ක්‍රීඩා ලෝකයේ කොවිඩ් අවිනිශ්චිතතාව | Page 2 | සිළුමිණ

ක්‍රීඩා ලෝකයේ කොවිඩ් අවිනිශ්චිතතාව

 

වඩා උචිත එන්නත්කරණය ද ?

ජීව බුබුළු තාක්ෂණය ද?

කොවිඩ්-19 වයිරසය ලෝක වසංගතයක් වී අවසානය. ලෝ වැසි සියලු දෙනා එකී වසංගතය සමඟ පොරබදමින් සිටිති. මෙම සටහන තබන මොහොත වන විට ලොව පුරා කොවිඩ් වයිරසය වැලඳුණ ප්‍රමාණය කෝටි දහහතරක් වීමට ආසන්න අගයකට පත්වෙමින් තිබිණි. ඉන් මිය ගිය සංඛ්‍යාව විසිනව ලක්ෂයකට ආසන්නය. ලෝකයේ සියලු සමාජ සංස්ථාවන්ට මරු පහරක් එල්ල කරමින් ඇති මෙම වයිරස තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාව විෂයේ සිදුකෙරෙන බලපෑම ගැන යළි විශේෂයෙන් සිහිපත් කළ යුතුව නැත. එය ඒ තරමටම දැඩි බලපෑමක් බවට පත්ව තිබේ.

ඒ අනුව ලෝක ක්‍රීඩා බලධාරීන් තුළ තර්කයක් නිමැවෙමින් ඇත්තේ මෙම කොවිඩ් වසංගතයට කෙසේ පිළිතුරු සම්පාදනය කළ යුතුද යන්න සම්බන්ධවය. ක්‍රීඩා සංස්කෘතිය බිඳ වැටීමෙන් සිදුවිය හැකි සුවිශාල විපර්යාස, දීර්ඝ කාලීන වශයෙන් ගෝලීයව නිර්මාණය වන අර්බුද සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඔවුහු මේ බව වඩාත් බැරෑරුම්ව සලකන්නට පටන් ගෙන තිබේ.

එන්නත්කරණය

මේ වන විට ලෝකය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත්තේ එන්නත්කරණ ව්‍යාපෘතිය කෙරේ විශ්වාසය තැබීමය. එන්නත ලබාගැනීම මඟින් පසුකාලීනව ඇතිවන සංකූලතා පිළිබඳ ගැඹුරින් නොසලකමින් ලෝකයේ බොහෝ රාජ්‍ය තමන්ගේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම එන්නත් කරණය සිදු කරමින් ඇත.

එන්නත්කරණයෙන් මිනිස් සිරුර තුළ යම් ප්‍රතිශක්තියක් ගොඩනැංවීමට හැකියාව ලැබෙතැයි පරීක්ෂණාගාර මට්ටමින් සිදුකර ඇති පර්යේෂණ මඟින් සනාථ කර ගෙන ඇත. අනෙක් අතට දියේ ගිලෙන මිනිසාට පිදුරු ගසක් වුව සහනයක් වන්නා සේ එන්නත්කරණයේ සාර්ථකත්වය සියයට සියයකින් තහවුරු කර නොමැති වුවත් ඒ කෙරේ අවධානය වැඩිදියුණු කර ගැනීමට සමත්ව තිබේ.

කෙසේ නමුත් මෙම එන්නත ලබාගැනීමට ඇතැම් ක්‍රීඩකයන් තවමත් දක්වන්නේ මැළිකමකි.

බී.බී.සී. පුවත් සේවය දක්වා ඇති ආකාරයට ලෝකයේ බොහෝ ටෙනිස් ක්‍රීඩකයන් තවමත් කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාගෙන නැත. ඒ.ටී.පී. සහ ඩබ්ලිව්.ටී.ඒ. පාලන අධිකාරි විසින් ප්‍රතිශක්තිකරණය ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතත් එන්නත ලබාගන්නා ලෙසට ක්‍රීඩකයන්ට බල කර නැති වීමද විශේෂිතය.

පිරිමි සහ කාන්තා ටෙනිස් ලෝක ශූරයන් වන නොවැක් ඩිජොවික් සහ එලිනා විටොලිනා එන්නත පිළිබඳව සැක සහිත අදහස් දක්වා තිබුණේය.

‘මම එන්නත් කිරීමට විරුද්ධයි.’ යැයි ද පවසා තිබුණේ සර්බියාවේ හා ක්‍රොඒෂියාවේ ප්‍රදර්ශන තරගාවලියකට සහභාගි වන අතරතුරදීය. පසුව අනාවරණය වූයේ ඔහු සහ තවත් ප්‍රමුඛ ක්‍රීඩකයන් තිදෙනෙක් කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බවයි.

පසුව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ, ‘එන්නත්කරණය ගැන මට තිබෙන ප්‍රශ්නය වෙන්නේ කවුරුන් හෝ බලහත්කාරයෙන් මගේ සිරුරට ඇතුළු කරන්න හදනවාට මම එකඟ නෑ කියන එකයි.’ යනුවෙනි.

