අහිමි වීම් මැද හිමිකම සොයා ගිය මිනිසකුගේ කතාව | සිළුමිණ

අහිමි වීම් මැද හිමිකම සොයා ගිය මිනිසකුගේ කතාව

නොසැලෙන අධිෂ්ඨානය යථාවේ ප්‍රතිෂ්ඨාපනයක්

තමන් ආදරය කරන පවුලේ අයගේ සිට තමන් ප්‍රේම කරන යුවතිය දක්වා සමාජයේ සෑම පුද්ගලයකු ම ඔබට කිසියම් දෙයක් කිරීමට නොහැකි යැයි පැවසුවහොත්, ජයග්‍රහණය සඳහා උත්සාහ කරන සෑම අවස්ථාවක ම ඔබ පරාජිතයෙක්, කාලය නාස්ති කරන්නෙක් යැයි පැවසුවහොත්, ඔබට කුමන ආකාරයක හැඟීමක් දැනේවිද?

ඔව් ඇත්තෙන් ම එය විශාල මානසික පීඩනයක්. නමුත් ඒ සියලු පීඩනයන්, නින්දා, අපහාස, පසුතැවීම්, රිදවීම්, වෙන්වීම්, පරාජයන් එකක් පසුපස එකක් පැමිණියත් කිසිදින අත් නොහරින ලද අධිෂ්ඨානයත්, කැපවීමත් ඇත්නම් ඒ සියලු අභියෝග ජය ගැනීමට හැකියාවක් ඇත. රූඩි රූටිගර් යනු එවැනි නින්දා, අපහාස, රිදවීම්, පසුතැවීම් හමුවේ තම ක්‍රීඩා සිහිනය ජයගත් එක් තරුණයෙකි.

ඩැනියෙල් ඉයුජින් රූඩි රූටිගර් 1948 අගෝස්තු මස 22 වැනි දින දරුවන් 14 දෙනකුගෙන් යුත් පවුලේ තුන් වැන්නා ලෙස අමෙරිකාවේ ඉලි-නොයිස් හි උපත ලැබීය. කුඩා කළ සිට කිසියම් රෝගයක් නිසා ඉගෙන ගැනීමට දක්ෂයකු නො-වූවත් අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවට හෙතෙම දැඩි ලෙස ඇලුම් කළේ ය. කෙසේ නමුත් අධ්‍යාපනය හැදෑරීමේ අරමුණින් රූඩි, ජොලියට් කතෝලික උසස් පාසලට ඇතුළත් වූ අතර එහි දී ප්‍රසිද්ධ පාපන්දු පුහුණුකරුවකු වූ ගෝර්ඩ් ගිලෙස්පී යටතේ සිය පුහුණු වීම් කටයුතු සිදු කළේය. ඔහුගේ එක ම අරමුණ වූයේ නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පාපන්දු ක්‍රීඩාවේ නියැළීම වුවත් ඔහු උසස් පාසලෙන් ලැබූ අධ්‍යාපන ප්‍රතිඵල ඒ සඳහා ප්‍රමාණවත් නොවූ නිසා බලාගාරයක වසර 2ක කාලයක් සේවය කිරීමට සිදු විය. එහි දී සිදු වූ අනතුරකින් ඔහුගේ හොඳම යහළුවා මිය යෑමත් සමඟ රූඩි නැවතත් සිය සිහිනය හඹායාමේ තීරණයට එළැඹිණි.

මේ කාලය තුළ ඔහු නැවතත් හෝලි ක්‍රොස් විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබූ අතර එහි දී එක් කොන්දේසියකට ඔහුට යටත් වීමට සිදු විය. එනම්, එක සෙමෙස්තරයකට හෝ ලකුණු අඩු වුවහොත් පල්ලියෙන් ලැබූ ශිෂ්‍යත්වය අහිමි වීමයි. මේ නිසා රූඩිට දිවා රූ නොබලා මහන්සි වීමට සිදු විය. ඒ අතරතුර ඔහු නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලයේ පාපන්දු කණ්ඩායමට ඇතුළත් වීම සඳහා හැකි සෑම අවස්ථාවකම ස්වයං පුහුණුවීම් කිරීම සහ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීම සිදු කළේය.

නමුත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සිට, යහළු යෙහෙළියන්, සිය පෙම්වතිය පවා කියා සිටියේ පාපන්දු ක්‍රීඩකයකු වීමට ඔහු යොදවන කාලය අපරාධයක් බව යි. එහෙත්, සිය අරමුණ වෙනුවෙන් දිවා රෑ කැපවන රූඩි හට සිය පෙම්වතිය ද අහිමි වීම සිදු වේ. මේ සියලු අහිමි වීම් හමුවේ ඔහු තම අරමුණ වෙනුවෙන් කැප වෙමින් කටයුතු කළේය. විටෙක නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලයේ පාපන්දු පිටියේ සුළු සේවකයකු ලෙස සේවය කිරීම ද, තවත් විටෙක නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලීය පාපන්දු කණ්ඩායමේ ස්වේච්ඡා සේවකයකු ලෙස කටයුතු කිරීම ද සුවිශේෂි ජීවන මං සලකුණකි.

