නව අවුරුදු සිරි-නංවන ජන කෙළි | Page 2 | සිළුමිණ

නව අවුරුදු සිරි-නංවන ජන කෙළි

 

සිංහල අවුරුදු සමය සැණකෙළි සමයක්. එහි සුන්දරත්වය වැඩිදියුණු කරන්නේ එකිනෙකා අතර පවතින සම්බන්ධතාවය වැඩිදියුණු කරලා. ඒ වෙනුවෙන් ජන ක්‍රීඩාව, විශේෂයෙන් අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා විශාල පිටිවහලක් වෙනවා.

පංච කෙළිය, ඔළිඳ කෙළිය, නෙරෙංචි ඇදීම, චතුරංග කෙළිය, ගල් පෙළීම, මුදු කිරීම, පොල් නෙළීම, ඉඳි කැඩීම වැනි බොහෝ ක්‍රීඩාවන් අලුත් අවුරුදු ක්‍රීඩා අතර වෙනවා.

පංච කෙළිය

මේ මඟින් සිද්ධ වෙන්නේ සිංහල ජාතියට ආවේණික සන්සුන් බව ගොඩනංවන එක. අවුරුද්දේ අය වැය සංකේතයක් වශයෙනුත් මේ ක්‍රීඩාව යොදාගන්නවා. මේ ක්‍රීඩාවත් පත්තිනි දේවියගේ ක්‍රීඩාවක්. ඇත්තටම කියනවා නම් පංච කියන්නේ ද්‍රවිඩ ජන සංස්කෘතියෙන් එක්වූ ක්‍රීඩා අංගයක් ලෙසින් වැඩි වශයෙන් සැලකෙනවා. මොකද 'ඔන්ඩුව, රෙන්ඩුව' ආදී වචනත් පංච පෙතේ ඇති ද්‍රවිඩ චිත්‍ර ශෛලියත් ඊට වැඩි වශයෙන් ඉවහල් වෙනවා.

පංචා අදින්න කවඩි හයක් යොදා ගන්නවා. අඳින්න ගන්න අය පෙත කොටු විසි පහකින් යුක්තයි. මෙහි 'කොටු ගෙවල' යනුවෙන් හැඳින්වෙන්නේ හතර අතට ඇඳුණු ඉරි. ඒ කොටු ගෙවල්ල ඇතුළේදී ඉත්තෝ කපන්න බෑ. මෙහිදී හැමෝගේම උත්සාහය වන්නේ මැද ගෙදරට කල් තබා එන්නටය. 'ඔන්ඩුව' වැටෙන තුරු සළු නොවන අතර අය අටක් ලැබීමට කවඩි හතරම උඩ අතට හැරෙන්න අවශ්‍යයි. අය පෙතේ රැකගෙන වැය කරන්න මනා දැනුමක් තිබෙන්න ඕනෑ.

මෙතැනදී ස්ත්‍රීන් තමයි මේ ක්‍රීඩාවේ වඩා දක්ෂ වන්නේ. මුලින්ම පංච කෙළිය පටන් ගන්නේ ඔත්තේ ඉරට්ටේ අල්ලලා. පස්සේ පොල්කටුවකට කවඩි දමා සොලවා අනිත් පසට හරවලා ඇති පොල් කට්ටක් උඩට පතිත කරනවා. එවිට උඩුකුරුව වැටෙන කවඩි ප්‍රමාණය තමයි අය වෙන්නේ. දෙපිලම මාරුවෙන් මාරුවට කවඩි දාලා අවසානයේ සියලුම ඉත්තන් මැද ගෙදරට රැගෙන ගිය කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ.

නෙරෙංචි ඇදීම

මේ ක්‍රීඩාව අවුරුදු සමයේ ග්‍රහ ශක්තිය වඩන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව දාම් අදිනවා වගේ ක්‍රීඩාවක් වුණත් ඉත්තන් එළන ආකාරය වෙනස්. පළමුව ඉත්තන් එළන්නා 'මුන්නැඩියා' කියනවා. අනෙකා හඳුන්වන්නේ පින්නැඩියා කියායි. ඉත්තන් තුන්දෙනා එක පෙළට ආවහම නෙරෙංචියක් හැදෙනවා.

පින්නැඩියා විසින් මුන්නැඩියාගේ නෙරෙංචි එළීම වළක්වයි. ඉත්තන් දෙදෙනෙක් එකවර එළන්න බලයක් තිබෙනවා. ඒ විදිහට ඉත්තන් එළන්න ස්ථාන 24 ක් තිබෙනවා. ස්ථාන දෙකක් හිස්. මුළු ඉත්තන් 22 ක් දෙනා එළන්න ඕනෑ. පෙතේ මුල් හතර පමණක් ඉහළට පහළට අදින්න පිළිවන්. එක් අයෙක් නෙරෙංචියක් ලබාගත්තොත් අනෙකාගේ ඉත්තන් කපාගන්න බලය තිබෙනවා. ඉත්තන් කැපීමේදී ඉතා පරික්ෂාකාරී වෙන්න උවමනායි. ඉක්මනින් ඉත්තන් අවසන් වූ පුද්ගලයා පරදිනවා.

චතුරංග කෙළිය

හතර දෙනෙක් කරන ක්‍රීඩාවක් තමයි චතුරංග කෙළිය වෙන්නේ. මේක ස්ත්‍රීන් සඳහා වන පුරාණ ජන ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාව ද ඉතා විනෝදජනකය.

