මව් රට අතැර බල්ගේරියාවට ක්‍රිකට් ගහන අරවින්ද | Page 2 | සිළුමිණ

මව් රට අතැර බල්ගේරියාවට ක්‍රිකට් ගහන අරවින්ද

ලෝක කුසලාන විස්සයි විස්ස යුරෝපාකරයේ තේරීම් තරගාවලියටත් එක් වෙයි

පිතිකරුවකුට අමතරව වේග පන්දු යවන්නෙක්

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් කියන අරවින්ද වගේ උදාසීන මිනිසෙක් නොවුණු අරවින්ද තමන්ගේ ක්‍රිකට් ජීවිතය අවසන් කළේ 2003 මාර්තු මාසයේ දී යි. එසේ ක්‍රිකට් පිටියෙන් සමුගත් අරවින්දට දැන් වයස 55 ක්. ඒත් පුදුමය කියන්නේ මේ 55 ක් වුණු අපූරු ක්‍රිකට් ක්‍රීඩකයා ගැන අන්තර්ජාලයේ පළවන ප්‍රවෘත්තියක් හේතුවෙන් ඇතිවන විස්මයාර්ථය. ඒ තමයි ‘අරවින්ද ද සිල්වා ආයෙත් ක්‍රිකට් ගහනවා. මේ ගමන ක්‍රිකට් ගහන්නේ බල්ගේරියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට කියන කාරණය.’ ප්‍රවෘත්තිය අපිට ලැබුණේ අනිල් අයියාගෙන් (අනිල් වීරසිංහ). පුංචි සටහනකුත් ඔහු ඒ ගැන තබලා තිබුණා.

ඒ කතාව අහපු ගමන් මට ඇතිවුණේ සතුටේ පරම කෝටිය අත්විඳිනවා වගේ හැඟීමක්. මොකද 'අරා' නැත්නම් අරවින්ද ද සිල්වා කියන්නේ ඇත්තටම පුරාවෘත්තයක්. හුඟ දෙනෙක් දැන් දන්න භාෂාවෙන් කියනවා නම් 'ලෙජන්ඩ්' එකක්. ඉතින් මම ඒ ගැන වඩා විමසිල්ලෙන් සොයා බැලුවේ ඒ නිසාමයි. ඒත් ඇත්තම කතාව අරවින්ද ද සිල්වා ක්‍රිකට් ගහනවා. ඔහු බල්ගේරියාවේ ජාතික කණ්ඩායමටත් ගහනවා. ඒත් ඒ කොහොම ද? අපි බල්ගේරියාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අරවින්ද ද සිල්වා සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වුණා. මේ ඔහු කියපු කතාව. අපි ඔහුගෙන් අහපු කතාව. ඒ කතාවේ සංක්ෂිප්තයක් තමයි මේ.

‘මම අරවින්ද ද සිල්වා. අරවින්ද ද සිල්වා කීවාට තවත් නමක් ඉදිරියෙන් තිබෙනවා. ඒ පින්නදූවගේ නෙවෙයි.’ ඔහු කිව්වා. එහෙනම් මොකක්ද ඒ ඉදිරියෙන් තිබෙන නම? අපි අහන්න පෙරම ඔහු, ‘ඉෂාන්... ඉෂාන් අරවින්ද ද සිල්වා කියන්නේ මගේ නම,’ ඔහු පිළිතුරු දුන්නා.

භාගයක් සිංහලෙන්, භාගයක් ඉං-ගිරිසියෙන් කතා කරන අරවින්ද තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නෙක්. අපේ විශිෂ්ට ක්‍රීඩක අරවින්ද කියන්නේ දැන් 55 වියට එළඹුණෙකුට. ඒත් මේ කියන අරවින්ද ඔහුට වඩා වසර 33ක් වයසින් අඩුයි.

‘අරවින්ද ද සිල්වා කියන නමට මම ගොඩාක් ආදරෙයි. ඒ නම මට දැම්මේ මගේ තාත්තායි අම්මායි. ඔවුන් එහෙම නමක් දාන්න හේතුවුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන්ගේ ලොකුම වීරයා අරවින්ද ද සිල්වා කියන ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වුණු නිසයි. එවැනි විශිෂ්ට නමක් මට දාපු එක ගැන ඇත්තටම මම ආඩම්බරයි.’ ඉෂාන් අරවින්ද ද සිල්වා ජ්‍යෙෂ්ඨ හා විශිෂ්ට අරවින්ද ගැන කිව්වා.

