 1923 වසරයි. එය මෙරට වොලිබෝල් ක්ෂේත්‍රයට පතාක යෝධයකු බිහි කළ වසරක් විය. එහෙත් අනාගතයේ දී මේ දරුවා වොලිබෝල් පිටියේ වීරයකු වන බව නම් කිසිවෙකු දැන සිටියේ නැත. පසු කලෙක වොලිබෝල් ක්‍රීඩාපිටියට අවතීර්ණව ක්‍රීඩාලෝලීන්ගේ ජනාදර-යට පාත්‍රවෙමින් මෙරට වොලිබෝල් ක්‍රීඩාව ස්ථාවර අඩියකට ගෙන ඒම සඳහා මොහු කළ සේවාව අතිමහත් ය.

ඔහු හැඩි දැඩි නොවී ය. කුඩා සිරුරැති විය. එහෙත් ඔහු තරගයක දී සිය තීක්ෂණ බුද්ධිය හොදින් මෙහෙය වූයේ ය. නමුත් ඔහු අනෙක් ක්‍රීඩකයන් අභිභවා ජයගත්තේ තම බුද්ධිය හා තැනට සුදුසු උපක්‍රමශීලි ක්‍රීඩා රටාව හැම අවස්ථාවකදීම මැනැවින් උපයෝගී කරගත් බැවිනි. වසර ගණනාවක් මෙරට වොලිබෝල් පිටියේ සිංහයකු සේ නොසැලී සිටි ක්‍රීඩකයකු වශයෙන් ඔහු හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

ඒ අන් කවරකුවත් නොව තන්ත්‍රී මුදලිගේ දොන් ලුවී චාල්ස් ය. බොහෝ දෙනෙකු හඳුනන පරිදි ටී.ඩී.එල්. චාල්ස් ය. ඔහුගේ හඬින්ම පවසන්නේ නම් කලකට පෙර තමන්ගේ වොලිබෝල් ගමන දිගහැරෙන්නේ මෙසේ ය.

‘මාව ඒ කාලේ වගේම මේ කාලයේත් හැමෝම හඳුන්වන්නේ ටී.ඩී.එල්.

චාල්ස් කියලයි. 1938 වසරෙදී ගම්පහ රජයේ ඉංග්‍රීසි පාඨශාලාවේ මා ඉගෙ-නුම ලබමින් සිටියදී පාසලේ විදුහල්පති ඊ.ඩබ්ලිව්.පී. සමරසිංහ මහතාගේ මඟ පෙන්වීම තුළින් එවකට ශාරීරික අභ්‍යාස උපදේශකව සිටි ජයවර්ධන මහතා මාව වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ කර ගත්තා. පළමුවෙන්ම පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කරලා දක්ෂතා වර්ධනය කර ගන්නට හැකි-වුණා. මේ අතරතුරදී තමයි වොලිබෝල් කණ්ඩාය‍ෙම් නායකත්වය මට භාර දුන්නේ.

පාසලේ හැම දෙනෙකුම අපේක්ෂා කරපු ලෙසින් මම මගේ උපරිම ශක්තිය අපේ කණ්ඩායම වෙනුවෙන් කැප කළා.එහි ප්‍රතිඵලයක් ලෙසට එකල දක්ෂ පිල් හැම එකක්ම පරාජය කර ජය ගැනීමට හැකිවුණා. මෙලෙසින් මා වොලිබෝල් ජය මාවතේ ඉදිරියටම ගමන් කළේ අනාගතය ගැන විශාල බලාපොරොත්තු කරපින්නාගෙනයි. මගේ හිතට දැනුණා වොලිබෝල් ක්‍රීඩාවෙන් හොඳ ප්‍රතිඵල මට ලබා-ගැනීමට හැකිවෙන බව. ඒ වාගේම පාසලේ හැම දෙනාගෙන්ම ලැබුණු පිටිවහල අමතක කරන්න බැහැ. ඔවුන් තමයි මාව ධෛර්යමත් කරල ඉදිරියට යැව්වේ’ ඔහු වරක් පැවසීය.

පාසල් දිවියෙන් පසු එවකට කොළඹ කොටහේන පිහිටුවාගෙන තිබූ තරුණ සේවා කණ්ඩායමට සම්බන්ධවීමට මට අවස්ථාව උදාවුණා. එම වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා ඇමැති වූ වී.ඒ.සුගතදාස මහතායි.

ඔහු අපේ කණ්ඩායමේ නායකයා වශයෙන් කුසලතාවයන් ද දියුණු කර ගත්තා. කණ්ඩායමේ නායකත්වයට කේ.තර්මලිංගම් පත්කර ගත්තේ ඔය අතර වාරයේ දීයි. ඉතිං අපට හැකිවුණා එවර සමස්ත ලංකා වොලිබෝල් ශුර-යින් වෙන්න. වර්ෂ 1945 දී තමයි මම රහස් පොලීසියට බැඳුණේ. ඉන්පසු ශ්‍රී ලංකා පොලිස් පිල නියෝජනය කිරීමට මාව තෝරා ගත්තා. පොලිස් කණ්ඩායමට ඇතුළත්ව ක්‍රීඩා කරමින් සිටිය දී එවක සිටි උසස් පොලිස් නිලධාරීන් මා ගැන කොතරම් පැහැ-දුනා ද කිවහොත්, පොලිස් පිලේ නාය-කත්වයට මා පත්කළා.

ඊට පස්සේ මුළු සිරිලක පුරාම පොලිස් පිලේ නම රැඳවීමට මම ගෙන ගියේ පුදුම සටනක්. අපේක්ෂාකළ පරිදි ප්‍රතිඵල ලැබුණා. ලංකාවේ ප්‍රබල කණ්ඩායම් අප ඉදිරියේ දී පුදුමාකාර ලෙස අසරණ වුණේ ඒ අනුවයි’ චාල්ස් පැවසුවේ ය.

 

 

ඡායාරූප අනුග්‍රහය -

සුසිල් රණසිංහ

 

Comments