වේවැල් කැඩුණු පුටුවේ වක ගසා­ ගෙන මඟ බලා­ගෙන හිටියේ මගේ තාත්තා | Page 2 | සිළුමිණ

වේවැල් කැඩුණු පුටුවේ වක ගසා­ ගෙන මඟ බලා­ගෙන හිටියේ මගේ තාත්තා

  - දම­යන්ති ෆොන්සේකා

 

අම්මා කෙනකුට තාත්තා කෙනකුට සිය දරුවන් තරම් වටිනා වෙනත් දෙයක් නොමැති බව හැඟෙන්නේ ඔවුන් දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනු දකින විටය. ගහකට සෑම මලක්ම එකසේ අලංකාරය එක්කරයි. මවුපියන්ගෙ සිත්වලට දරුවන් ද එසේමය. ජීවිත කාලය පුරා බැඳි යම් යම් සිදුවීම් හේතු කොට ගෙන විවිධ අවස්ථාවල දරුවන් කෙරෙහි මවුපියන්ගේ සිත්වල ඇතිවන හැඟීම්වල වෙනස්කම් සිදුවේ. අද ‘හද බැඳි ගීයෙන්‘ මතක අතර සැරි සරන්නේ දමයන්ති ෆොන්සේකා රංගන ශිල්පිනියයි.

 

"මම දරුවන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක දැරියක් ලෙස ඉපදී අනෙක් දරුවන් සියලු දෙනාටම වඩා වැඩි කාලයක් මවු පිය දෙදෙනා සමඟ නිවසේ ජීවත් වුණා. මගේ විවාහය සිදු වන්නේ වයස අවුරුදු 30 දී. මට පෙර අනිත් සහෝදර සහෝදරියන් දස දෙනාම විවාහ වී වෙනත් කැදලි හදාගෙන නිවෙසින් පිට වුණා.

අම්මා කෙනකුගේ හැඟීම් කියවෙන; නන්දා මාලනියගේ හඬින් ගැයෙන "සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ" ගීතය මගේ ගෙතුළ ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙන හැටි මම මගේ අම්මා තාත්තා ගේ ජීවිතවලින් දුටුවා. ඒ ගීතය ගැයෙන්නේ අම්මා කෙනකු සිය දියණිය නිවෙසින් විවාහ වී පිට වී ගිය පසු අත් දකින අත්විඳින දේවල්. ඒ වචන අම්මා කෙනෙක් තුළින් මතුවන හඬක් වුවත් ඒ ගීතයට, එහි එන අත්දැකීමට වැඩි සමීපකමක් දැක්වූයේ මගේ තාත්තා.

අනිත් සහෝදර සහෝදරියෝ වගේම ශ්‍රියානි අක්කත් විවාහ වී නිවෙසින් පිට වුණා. ඇය නිවෙසින් පිට වූ විට මගේ තාත්තගේ සිහි කල්පනාවේ යම්කිසි බිඳවැටීමක් ඇති වූ බව අපට හැඟෙන්න පටන් ගත්තා. ගීතය තුළ සිය හැඟීම් දිග හරින්නේ මවකගේ චරිතයක් තුළ සිට වූවත් අක්කා නිවෙසින් පිට වී ගිය පසු ඇය එනතුරු මඟ බලා සිටින්නට, ඇගේ ඇඳුම් පැලඳුම් දෙස බලා හූල්ලන්නට හුරුවුණේ තාත්තා. එසේම ඇය කොහේ හෝ යන අවස්ථාවල ඇගේ ගෙදර ඇති ඇති කළ බලු සුරතලා සහ ගෙදර යතුර අපේ නිවෙසට ගෙනවිත් තබා යන්න හුරු වුණා. එසේ තබා යන යතුර පවා වරින් වර අතට ගෙන බලන්න තරම් තාත්තා අක්කා ගැන දැඩි බැඳීමකින් සිතමින් තැවෙමින් ගත කරන අයුරු නිවෙසේ ඉතිරි වී සිටි දියණිය ලෙස මට වඩාත් තදින් අත් දකින්නට ලැබුණා. ඇගේ පිටවීමත් සමඟ අම්මාගේ සහ තාත්තාගේ සිත්වල වූ ඒ බිඳවැටීම තනිකඩ යුවතියක් ලෙස නිවෙසේ සිටින මගේ අනාගතය ගැනවත් නොසිතා කටයුතු කිරීමක් ලෙස මම කිසිවිටෙකත් නොසිතුවේ ඒ හැසිරීම් තුළම මවුපියන් දරුවන්ට දක්වන ආදරය ගැන මට ඉතා හොඳ අවබෝධයක් අත්දැකීමක් ලබන්නට හැකි වූ නිසා.