‘අරවින්ද ද සිල්වා කියන නම ලෝකය පුරා නොදන්න ක්‍රිකට් ලෝලියෙක් නැති තරම්. ඒක මට සමහර වෙලාවට සුවි-ශාල ගෞරවයක් ඇති කරලා තියෙනවා. මගේ නම අහලා මගෙත් එක්ක කතාකරන හැ-මෝම මගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි මම විශිෂ්ට

ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්-වාගේ කවුද කියන එකයි. ඒත් ඒ වෙලාවට මට දෙන්න සෘජු උත්තරයක් නම් නෑ. මොකද මම අවුරුදු දෙකහමාරක් විතර වෙද්දීම එංගලන්තයේ පදිංචියට ගිය නිසා. හැබැයි මගේ සීයාගේ මොකක් හෝ ඥාතීත්වයක් ජ්‍යෙෂ්ඨ අරවින්ද ද සිල්වාගේ පවුලට ඇති. ඒත් ඒක මට සෘජුවම කියන්න බෑ. ඒ නිසා මම විශිෂ්ට අරවින්ද ද සිල්වා පවුලේ ඝෘජු ඥාතියෙක් නොවනවා කියලා කියනවා ඇත්තම කියනවා නම් එහෙම ඥාතිත්වයක් තිබෙනවාද කියලා මම නොදන්න බව ඔවුන්ට නොපැකි-ළවම කියනවා.’ කනිෂ්ඨ අරවින්ද ද සිල්වා කීවා.

ඔබ කොහොමද බල්ගේරියානු කණ්ඩායම නියෝජනය කරන්නෙ?

මම ඔහුගෙන් විමසුවේ ඔහු බල්ගේරියානු ජාතික පිලට ආවේ කොහොමද කියලයි. ‘ඒක සිද්ධ වුණේ මම වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් බල්ගේරියාවට සංක්‍රමණය වුණා. එහෙම ඉන්නකොට මම ඉගෙන ගන්න සොෆියා විශ්ව විද්‍යාලයේ ‘සොෆියා මෙඩික්’ කියන කණ්ඩායමට ක්‍රීඩා කරනවා. එහෙම ක්‍රීඩා කරද්දී තමයි බල්ගේරියානු ක්‍රිකට් ආයතනය මට ඔවුන්ගේ ජාතික කණ්ඩායමට එක්වන්න ආරාධනා කළේ,’ අරවින්ද කිව්වා.

‘තව අවුරුදු දෙකකින් ඒ කියන්නේ 2023 ‍ෙවද්දී මගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණයි. ඊට පස්සේ මම යළි එංගලන්තයට යනවා. එහේ ගිහින් වෛද්‍ය වෘත්තීය කටයුතු පටන් ගන්න තිබෙනවා. ඒත් ඒ කාල සිමාව තුළ බල්ගේරියානු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න තමයි මම සූදානමින් ඉන්න,’ ඔහු පැවසුවා.

එංගලන්තයට ගියාට පසුව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දායකත්වය දක්වනවා ද යන්න ගැනත් ඔහු මෙලෙස අදහස් පළ කළා. ‘එංගලන්තයට ගිය කාලෙක ක්‍රිකට් ක්‍රීඩා කරයි. ඒත් පළමු පෙළ ගහන්න තරම් මට අවස්ථාවක් හිමි නොවෙන්න පිළිවන්. මොකද මම දැන් වැඩි බරක් තියන්නේ ක්‍රිකට්වලට නෙවෙයි අධ්‍යාපනයටයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරී අංශයට යන්න මට හැකියාවක් නොලැබෙන බව මම දන්නවා. නමුත් මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි.’ අරවින්ද කියයි.

ඔහුගේ ජීවිතයේ කුඩා සන්ධියේ එංගලන්තය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී බොහෝ සුප්‍රකට ක්‍රීඩකයන්ගේ දරුවන් සමඟ ඔහු ද ක්‍රීඩා කර ඇත. ‘මගේ එක්ක තමයි ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ, මයිකල් වෝන් වගේ සුප්‍රකට ක්‍රීඩකයන්ගේ පුත්තු ක්‍රීඩා කළේ. ඒත් මට වැඩිපුරම උවමනා වුණේ වෛද්‍යවරයෙක් වෙලා ජීවිතයේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැන් ලොකු බලාපොරොත්තු තබාගෙන නෑ. නමුත් මට බල්ගේරියාව නියෝජනය කරන්න ලැබුණු එක ගෞරවයක්. මම ඒ ගැන නම් සතුටුයි.’ ඔහු කියන්නේ සතුටිනි.

ඔහුගේ අධිෂ්ඨානය මානව චාලක හැකියාවන් මෙන්ම අස්ථි සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය-වරයකු වීමයි. ‘ක්‍රීඩාව පැත්තට වැඩිපුර එන්න මේ පැත්තෙන් වැඩකරද්දි මට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි මම තවත් කැමති,’ අරවින්ද ද සිල්වා කියා සිටින්නේ ය.

