ශාන්තව මර­ණ­යට මුහුණ දුන් මාධ්‍ය­වේ­දියා | සිළුමිණ

ශාන්තව මර­ණ­යට මුහුණ දුන් මාධ්‍ය­වේ­දියා

පත ලබන සෑම මිනිසකුට ම මරණය උරුම වෙයි. එය පොදු ධර්මතාවයි. එහෙත් මරණය අප සොයා එන්නේ කවර මොහොතක ද කියා කිසිවෙකු දන්නේ නැත.

නමුත් අද හෙටම තමන් මියයන බවත් වෛද්‍ය ප්‍රතිකාරවලින් හෝ සුව කළ නොහැකි බවත් හොඳින්ම දැනගෙන සතුටින් ජීවත්විය හැකි මිනිසුන් සිටීද යන්න සිතාගත නොහැකිය.

නමුත් එවැනි මිනිසකු සිටියේය. ඔහු ටික දිනකින් තමන් අනිවාර්යයෙන් ම මියයන බව දැන දැන සතුටින් ජීවත් වූයේය. අන් අය සමඟ සිනාමුසු මුහුණින් කතා කළේය. පිළිකා රෝගයෙන් විඳි පීඩාවත්, ඉන් ගැලවීමට ගත් උත්සාහයත්, එය අසාර්ථක වූ විට සියල්ල අතහැර මරණයට මුහුණ දෙන ආකාරයත් අන් අය සමඟ බෙදා හදා ගත්තේය. ඔහු ඉතා ශක්තිමත් හා නිරවුල් මනසකින් යුතුව තමන් සොයා පැමිණෙන මරණයට මුහුණ දුන්නේය.

මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ බන්දුල ජයසේකරය. ඔහු මාධ්‍යවේදියකු ලෙස ආයතන ගණනාවක කටයුතු කළ අතර කලක් ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කළක් කටයුතු කළ හෙතෙම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරය දැරූ 2011 වර්ෂයේ සිට මාධ්‍ය අධක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කළේය. රෝගාතුරවන විට හෙතෙම සිරස නිවුස්ෆස්ට් ආයතනයේ උපදේශකවරයෙක් වශයෙන් සේවය කරමින් සිටියේය. බන්දුල මාධ්‍යවේදියකු පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රිකයකු ද වූයේය.

නමුත් නොසිතූ ලෙස බන්දුල හදිසියේම රෝගාතුර විය. ඔහු පරික්ෂා කළ වෙද්‍යවරු කීවේ ඔහුට රුධිරගත පිළිකාවක් වැලඳී ඇති බවයි. එය සුවකළ නොහැකි වුව ද යම් තරමකින් හෝ ජීවිත කාලය දිගු කරගැනීමට නම් ඇට මිදුළු බද්ධ කිරීමට අවශ්‍ය විය.

ඔහු තමන්ගේ රෝගය පිළිබඳ මෙසේ කියා තිබිණි.

“මට පිළිකාවක් කියලා දැනගත්තු වෙලාවේ හරියට දුක හිතුනා. හිතවතුන් එක්ක මම ඇඬුවා. ඇටමිඳුළු බද්ධ කිරීමට මම තෝරාගත්තේ සිංගප්පූරුව. 2019 දී මම එහි ගියා. නමුත් ලොකු වියදමක් නිසා සල්ලි හොයාගන්න නැවත ආවා. ගොඩක් අය උදවු කළා. මුදල් එකතු කළා. මට ශරීර පටක දෙන්න හිටපු කෙනාට අවුරුදු 25කට කලින් මොලේ ඉදිමීමක් තිබුණා කියා දැනගත්තා. ඒ නිසා වෙන කෙනෙක් හොයාගන්න වුණා. ඒ අතර කොරෝනා ඇවිත් සිංගප්පූරුවත් ශ්‍රී ලංකාවත් වසා දැමුවා. මේ නිසා මගේ ප්‍රතිකාරය ප්‍රමාද වුණා.”

