කායවර්ධන කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නොවෙයි | සිළුමිණ

කායවර්ධන කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නොවෙයි

 

L.P.I. udaya

මම කායවර්ධන ක්‍රීඩාවට එක්වුණේ ආර්නෝල්ඩ් නිසයි

ශ්‍රී ලංකාවේ තිලක් ජයවීර, අසංක සංජීව, අමෙරිකාවේ ආර්නෝල්ඩ් ස්වර්සෙනගර් සහ ඩිවේන් ජොන්සන් කායවර්ධන ක්‍රීඩාවෙන් මෙරට සහ විදේශයන්හි අතිශය ජනප්‍රිය ක්‍රීඩකයන් කිහිප දෙනෙකි. ඔවුන්ගේ හැකියාවන් නිසා ඔවුනට ප්‍රිය කරන රසික පිරිසකුත් ඔවුන් වටා මෙන්ම මෙම කායවර්ධන ක්‍රීඩාව වටා ද බිහිවිය.

මින් ඇතැම් රසිකයන්ට අවැසි වූයේ තමන්ගේ වීරයන් මෙන් ක්‍රීඩාවෙන් ඉදිරියටම යෑමටයි. එල්.පී.අයි.උදය එවැනි ක්‍රීඩා රසිකයෙකි. එපමණක් ද නොව ක්‍රීඩාවේ නිසි පරිදි නිරත වීම හේතුවෙන් මේ වන විට ජාතික මට්ටමේ අයෝම පුරුෂයෙක් ලෙසට ඉදිරියට පැමිණීමට සමත් වූවෙකි.

ගත වූ වසර කිහිපයක කාලය තුළ දී උදය හිමිකරගත් ජයග්‍රහණ රැසක් ඇත. ඒ අතරින් 2017 වසරේ ආධුනික අයෝම පුරුෂයා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 75-80 බර පංතියෙන් තෙවැනි ස්ථානය හිමිකර ගැනීම, 2018 වසරේ මිස්ටර් කලම්බු තරගාවලියේ කිලෝ ග්‍රෑම් 75 අංශයෙන් සිවුවැනියා වීම, එම වසරේදීම පැවැති කළුතර දිස්ත්‍රික් තරගාවලියේ කි.ග්‍රෑ.80 බර පංතියේ දෙවැනියා බවට පත්වීම, 2017 වසරේ මිස්ටර් වෙස්ටර්න් (බස්නාහිර) පළාත් තරගාවලියේ කි.ග්‍රෑ. 70 බර අංශයෙන් ප්‍රථමයා වීම ආදිය දැක්විය හැකිය.

ඊට අමතරව 2019 මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියේ කි.ග්‍රෑ. 90 බර පංතියෙන් 05 වැනි ස්ථානය ඔහුට හිමිවිණි.

2020 වසරේ 46 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ කළුතර දිස්ත්‍රික් තරගාවලියේ දී ඔහු ප්‍රථමයා වූයේ කිලෝ ග්‍රෑම් 85 බර පංතියෙන් තරග වදිමිනි.

මේ අතර 2021 ජාතික ක්‍රීඩා උලෙළේ බස්නාහිර පළාත් තරගයෙන් උදය ක්‍රි.ග්‍රෑ. 90 අංශයෙන් දෙවැනියා විය.

කොළඹ අශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන උදය ‘ක්‍රීඩා’ සමඟ පැවැත්වූ සුහද සංවාදයේදී ඔහුගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් මෙසේ කීවේය.

“මගේ උපන් ගම රත්මලාන. දැන් පදිංචිය ඉංගිරියේ. මම පාසල් අධ්‍යාපනය ලබන විට වෙනත් ක්‍රීඩාවල නිරත වුණේ නැහැ. ඒ වුණත් කායවර්ධන ක්‍රීඩාව ගැන ආශාවක් තිබුණා. එහි නිරත වූ දෙස් විදෙස් ක්‍රීඩකයන් මගේ වීරයින් වුණා. ඒවා දකිද්දී මට හැඟුණේ ඒ වීරයින් වගේ මගේ සිරුරත් නිසි පරිදි සකස් කර ගත යුතුයි කියායි. ඒ ආශාව මත තමයි මම ක්‍රීඩාවට යොමු වුණේ.” උදය පැවසීය.

ඒ අනුව ඔහු මුලින්ම ෆිට්නස් කිංග්ඩම් ආයතනයට බැදුණි. එහිදී ඔහුගේ මුල් ම පුහුණුකරු වූයේ සංජීව රත්නායක මහතා ය. පසුව ජයන්ත ජයලාල් සහ තරිඳු අමුණුගම යන මහත්වරුන් ගේ පුහණුකාරිත්වය යටතේ උදය තවදුරටත් ක්‍රීඩාව ප්‍රගුණ කළේය. වර්තමානයේ ඔහුගේ පුහුණුකරු වන්නේ හොරණ ජී.කේ.එස්.ආයතනයේ සමන් කුමාර මහතාය.

