ඇන්ටික් කඩයක මරණයක්! | සිළුමිණ

ඇන්ටික් කඩයක මරණයක්!

 

පරණ බඩු කඩය තිබුණේ කොළඹ 7 ලයනල් වෙන්ඩ් රඟහලේ වේදිකාවේ ය. රඟහල ට ගිය විට පරණ බඩු කඩයේ ගබඩාව හා ඉහළ මාලයේ ඇති විවෘත කාමරය දර්ශනය විය. විවෘත වේදිකාවේ ඉදිරිපිට විශාල ප්‍රමාණයක් රංගධරයන්ගේ භූමිකාවට ඉඩ සලසාදී තිබුණි. මේ වේදිකාවේ තව මොහොතකින් මරණයක් සිදුවන ඉඟියක් තිබුණි. නාට්‍යයේ නම ලෙස ඇන්ටික් කඩයක මරණයක් ලෙස නම් කර තිබීම එයට හේතුවයි.

 

මෙම වේදිකාවේ ම තිස් අට වසරකට පෙර මරණයක් සිදුවෙනු දුටුවෙමි. එම මරණය ම අවස්ථා ගණනාවකදී නැවත නැරඹුවේ මරණයක රසයක් දැකීමට නොව පරම්පරා දෙකක ගැටුම නිර්මාණාත්මකව ගොඩනගා තිබූ බැවිණි. එහිදී පුතකු විසින් පියකු ඝාතනය කරන අනූවේදනීය සිදුවීම කාව්‍යමය හා නාට්‍යමය ඇසුරින් ගොඩනගා තිබුණි. එම අවස්ථාවේ වේදිකාවේ සංගීත කණ්ඩායම අසුන් ගන්නා ස්ථානය වැසීමට කුඩා තිරයකට අමතරව කිසිවක් නොවීය. 1961 දී නිෂ්පාදිත එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයට දැන් වසර හැට කි.

මේ වසර හැට පුරා වේදිකාවේ මෙන් ම සමාජ ආර්ථිකයෙත් දේශපාලනයේත් කලාවේත් අධ්‍යාපනයේත් සිදුවූ වෙනස්කම් බොහෝය. සතයේ වටිනාකම නැත්තට ම නැතිවී ගිය අතර රුපියලේ වටිනාකම ඩොලරය විසින් පහත දමා පාලනය කර තිබුණි.

නොවෙනස් වූ සමාජ පරිහානියේ අසුන්දර කතාන්දරය කලාත්මක ලෙසින් කළ ඉදිරිපත් කිරීමක් ඇන්ටික් කඩයක මරණයක් ලෙස නම් කළ හැකිය. එය වේදිකා නාට්‍ය ක්ෂෙත්‍රයේ නැවත ඉපදීමක් ලෙසද හැඳින්විය හැක.

අශෝක හඳගම ඔහුගේ රංග කාර්යයක් ලෙස මෙම නාට්‍ය ගොඩනගන්නේ වසර තිහකට පසුවයි. ඒ අතර තුර ඔහු විසින් අක්‍ෂරය නමැති සිනමාපටයක් නිර්මාණය කළ අතර ඔහුගේ නිර්මාණ අතර එහි විශේෂත්වයක් තිබිණි.

මා දුටු මාර්තු 20 දින නාට්‍යය ඊට පෙර දිනවත් පසු දිනවත් රංග ගත වූ නාට්‍ය නොවේ. එය ගලා යන ගංගාව මෙනි. වෙනස් ය. මූලික පිටපත, සංගීත ස්වර පිටපත හා ශිල්පීන් සියල්ලම එක වුව ද ඒ නාට්‍ය දර්ශන ත්‍රිත්වය කි. අප සාකච්ඡා කළ යුත්තේ නාට්‍යයේ පෙළ රචනය යි. දෘෂ්‍ය කාව්‍යයේ රූපමය චිත්‍රයයි. රැගෙන ආ නව්‍ය වූ ශිල්පීය සජීවී රූපාවලිය යි. සරලව කිව්වොත් එදින දුටු නාට්‍යමය අත්දැකීම යි. එය සමාජ සෝදාපාළුවේ වර්තමාන පැති කඩ වී තිබුණි. එය අපුරු නාට්‍යමය අත්දැකීමකි.