පසුව ඔහු නැවත සිංගප්පූරුවට ගියද ප්‍රතිකාර සඳහා සිදුවූ ප්‍රමාදය හේතුවෙන් පිළිකාව ලියුකේමියා තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව එහිදී වෛද්‍යවරු ඔහුට පැහැදිලිකර දුන්නෝය. මේ නිසා බන්දුල තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවකළ නොහැකි රෝගියකුගේ තත්ත්වයට පත්ව තිබිණි.

එවැනි රෝගීන් සඳහා කරන්නට කිසිවක් නැත. නිවසට ගෙන ගොස් මියයනතුරු රැකබලා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

බන්දුලගේ අවසන් කාලය ගතකළේ ගාල්ල කරා­පි­ටිය රෝහලේ 65 වන වාට්ටුව හෙවත් සහන සත්කාර සේවා මධ්‍යස්ථානයේ මෙසේය.

නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙවැනි රෝගීන් සඳහා අපූරු මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. එය තරු පන්තියේ හෝටලයක් වැනි ස්ථානයකි. තවදුරටත් ප්‍රතිකාර කර ජීවිතය බේරාගත නොහැකි රෝගීන් සඳහා “සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය” ලෙස එය පවත්වාගෙන යයි. මෙය කරාපිටිය රෝහලේ 65 වැනි වාට්ටුවයි.

රෝහලට අයත් වාට්ටුවක් වුව ද ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක මෙවැනි සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් පිහිටා නැත. තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් මරණයෙන් බේරාගත නොහැකි වූ රෝගීන් රැකබලා ගනිමින් ඔවුන්ට කායික හා මානසික සුවය සැපයීමේ අරමුණෙන් මේ මධ්‍යස්ථානය බිහිකරන ලද්දේ පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරාගේ සිතට නැගුණු සංකල්පයක් අනුවය.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පිළිකා රෝගින් සුව කළ නොහැකි තත්ත්වයට පත්වූ විට ඔවුන් විඳින වේදනාවන් හා මානසික පීඩනයන් තේරුම් ගෙන මෙවැනි මධ්‍යස්ථානයක් ඉදිකළ යුතු යැයි තීරණය කර තිබිණි.

නමුත් ඒ සඳහා රෝහලෙහි ඉඩක් තිබුණේ නැත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද තිබුණේ නැත. ඒ අවස්ථාවේ ඔහුගේ සහයට වූයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාම අනුශාසකත්වය දැරූ පිළිකා සංගමයයි. පිළිගා සංගමයේ ගාල්ල ශාඛාව සහන සත්කාරක අරමුදල නමින් අරමුදලක් පිහිටුවන ලද්දේ වෛද්‍යවරයාගේ සිතෙහි ඇති වූ මේ සිහිනය යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණෙනි. බන්දුලයන්ගේ ජීවිතයේ අවසන් මාසයක පමණ කාලය ගත වූයේ මේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයේය. ඔහු ඒ ගැන මෙසේ කියා තිබිණි.

“මේ මධ්‍යස්ථානය නවීකරණය වූ පුංචි හෝටලයක්වගේ. එහි කටයුතු මෙහෙයවමින් නායකත්වය දෙන්නේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා. මම මෙතැන ඉන්නේ බොහොම සතුටින්. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ඉතාමත් හොඳින් අපට සත්කාර කරනවා. රැකබලාගන්නවා. මේ වගේ තැන් රටට තවත් අවශ්‍යයි. අපේ ජනතාව මේ ගැන දන්නේ නැහැ. මම ඉල්ලනවා මේ ස්ථානය ගැන සියලුදෙනා දැනුම්වත් කරන්න කියලා.”

ජයසේකර තමන් හමුවට ආ මාධ්‍යවේදීන්ට හිතවතුන්ට සිංගප්පූු‍රුවේ පිළිකා රෝගින්ට ප්‍රතිකාර කරන ක්‍රමවේදය හා ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය පිළිබඳව ද පවසා තිබිණි.