“කුමන ක්‍රීඩාවක් වුවත් එහි සාර්ථකත්වය ලැබීමට හොඳ පුහුණුකරුවන්ගෙන් ලැබෙන ගුරු උපදේශ අවශ්‍ය වෙනවා. මට එය ලැබුණා.” උදය පැවසුවේ තෘප්තියෙනි.

කායවර්ධන ක්‍රීඩාවෙන් සාර්ථක වීමට නිසි පුහුණුව මෙන් ම කැපවීමත් නිසි ආහාර පාලනයත් අවැසි බව උදයගේ මතයයි. “මම කායවර්ධන ක්‍රීඩාවට යොමු වී වසර ගණනාවකට පසුව තමයි තරගවලට ඉදිරිපත් වුණේ. ඒ 2015 වසරේ සිටයි. ඒ වගේම මම නිතරම ස්වාභාවික ආහාර පාන මත යැපෙන ක්‍රීඩකයෙක්. මම එහෙම කිව්වේ කායවර්ධන ක්‍රීඩාවේ දී ක්‍රීඩකයෝ ක්‍රම දෙකකින් තරග කරනවා. එක් ක්‍රමයක් තමයි ස්වාභාවික ආහාර මත ඒ දේ කිරීම. අනෙක් ක්‍රමය හෝමෝන වර්ධනය කරන ආහාරපාන භාවිතය. ඇත්තටම කියනවා නම් මේ හෝමෝන භාවිතය සඳහා අධික වියදමක් දැරිය යුතු වෙනවා. බොහෝ තරගවලදී මට ප්‍රථමයා වීමට නොහැකි වීමට එයත් බලපෑවා.”

උදය වෘත්තීමය කායවර්ධන ක්‍රීඩකයෙක් නොවේ. හෙතෙම මේ වන විට ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ සේවය කරයි. ‘‘මේ ක්‍රීඩාව මගේ වෘත්තිය නොවෙයි. වෘත්තීය ක්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා වැඩි කාලයක් ගත කිරීමට හැකි වෙනවා. මට එසේ කිරීමට අපහසුයි. මොකද මම මේ ක්‍රීඩාවේ නියැළෙන්නේ ආයතනයට කීර්තියක් වගේම පෞද්ගලිකව මගේ මානසික සතුට වැඩිදියුණු කරගන්න.” හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

කායවර්ධන ක්‍රීඩාව ගැන මෙරට සමාජයේ එක්තරා මතයක් කාලයක් තිස්සේ පවතියි. ඒ ගැන අදහස් දක්වන්නට ඔහු අමතක කළේ නැත.

“ඇතැමුන් තුළ බියක් තිබෙනවා කායවර්ධනය චණ්ඩින්ගේ ක්‍රීඩාවක් කියලා. නමුත් කායවර්ධන ක්‍රීඩකයන්ට සමීපව ඇසුරු කරන අය දන්නවා ඔවුන් එවැන්නන් නොවන බව.”

එසේම සිය ක්‍රීඩා දිවියට බිරියගෙන් විශාල සහායක් ලැබෙන බව උදය පවසයි.

“මම ක්‍රීඩාවට යොමු වුණේ අවුරුදු 18- 19 වයස් කාණ්ඩයේ පසුවෙද්දීයි. බිරියගේ සහයෝගය නිසා තමයි මම ඉදිරියටම ගියේ. සාමාන්‍යයෙන් දවසට මම පැය දෙක හමාරක් පමණ පුහුණු වෙනවා. එසේ වුණත් මීට වැඩි කාලයක් පුහුණු වෙනවා නම් තමයි ප්‍රතිඵල හිමි කරගන්න හැකිවෙන්නේ. මේ ක්‍රීඩාව හරියට කැපවීමෙන් කළොත් හොඳයි. එතැනදී විධිමත් ආහාර පාලනය අත්‍යවශ්‍ය වෙනවා. අත්දැකීම් තුළින් ඉදිරියට යෑමට පුළුවන්. මුල් කාලයේ දී තරගවලින් මම පැරදුණා. පසුව අඩුපාඩු හදාගෙන තරගවලට සහභාගි වුණා. දිගු කාලීනව ක්‍රීඩාවේ නිරත වීම තමයි මගේ අරමුණ වෙලා තිබෙන්නේ.මේ ක්‍රීඩාව සෞඛ්‍යයට වගේම පෞරුෂයටත් හොඳයි.”

 

Comments