වෙරළ පාපන්දුවේ ජය අපරාජිත HORNETTES | Page 2 | සිළුමිණ

වෙරළ පාපන්දුවේ ජය අපරාජිත HORNETTES

හම්බන්තොට පාපන්දු සංගමය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඒකාබද්ධව මෙහෙයවන ලද "ඩයලොග්" වෙරළ පාපන්දු ශුරතා තරගාවලිය ජයගැනීමට හම්බන්තොට "HORNETTES" ක්‍රීඩා සමාජය සමත්විය.

හම්බන්තොට golden beaches වෙරළ තීරයේ දී මෙම තරගාවලිය පැවැත්විණි.

"වෙරළ පාපන්දු" ක්‍රීඩාව දිවයින පුරා වෙරළාශ්‍රිතව ව්‍යාප්ත කිරීම සහ රට අභ්‍යන්තරයේ කණ්ඩායම් බල ගැන්වීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය ආරම්භ කර තිබීම කැපී පෙනුණි.

අන්ත්ර්ජාතික ක්‍රියාත්මක වන වෙරළ පාපන්දු හෙවත් "Beach Soccer" තරග මාලාවන් සඳහා සහභාගි වීමට සුදුසු ජාතික කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම මෙම තරගාවලියේ ප්‍රමුඛතම ඉලක්කයක් විය. ඒ සඳහා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම සිටින බව හම්බන්තොට පැවැති තරගාවලිය ආශ්‍රිතව දැක ගැනීමට හැකි විය.

තරගාවලියේ සමස්තයක් වශයෙන් ගෝල් 59 ක් සටහන් වූ අතර එය දේශීය කෙළිබිමේ වෙරළ පාපන්දු ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවට කදිම උදාහරණයක් සේ දැක්විය හැකිය .

හම්බන්තොට, මාතර, කළුතර, බේරුවල, අම්බ-ලන්ගොඩ, ගාල්ල යන ප්‍රදේශවල කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ක්‍රියාත්මක කෙරිණි.

හම්බන්තොට "HORNETTES" සහ මාතර "MARINES" යන දෙපිල අතර පැවැති තීරණාත්මක අවසන් තරගයේදී ගෝල් 03 - 02 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් අදාළ ශූරතා කුසලානයට හිමිකම් කියන්නට හම්බන්තොට "HORNETTES" කණ්ඩායමට හැකිවිය .

අවසන් තරගයේදී පරාජය ලැබූ මාතර "MARINES" පිලට අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු වුවත් එහිදී ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වූ සටන්කාමීත්වය ප්‍රශංසනීයය.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී කළුතර "KNIGHTS" පිල ගෝල් 02 - 01 කින් පරදා මාතර "MARINES" කණ්ඩායමත් කළුතර "ROYAL" පිල ගෝල් 04 - 01 කින් පරාජයට පත් කරමින් හම්බන්තොට "HORNETTES" කණ්ඩායමත් තීරණාත්මක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ තම ප්‍රදේශයට ද කීර්තියක් අත් කර දෙමිනි .

අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර "MARINES" පිල හමුවේ ගාල්ල "STALLIONS" පිල ගෝල් 01 - 00 කින් ද , කළුතර "ROYALS" පිල හමුවේ අම්බලන්ගොඩ "TITANS" පිල ගෝල් 03 - 00 කින් ද, කළුතර "KNIGHTS" පිල හමුවේ බේරුවල "LIONS" පිල ගෝල් 03 - 01 කින් ද, හම්බන්තොට "HORNETTES" පිල හමුවේ මාතර "EAGLES" පිල ගෝල් 03 - 00 කින් ද පරාජය ලැබීය. එහෙත් වෙරළ පාපන්දු ක්‍රීඩාවට ඇති ඇල්ම ඔවුන් වෙතින් මනාව දිස් වීම අනාගත සුබ ලකුණක් සේ හැඳින්විය හැකිය.

Wonder Womens සහ Charlie's Angeles යන දෙපිල අතර පැවැති කාන්තා තරගයේ ජයග්‍රහණය ගෝල් 01 - 00 ක් ලෙස තහවුරු කර ගැනීමට Wonder Womens පිල නියෝජනය කර ක්‍රීඩිකාවෝ සමත් වූහ.

 

 

Comments