අක්කාගේ නිවෙසේ යතුර අපේ ගෙදරට ගෙනවිත් තබා ගිය විට තාත්තා විනාඩි කිහිපයකට වරක් හෝ යතුර අතට ගෙන බලනවා. ඔවුන් පැමිණෙනවා ද කියා ගේට්ටුව අසලට ගොස් බලනවා පමණක් නොවෙයි විටෙක ගේට්ටුවෙන් පිටතට පවා බලා සිටිනවා. තාත්තාගේ මේ හැසිරීම පිළිබඳ දන්නා නිසාම ඇතැම්විට ඔවුන් ආපසු පැමිණෙන වේලාව ටිකක් වැඩිපුර ඉදිරියට දමා පවසන්න පුරුදු වෙලා සිටියා. එයට හේතුව නිවැරදි වෙලාව පවසා මිනිත්තුවක් හෝ පමා වුණොත් තාත්තා මඟට පැමිණ අනතුරක් වේවි යන බය. ගීතයේ එක් තැනක තිබෙනවා

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන

කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන

වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන

මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

එතැනදී එසේ පවසන්නේ අම්මා වූවත් ඇත්තටම එහෙම මඟ බලාගෙන හිටියේ මගේ තාත්තා. අම්මට තිබුණේ වෙනත් වුවමනාවක් එයත් මේ ගීතයෙහි අවසන් කොටසේ තිබෙනවා. ඇය හැම මොහොතේම දරුවන් පිරිවරාගෙන ජීවත් වන්නට ආශා කළා. දරුවන් සියලු දෙනාම මැදි කරගෙන සිටීම තරම් සැනසීමක් අම්මාට තිබුණේ නැහැ. අපි බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියා. අම්මටත් කලාව පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබුණා. අපේ රැකියා පිළිබඳ, ඒවායෙහි කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳ අවබෝධයක් ඇයට තිබුණා. නමුත් සිංහල අලුත් අවුරුදු වැනි අවස්ථාවක එකම දවසක දරුවන් එකොළොස් දෙනා ම ඇය වටා එකතු වෙනවා දකින්නට ඇය බලා සිටියා. එවන් මොහොතක එක් අයකු හෝ අඩුවීම ඇයට හිත් රිදීම් ගෙන දුන්නා. වරක් අම්මා අසනීප වී ඇය බලන්නට අප එකොළොස් දෙනාගෙන් නම දෙනෙක් පමණක් පැමිණි විට අනෙක් දෙදෙනා නැති වීම පිළිබඳ ඇය බොහෝ කනගාටුවෙන් සහ යම්කිසි අමනාපයකින් පසු වුණා. එදා සහෝදරයන් දෙදෙනකුට මංගල ඡායාරූපකරණය සඳහා යන්නට සිදුවී තිබුණු බැවින් ඔවුන්ට පැමිණීමට නොහැකි වුවත් ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය දැන ගෙනත් අම්මාගේ හිත රිදුණේ ඇයට හැම මොහොතකම තිබූ අර ආශාව නිසා.

