සයිනො ෆාම් එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතියෙන් පසු | සිළුමිණ

සයිනො ෆාම් එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතියෙන් පසු

චීන රජය නිෂ්පාදනය කරන ලද මෙරටට ලැබී ඇති සයිනො ෆාම්  එන්නත මෙරට හදිසි භාවිතය සඳහා  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබුණු පසු මෙරට ජනතාවට එන්නත් කිරීම  සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කළාය.  
 
බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේද අනුමැතිය අනුව එය මෙරට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත්, අනුමැතිය ලැබුණු පසු එය මෙරට කුමන ජන කණ්ඩායමක් ඉලක්ක කරගෙන ලබා දෙන්නේද යන්න අදාළ විද්වත් කමිටු විසින්ද තීරණය කරනු ඇතැයිද ඇමතිවරිය සඳහන් කළාය. 
 
ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග (27/2 ) යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙම එන්නතේ ආරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව අදාළ දත්ත අධ්‍යයනයෙන් පසුව තීරණය කරන බවයි. 
 
එන්නතේ ආරක්ෂිතභාවය තහවුරු කරන තෙක් එය ජනතාවට ලබාදීමට කටයුතු නොකරන බවත් මේ වන තෙක් එය චීන ජාතික ජාතිකයන්ට පමණක් ලබාදීමට කටයුතු කර ඇති බවද ඇමතිවරිය සඳහන් කළාය. චීන රජය ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම එන්නතේ ආයු කාලය වර්ෂ 2023 දක්වා ඇති බැවින් එම කාලය තුළ මෙහි ආරක්ෂිතභාවය තහවුරු කිරීමෙන් පසුව  භාවිතා කිරීමට හැකි වනු ඇති බවද ඇමතිවරිය ප්‍රකාශ කළාය.  මෙම එන්නත් තොගය සඳහා ශීතදාමය  පවත්වා ගනිමින්  ගබඩා කිරීම සඳහා වැය වන පිරිවැය ට අමතරව වෙනත්  පිරිවැයක්  වැය නොවන බවද ඇමතිවරිය කීවාය .
 
(ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න )
 

Comments