එහිත් කොටු 21 ක් තිබේ. ඒ කොටු පිහිටා ඇත්තේ චතුරස්‍රයකය. මැද කොටුව නාච්චි ලෙස හඳුන්වන අතර කතිර සටහන යෙදූ කොටු ගෙවල් වේ.

එක් අයකුට ඉත්තන් දෙකක් තිබේ. අය ගණන් ගැනෙන්නේ කෙමිඩියේ සිදුරු අනුවයි. 1.3,6,4 කියලා කුඩා සිදුරු කෙමඩියේ තිබෙනවා. අය අනුව ඉත්තන් තියන අතර ඒ ඉත්තෝ විදිහට පාවිච්චි කරන්නේ කවඩි.

ප්‍රථමයෙන් කොටුව මැද ට ඉත්තන් රැගෙන යාමට උත්සාහ කරනවා. මුල් වටේදි ඉත්තා වමට ගිහින් පසු වාරවලදී දකුණට යනවා. අන්තිමට නාච්චි වෙත යන්න නම් තුනක් ගත යුතු නම් ඒ තුනම ගැසිය යුතුයි. එසේ නැතිව ඊට වැඩියෙන් ගසා එයට යන්න නොහැකියි. ඉක්මනට මැදට ගිය පුද්ගලයා ජය ගන්නවා. මේ ක්‍රීඩාවත් උද්‍යෝගමත් වන්නේ ඒ නිසයි.

ගල් පෙළීම

මේකත් ස්ත්‍රීවාදී ක්‍රීඩාවක්. උපකරණ මුකුත් නෑ. එක් ක්‍රීඩාවකට ගල් කැට හය ගානේ අවශ්‍ය වෙනවා. ගල් සියල්ල දෝතට අරගෙන උඩ දමා ගල් බිම වැටෙන්න නොදී රැකගන්නිය තමයි ජයග්‍රාහිකාව වෙන්නේ.

ඉඳි කඩනවා

මේකත් කාන්තා ක්‍රීඩාවක්මයි. සියුම්ව දෑත් ක්‍රියා කරන්න ශක්තිය නිර්මාණය කරන්න තමයි මේවා යොදාගන්නා. පත්තු ගැසීම මෙම ක්‍රීඩාවේ වඩාත් විනෝදෙජනක අවස්ථාව.

ඔළිඳ කෙළිය

මේකත් තරුණියන්ගේ ක්‍රීඩාවක්. පත්තිනි මැණියන්ගේ ක්‍රීඩාවක් කියලයි කියන්නේ. සිංහල රජ කුමරියෝ මේ ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා. උඩරට ස්ත්‍රීන් අතර වර්තමානයේදී ද ඔළිඳ කෙළිය තිබෙනවා. මේ ක්‍රීඩාව පහත රටින් අභාවයට යමින් ඇති බව කිව යුතුයි. මනාව සැරසී පිටියට එන රූමත් තරුණියන් දෙපිලකට බෙදිලා මේ කෙළියේ නිරත වෙනවා. විචාරීමේ පිල, පිළිතුරු දීමේ පිල යනුවෙන් පිල් දෙකක් තිබෙනවා. ඔවුන් අංග චලන සහිතව ගී ගයමින් මේ ක්‍රීඩාව කරනවා.

ඔංචිල්ලා පැදීම

ගමට සාමය සමඟිය කැඳවන ක්‍රීඩාවක් තමයි ඔංචිල්ලා පැදීම. විශේෂයෙන්ම මේකත් වැඩි වශයෙන් කරන්නේ දැරිවියෝ. විවිධ වාරම් කියමින්, සීපද කියමින් වැඩිහිටිටයන් හා තරුණ, තරුණියන් ඔංචිල්ලා පදින කුඩාවුන්ට අත්වැල් අල්ලනවා.

සිංහල අවුරුදු කාලෙ රං ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා, වැල් ඔංචිල්ලා හා බඹර ඔංචිල්ලා වැනි විවිධ ඔංචිල්ලා වර්ග බැඳෙනවා. පැරැණි සාහිත්‍යයේ ඕවිල්ල යනුවෙන් හැඳින්වෙන්නේ මේ ඔංචිල්ලාවටයි.

සමස්තයක් වශයෙන් ගත්තහම පැරැණි අවුරුදු ක්‍රීඩාවල තරගකාරිත්වයක් නෑ. ගමේ විහාරය, දේවාලය , පෙරහරේ විවිධ ක්‍රීඩා දකින්න පිළිවන්. මහනුවර දළදා පෙරහර, කතරගම, මහියංගණය, අලුත්නුවර, රත්නපුර, සමන් දේවාලයේ පවා මෙවැනි ජන ක්‍රීඩා පැවැත්වෙනවා. අලුත් අවුරුදු සමයේ අවුරුදු ජන ක්‍රීඩා උත්සව සංවිධානය වන්නේ එම අවුරුදු උදාවේ උත්සවශ්‍රීය තවදුරටත් ඉහළ නංවමිනුයි. එය අපිට අපේ ජන සංස්කෘතික ක්‍රීඩා ඉතිහාසය යළිත් සිහිපත්වන අවස්ථාවක්.

 

 

 

Comments