තාත්තා තදින් අසනීප වී සිටි මොහොතක, සිහිකල්පනාව තාත්තගෙන් බොහෝ දුරට ගිලිහී ගොස් තිබූ අවස්ථාවක තාත්තා ශ්‍රියානි අක්කා කෙරෙහි දැක්වූ ආදරය නිසාම ඇයවත් මතක තිබෙනවාද කියා බලන්න අප උත්සහ දැරුවා. ලොකු අක්කා තාත්තා අසලට ගොස් මාව හඳුනා ගන්න පුළුවන් දැයි ඇසූ අවස්ථාවේ තාත්තා පැවසුවේ "ඔව් මේ ශ්‍රියානි නේ" යනුවෙන්. මවුපියන්ට දරුවන් සියලු දෙනාම එක සමානව වටිනවා වුවත් ජීවිතයේ යම් සිදුවීම් මත එක දරුවකු කෙරෙහි වැඩි ඇල්මක් දක්වන්නට හේතු ඇති. ඇතැම්විට දරුවාට තමාව අවශ්‍යම මොහොතක වැඩි අවධානයක් දෙන්නට නොහැකි වූවා යන හැඟීමත් තැවීමක් ලෙස පසුකාලීනව නිතරම ඒ දරුවා පිළිබඳ සොයා බැලීමට හේතුවක් බවට පත්වෙනවා වෙන්නටත් පුළුවන්. නන්දා මාලිනියගේ මියුරු හඬින් ගැයෙන මේ අපූරු ගීතය රචනා කර තිබෙන්නේ සුනිල් ආරියරත්නයන්. ඔහුත් දරුවන් කිහිපදෙනකු සිටින පවුලක සාමාජිකයෙක්. මේ ඔහුගේ අත්දැකීමක් ද කියා නම් දන්නේ නැහැ. නමුත් මගේ නිවෙසේ මගේ ඇස් මානයේ මේ ගීතයෙ සෑම පදයක් ම පාහේ සැබෑ අත්දැකීම් බවට පත්වුණා.

සෑම මවක් පියෙක් ම තමන්ගේ දරුවන් ඇති දැඩි කරන්නේ ඔවුන්ගෙන් සැප සම්පත් හෝ මිල මුදල් බලාපොරොත්තුවෙන් නොවේ. ඔවුන් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවන්ගේ ආදරය සහ අවධානය. බොහෝ දරුවන් තමන්ට කරන්න ඇති රාජකාරි සහ වෙනත් කටයුතු මධ්‍යයේ මවුව්පියන් පිළිබඳ සොයා බලන්නට වෙන් කරන ඉඩ සහ කාලය ඉතාම අවමයි. එබඳු අවස්ථාවල අම්මා තාත්තා කෙතරම් අසරණ වෙනවා සහ දුක් වෙනවා ඇත් ද? දරුවන් එකොළොස් දෙනෙක් මේ ලෝකයට රැගෙන විත් ඔවුන්ගේ ආදරය මධ්‍යයේ ජීවත් වූ ඔවුන් සියලු දෙනාම නිතරම තමන්ට දකින්නට තමන්ගේ ඇසුරේ සිටිනවා නම් කොතරම් වටිනවාදැයි සිතූ අම්මා තාත්තා ඇසුරේ සිටි මට සිතෙන්නේ මවුපියන් වැඩිහිටි නිවාසවල හෝ වෙනත් තැනක අතහැරයාම තුළ ඔවුන් කෙතරම් නම් මානසික පීඩනවලට ලක් වනවා ඇත් ද?

මවුපියන්ට දිය යුත්තේ දහසින් බැඳි පියලි නොව අපේ ආදරයයි. අපි ඔවුන් වෙනුවෙන් වෙන් කරන එකම එක මොහොතක් අප ඔවුන්ට ලබා දෙන එකම එක ආදරණීය වදනක් ඔවුන්ට කෝටි ප්‍රකෝටි ගණනක් වටිනවා විය හැකි බව සෑම දරුවෙක්ම අවබෝධ කර ගන්නවා නම් මවුපියන් ජීවිත කාලය පුරාම සතුටින් තබන්නට දරුවන්ට හැකි වේවි.

Comments