කෙසේ නමුත් පසුගිය සති කීපයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සෞඛ්‍ය බලධාරීන් එන්නත්කරණයෙන් ඇතිවන සුවිශාල ප්‍රතිලාභ ගැන නිරන්තරයෙන් කතාකළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දක්වා තිබුණේ වෙනස් අදහසකි. මේ බව තහවුරු කරමින් අමෙරිකා එක්සත් ජනපද මියාමි ටෙනිස් තරගාවලියේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී බෙන් රොතෙන්බර්ග් නැගූ ප්‍රශ්නයකට ලෝකයේ අංක අට ටෙනිස් ක්‍රීඩිකා අරිනා සබලෙන්කා (Aryna Sabalenka) පවසා තිබුණේ තමන් එය විශ්වාස නොකරන බවයි. ‘‘එන්නත නිසි පරිදි පරීක්ෂා කරලා නෑ. ඒක හදිසියේ තමයි මේ දෙන්නේ. එහෙම අධ්‍යයනය කරලා බලන්න කාලයකුත් ලැබිලා නෑ.’’ යනුවෙනි.

මේ අතර යුක්‍රේණ ජාතික ක්‍රීඩිකා එලිනා සැවිටොලිනා (Elina Svitolina) පවසා තිබුණේ තම හිතමිතුරන් කීපදෙනෙකුම උපදෙස් දුන්නේ ‘‘ටික කාලයක් දෙන්න. එන්නත කො-හොමද වැඩකරන්නේ කියලා පොඩ්ඩක් විමර්ශනය කරන්න.’’ යනුවෙනැයි පවසා තිබිණි.

මේ සමඟ ජගත් ටෙනිස් බලධාරීන් පවසා තිබුණේ විවිධ කොරොනා එන්නත් හා ඒවා ලබාගැනීමෙන් සැලසෙන වාසි පිළිබඳ ඉදිරි කාලයේදී තම ක්‍රීඩකයන් දැනුවත් කරන බවයි.

‘‘අපි හිතන්නේ මේ එන්නත්කරණයට යොමු-වන්න සියලු දෙනා පෙලඹවිය යුතුයි කියායි.’’ ඔවුහු වැඩිදුරටත් පවසා ඇත.

ජීව බුබුළු තාක්ෂණය

මේ අතර ඇන්ඩ්‍රි රුබ්ලෙව් පවසන්නේ ජීව බුබුළු තාක්ෂණය උපයෝගී කර ගනිමින් තරගාවලියකට සහභාගි වීම වඩා සුරක්ෂිත බවයි. ‘‘මේ වෙලාවෙදි එන්නත ඔබට කිසිම වාසියක් අත්පත් කර දෙන්නේ නෑ. මට තෝරාගැනීමක් තිබෙනවා නම් මම එන්නත ලබාගන්නේ නෑ.’’ ඔහු පවසන්නේ දැඩිවය.

මේ අතර අෂෙලෙයි බාර්ටි සහ නයෝමි ඔසාකා එන්නත්කරණයට කැමැත්ත පළකරන ක්‍රීඩිකාවෝය. සිමොනා හාලීප් එන්නත්කරණය තම මව්බිම වන රුමේනියාවේදී එකී එන්නත ලබාගෙන ඇත්තේ එසේ එන්නත්කරණය සිදුකළ පළමු ටෙනිස් ක්‍රීඩිකාව ලෙසය.

මේ අතර ප්‍රකට ක්‍රීඩක ඇන්ඩි මරේ පවසන්නේ අඛණ්ඩව ක්‍රීඩා කරන්නට නම් එන්නත්කරණය සිදුකළ යුතු තත්ත්වයක් ගොඩනැගෙමින් ඇති බවය.

අමෙරිකා එක්සත් ජනපදයේ බේස්බෝල් හා ජාතික පැසිපන්දු පාලන අධිකාරි එන්නත්කරණය සඳහා තමන්ගේ ක්‍රීඩකයන් දිරිගන්වමින් තිබේ. ඒ ඊට දිරි දීමනා පවා ප්‍රදානය කරමිනි.

ෆෝමියුලා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය බහරේනයේ පැවැත්වෙන පූර්ව තරග සැසියට සහභාගිවන සියලු ක්‍රීඩකයන් එන්නත්කරණය සිදුකළ යුතු බවට දැනටමත් දැනුම් දී ඇත.

පාපන්දු ක්‍රීඩකයන් එන්නත්කරණය සිදුකළ යුතු බවට මීට පෙර ප්‍රකාශ නොවුණද පසුගිය මාසයේ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ගාරිත් සවුත්ගේට් කීවේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමාගැනීම අවශ්‍යව ඇති බවයි. ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා පවතින වගකීම ඉටුකළ යුතුයැයි ද ඔහු පවසා තිබිණි.

මේ අනුව තවමත් ක්‍රීඩා ලෝකය ද එන්නත්කරණය සම්බන්ධයෙන් පසුවන්නේ අවිනිශ්චිත භාවයෙනි. එය එසේ වුවද කෙලෙසින් හෝ අඛණ්ඩව ක්‍රීඩාව පවත්වාගෙන නොයන්නේ නම් ලෝකයේ සමාජ පද්ධතීන් තුළ සිදුවිය හැකි බිඳවැටීම වඩාත් බැරෑරුම් ය. එහෙයින් කොවිඩ් වයිරසයෙන් මිදිය හැක්කේ එන්නත්කරණය යොදා ගනිමින්ද, ජීව බුබුළු තාක්ෂණය භාවිතයෙන්ද යන්න ගැන පවතින සංවාදය පුළුල්ය. එහෙත් මූලික වශයෙන් සිදුකළ යුත්තේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ යහපත් සෞඛ්‍ය පුරුදු වඩාත් පුළුල් කිරීම ය.

 

 

 

Comments