ඔහුගේ ක්‍රීඩා විලාසය කවරාකාරයේ එකක් ද? වඩා දක්ෂ පිතිහරඹයට ද පන්දු යැවීමට ද යන්න අපි විමසුවෙමු. ‘මම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. දකුණත් මඳ වේග පන්දු යවන්නෙක්. ආරම්භක වේග පන්දු යවන්නෙක් ලෙසයි මම ක්‍රීඩා කරන්නේ. ඒ වගේම දකුණු පිතිකරුවකු වශයෙනුත් කටයුතු කරනවා. මම වේගයෙන් පන්දුවට පහරදීමට කැමති ක්‍රීඩකයෙක්. හිටපු ගමන් අවස්ථාවක් උදාවුණොත් කඩුලුත් රකිනවා,’ ඔහු කියයි.

ඔහු අරවින්ද ගේ ඉරියව් බොහෝ විට නැවත නැවත අධ්‍යයනය කරනු ලබන ක්‍රීඩකයෙකි. ‘මම අරවින්ද ද සිල්වා කියන විශිෂ්ඨ ක්‍රීඩකයාගේ ක්‍රිකට් ඉරියව්, විඩියෝ පට නිරන්තරයෙන්න් අධ්‍යයනය කරනවා. මගේ ගාව ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ ඉනිම්, කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රිකට් ගහද්දී ඔහු ගහපු ආකාරය මේ හැම දෙයක්ම මගේ ළඟ සුරක්ෂිත වුණු විඩියෝ පටයි. මම මගේ විවේක කාලවල ජ්‍යෙෂ්ඨ අරවින්ද ද සිල්වාගේ පිතිහරඹය, ක්‍රීඩා විලාසය ගැන නිරීක්ෂණය කරනවා. ඒ ක්‍රීඩා විලාසය අධ්‍යයනය කරලා මම බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා. ඇත්තම කිව්වොත් කාටවත් ඔහු වගේ විශිෂ්ට පිතිකරුවෙක් වෙනවා කියන්නේ පහසු දෙයක් නොවෙයි. ඔහු ලෝකයේ අති උත්කෘෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මම ඔහුගේ පිතිහරඹයට ආදරෙයි,’ කනිෂ්ඨ අරවින්ද කියන්නේ මුසපත් භාවයෙන් යුතුවයි.

‘දවසක මම ලංකාවට එන්න කැම-තියි. ඇවිත් මගේ මව්බිමේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවන්න උදවු කරන්න කැමතියි. හැබැයි මම ඉස්සෙල්ලාම උපාධිය අවසන් කරලා එංගලන්තයට ගිහින් එහේ කනිෂ්ඨ වෛද්‍යවරයකු වශයෙන් සේවය කළ යුතුයි. ඒත් ශ්‍රී ලංකාවේ උණුසුම මට දරාගන්න අමාරුයි. වරක් මම ඇල්පිටිය ප්‍රදේශයේ සංචාරය කළා. එහෙම ඇවිත් මට උණුසුමෙන් විශාල පීඩාවක් ඇති වුණා,’ ඔහු තම ශ්‍රී ලංකා ගමන ගැන එලෙස අදහස් පළ කළේය.

අවසන අප තහවුරු කරගත්තේ කනිෂ්ඨ අරවින්ද ද සිල්වා යනු අනාගතයේ දවසක නැතහොත් තවත් වසර දෙකක් ගතවීමට පෙර ‘දොස්තර අරවින්ද ද සිල්වා’ වනු ඇති බවය. ක්‍රිකට්වලින් රටට සේවය කිරීම කෙසේ වෙතත් ඔහු තම වෘත්තීය නිපුණත්වයෙන් යමක් කිරීමට සූදාන-මින් ඉන්නා බවය. එසේම ඔහු ක්‍රිකට් වලින් ද සෘජු නොව වක්‍ර සේවාවක නියැළෙමින් සිටියි. ඒ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සේ සැලකිය හැකි, සැලකිය යුතු ජ්‍යෙෂ්ඨ අරවින්ද ද සිල්වා ජාත්‍යන්තරය තුළ යළි යළිත් සිහිපත් කරමින් සිටිනා හෙයිනි. මෙම වසරේ අවසන් භාගයේ බල්ගේරියා ජාතික පිල නියෝජනය කරමින් ඔහු පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යුරෝපාකරයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් තරග වැදීමට සිටින්නේය. ‘ක්‍රීඩා’ ඔහුගේ අනාගත ජීවිතයට හා යහ අරමුණුවලට සුබාසිංශන පළ කරන්නට අමතක නොකළේ ඔහුගේ නමේ පවතින සුවිශේෂත්වය ගැන පවතින ගෞරවය මුසු මිත්‍රත්වය පෙරදැරිවය.

 

Comments