“අපේ රටේ වෛද්‍යවරු උත්සාහ කළේ ‍ඖෂධ ප්‍රතිකාරවලින් සුව කරන්න. නමුත් සිංගප්පූරුවට ගියාම මෙහෙන් මට දීපු ඇතැම් ඖෂධ අඩු කළා. මට කැමති දෙයක් කන්න කිව්වා. මම එහේ යනවිට හරියට කතා කරන්නවත් බැරිව හිටියේ. නමුත් ටික දිනකින් වෙනස් වුණා. අපේ රටේ වෛද්‍යවරු ඖෂධවලට යොමුවුණත් ඖෂධවලින් හැමදේම වෙන්නේ නැහැ. ඇටමිදුළු ප්‍රදානය කරන්නන්ගේ ලේඛනයක් අපේ රටේ නැහැ. නමුත් සිංගප්පූරුවේ තියෙනවා. මේ වගේ අඩු පාඩු අපි හදාගන්න ඕනෑ. අපේ ප්‍රතිකාර සහ පහසුකම් අපි වැඩිදියුණු කරන්න ඕනෑ.”

තමන් පිළිකා ‍රෝගය හේතුවෙන් ටික දිනකින් මියයන බව හොඳින්ම දැන සිටි බන්දුල තමන් වැනි රෝගීන් පිළිබඳව මෙසේ කීවේය,

“මට සිංගප්පූරු යන්න මිලියන 15ක පමණ මුදලක අඩුවක් තිබුණා. මගේ ස‍හෝදරයා කිව්වා කොහොම හරි හොයාගමු කියලා. මාධ්‍ය සඟයන්, මාධ්‍ය ආයතන, රූපවාහිනී වැඩසටහන්වලින් උදවු කළා. මට මේ මුදල් සොයාගැනීමට ශක්තියක් තිබුණත් අපේ රටේ බොහෝ රෝගීන්ට ඒ හැකියාව නැහැ. බෙහෙත් වර්ග මිල අධිකයි. ඒ නිසා පිළිකා රෝගීන්ට රජය පූර්ණ මැදිහත්වීමෙන් අවශ්‍ය‍ බෙහෙත් වර්ග සපයා දිය යුතුයි කියලා මම අදහස් කරනවා. ඇතැම් පුද්ගලයන් තමන්ට පිළිකාවක් තියෙන බව පවා නොදැන මිය යනවා. මට මුදල් ප්‍රදානය කළ අය නොසිටින්නට, මට සිංගප්පූරුවට යන්න ලැබෙන්නෙ නෑ.. පෞද්ගලික රෝහල්වලත් මුදල් අය කිරිම් වැඩියි. ඒ සම්බන්ධයෙන් රජයෙන් පාලනයක් හා මාර්ගෝපදේශ තිබිය යුතුයි. අපේ බහුතරයක් මේ රෝගය ගැන දන්න් නැහැ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. මහරගම සිට සෑම රෝහලකම මේ රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රතිකාර ඒකක වෙනස් විය යුතුයි.”

බන්දුල තමන් මියයන බව දැන දැනත් ජීවිතයට ඉතාමත් හොඳින් මුහුණ දුන් බවද සිකුරාදා අලුයම 1.30ට පමණ ඔහු ජීවිතය හැර ගිය ද ඊ‍ට පෙර දිනයේ දී ද කතා කරමින් සිටි බවත් සිතේ සතුට රඳවාගෙන යහපත් මනසකින් මරණයට මුහුණ දුන් බවත් ඔවුහු පවසති. වෛද්‍ය ක්‍රිසන්ත ද නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ගිහාන් පියසිරි ද බන්ධුල මියයන මොහොතේ ඔහු අසලින් සිටිමින් ඔහුගේ වේදනාව අඩු කිරීම සඳහා සහාය වූහ.

“දිනපතා, එදිනෙදා ජීවිතය ගැන සිතා පූර්ණ සන්තුෂ්ටියෙන් ජීවිතය ගෙවන්න. තරගකාරී බවට හෝ සිත් රිදවාගැනීම්වලට හෝ එළඹෙන්න එපා. එයින් සිදුවන්නේ ඔබේ ලේ උණුසුම්වීම පමණයි.” යැයි කියූ ඔහු නික්ම ගියේය.

බන්දුල ජයසේකරගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කළ අතර, අවසන් කටයුතු මාර්තු 6 සෙනසුරාදා හවස 3 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

 

Comments