ලිංගිකත්වය මූලික වූ මිනිස් ගතික ස්වභාවය තුළ ලිංගික අතකොලුවක් බවට පත් වූ මනුෂය ඝාතනයක් සම්බන්ධයෙන් පරිවාසගතව ගත කළ තරුණයාගේ මානසික ගැටුම එක් පසකින් ගමන් ගනී. එම තරුණයාගේ මානසිකත්වය පිරිහී ගිය කල ඔහුගේ වත්කම හා දේපළ බල රහිතවේ. එවායේ වටිනාකමක් නොපෙනෙන අතර නොදැනේ. නිදහස් වූ ඔහුට කතාබහ කිරීමට, තමාට කීමට ඇති දේ ඇසීමට කිසිවෙක් නැත. කොතරම් පරිවාස ගත වූවද පුනරුත්තාපනය වීමට ඉඩ නොසලස්වා දූෂණයට ලක් වූ තරුණයාගේ ශෝකාන්තය විසින් ඔහුව නැවත ඝාතකයකු බවට පත් කරයි. දූෂිත සමාජයක් විසින් පුද්ගලයන් පුනරුත්ථාපනය කළ නොහැකි වග හඳගම ප්‍රශ්න කරයි.

මවක් නොමැතිව සමාජගත වන දියණියකගේ විලාපය තවත් දුක්ඛිත කතාන්දරයකි. උසස් අධ්‍යාපනය නමැති ඉලක්කයේ ගත කරන ඇගේ තාරුණ්‍යයේ ගොඩනැගෙන ස්වෛරී ස්ත්‍රී ස්වාධිපතිත්වය යටතේ ආරක්‍ෂකයෙක් එම වට පිටාවෙන් සොයා ගනී. ඔහුව පාවිච්චි කරන ඇය යම් සංදිස්ථානයකදී ඔහුව අතහැර දමන්නීය. එය ඔහුට වාවා ගතනොහැකි තත්ත්වයකට පත්වෙමින් පාරාජිතයකු වේ. මේ පරාජිතත්‍වය ම ඔහුගේ ජීවන ගමන තීරණය කරවයි.

බිරිදක් රහිත ව ගත කරන පරණ බඩු කඩේ පාලකයා පරණ බඩු හා ජීවිතය ගත කරයි. සියලු දේ විකිණෙන සමාජයක මිල මුදලින් සෑම දෙයක් දෙස ම බලන තත්ත්වයට පාලකයා පත් ව ඇත. තම පවුලේ අභිවෘද්ධිය දෙස බලන්නේ ද වත්කම ශූන්‍ය වූ තරුණයාගේ වත්කමට මිල නියම කරමිනි. සියලු අරමුණු ඔහු අභිමුව විනාශව ඇත. තම දියණිය හා තම ආයතනය පිළිබඳව බලාපොරොත්තු දියවන ඔහුට ඉතිරිව ඇත්තේ සියල්ලන්ටම ද්වේෂ කිරීමට පමණි.

ආත්මාර්ථය ඉහවා ගිය කළ සියල්ල ශූන්‍ය වේ.

සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුනි ශාරදා හා ස්ටෙෆාන් තිරිමාන්න වේදිකාවේ නොසිටිමින් ඔවුන් රඟන චරිත පමණක් ප්‍රේක්‍ෂකයා අභිමුව තම රංග කාර්යය ඉටුකළ බව පැසසුමට ලක්විය යුතුය. ඒ අතරත් පසන් රණවීර හා නිපුනි ශාරදා ගේ රංග කාර්යභාරය මෑත ඉතිහාසයේ අමතක නොවන අද්විතීය රංගනයක් බව සටහන් නොකළහොත් එය ඔවුන් දෙපළට කරන අගෞරවයකි.

චින්තන ජයකොඩිගේ සංගීතය ද බිමල් දුෂ්මන්තගේ නිර්මාණ දායකත්වය ද හඳගමගේ රංග කාර්යය සාර්ථක කිරීමට ඉවහල් ව තිබුණි. ඉදිරියේදී තවත් ඔප දැමූ නාට්‍යයේ දිස්නය දැක ගත හැකි වන්නේ හඳගම විසින්ම නාට්‍ය තමාගේ නොවන අයුරින් දැකීමෙනි. එවිට එහි අමුතු හැඩයක් ඔහුටම දැකිය හැකිය. නාට්‍යය විවිධ පුද්ගලයන් කියවන්නේ විවිධ කෝණීය ව ය. ඔවුන් සියල්ලගේ දැක්ම ඔවුනොවුන්ට සාපේක්‍ෂ වේ. කෙසේ නමුත් හඳගමගේ නාට්‍ය හඳගම ට පිටස්තරයකු ලෙස දැකීමට හැකිනම් ඉදිරියේ දී මීටත් වඩා ඔපවත් වූ දර්ශනයක් ප්‍රේක්‍ෂකයන්ට දැක ගත හැකි වනු ඇත.

Comments