අවසානයේ සියලු බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ඔහු 1974 වර්ෂයේ දී නොට්‍රඩෑම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු බවට පිළිගනු ලබයි. එහෙත් ඉන් ඔහුට ඉදිරිපත්වන අභියෝග අවසන් වන්නේ නැත. ඒ විශ්වවිද්‍යාලය තුළ පාපන්දු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සියල්ලම අඩි 6 හෝ ඊට වඩා උසින් යුත් ජව සම්පන්න තරුණයන් වද්දී ඔවුන් හා තරග වැදීමය.

නමුත් රූඩි යනු අඩි 5යි අගල් 6ක් උස කිලෝග්‍රෑම් 165ක් පමණ බරින් යුත් කුඩා ශරීරයක් හිමි තරුණයෙකි. නමුත්, ඔහුගේ සිහිනය කිසි දිනක තම ශරීරයේ ප්‍රමාණයට පරාජය කිරීමට ඔහු ඉඩ ලබා නොදුන්නේ ය. සෑම පුහුණුවීම් වාරයකදීම තැලීම්, රිදවීම්, තුවාලවීම් සිදු වුණත් දිනෙන් දින ඔහුගේ සිහිනය වෙනුවෙන් පුහුණුවීම් සිදු කළේය.

අවසානයේ ඔහුගේ උත්සාහය ජය ගත්තේය. 1974 වර්ෂයේ දී නොට්‍රඩෑම් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වූ පර්සෙගියන් ඉවත් වී ග්‍රීන් බේ පැකර්ස් හි හිටපු පුහුණුකරුවකු වූ ඩෑන් ඩෙවින් ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් විය. ඔහු රූඩිගේ දැඩි කැපවීම සහ උනන්දුව තේරුම් ගෙන 1975 වර්ෂයේ නොවැම්බර් මස 08 වැනි දින ජෝර්ජියා ටෙක් සමඟ පැවති තරගයට ඉදිරිපත් වීමට රූඩිට අවස්ථාව ලබා දුන්නේය. ඔහු එම තරගයේ දී ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඒ කැපවීම වෙනුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයන් ද

එක සේ පෙළ ගැසුණේය. නොට්‍රඩෑම් ක්‍රීඩා ඉතිහාසයේ කණ්ඩායමක් විසින් තම ක්‍රීඩකයකු තරගයකින් පසුව ක්‍රීඩා පිටියේ ඔසවා ගෙන් ඔල්වරසන් නැඟූ පළමු අවස්ථාව භූක්ති විඳීමට රූඩිට හැකි විය.

මහන්සිය, කැපවීම ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව රූඩි ලොවට පසක් කළේය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව රූඩි, තම ජීවිත කතාව අලළා ග්‍රන්ථ ත්‍රිත්වයක් නිර්මාණය කළේය. එනම්, Rudy’s insights for winning in life, Rudy’s lessons for young Champions සහ Rudy and Friends එම ග්‍රන්ථ වේ. පසුව 1986 දී ඉන්දියානා ප්‍රාන්තයට ගොස් ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට තීරණය කළේය. ඔහුගේ ඒ ජීවන චරිතයට 1993 වර්ෂයේ දී එවක ජනප්‍රිය නළුවකු වූ ෂෝන් ඇස්ටින් විසින් පණපොවමින් Rudy (1993) චිත්‍රපටිය බිහි විය. මෙහි පිටපත ඇන්ජලෝ පීසෝ විසින් සිදු කරන ලද අතර අධ්‍යක්ෂණය ඩේවිඩ් ඇන්ස්පෝ විසින් සිදු කරන ලදී. 1993 ඔක්තෝබර් මස 15 වැනි දින මෙය ප්‍රථම වරට තිරගත විය.

රූඩි පසුකාලීනව ජනප්‍රිය ක්‍රීඩා අභිප්‍රේරණ කථිකයකු බවට පත් විය. මෙම චිත්‍රපටියේ තවත් විශේෂත්වයක් වන්නේ 1940 වසරෙන් පසුව නොට්‍රඩෑම් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් විශ්ව-විද්‍යාල භූමියේ සිනමාපටයක් තිරගත කිරීමට අවසර ලබාදුන් පළමු අවස්ථාව එය වීම යි. මෙය 2005 වසරේ දී එතෙක් මෙතෙක් බිහි වූ හොඳම ක්‍රීඩා චිත්‍රපට 25 අතරට ද එක් විය. අධිෂ්ඨානය, කැපවීම, උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව රූඩි ලොවට පසක් කළේය.

Comments