වික්‍ර­මා­රච්චි වෙද රාලහාමි වසර 92 කට පෙර දැල්වූ ප්‍රදීපය 16 වැනි සරසවිය බවට පත්වූ වගයි... | සිළුමිණ

වික්‍ර­මා­රච්චි වෙද රාලහාමි වසර 92 කට පෙර දැල්වූ ප්‍රදීපය 16 වැනි සරසවිය බවට පත්වූ වගයි...

ශ්‍රී ලංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවමු පෙරළියක් ඇති කරමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තව දුරටත් පුළුල් කරමින් පසුගියදා තවත් විශ්වවිද්‍යාලයක් නිදහස් අධ්‍යාපනයට දොරගුළු විවර කෙරුණි. ඒ හෙළයේ මුඳුන් මල් කඩක් බඳුවූ අපේ හෙළ වෙදකම සුරකින ආයූර්වේද, දේශීය හා පාරම්පරික වෙදකම තවත් ශක්තිමත් කරමින් ලංකාවේ ප්‍රථම දේශීය වෛද්‍ය විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විද්‍යාලය, අභිනව විශ්වවිද්‍යාලයක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතියට එක්වීමය. ඒ අනුව මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය 16 ක් දක්වා පුළුල් වෙයි. දේශිය හා හෙළ වෙදකම සුරුකීම සඳහා සෞභ්‍යගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ලබා දුන් පොරොන්දුවක් ඒ අයුරින්ම ඉටු කිරීම වස් මේ සත්කාර්යය මුල පිරුණි.

රාජගිරිය ප්‍රධාන මාර්ගය අසල පිහිටි දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වර්තමානයේ කොළඹ සරසවියේ පීඨයකි. එය ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය ලෙස ආරම්භ කළේ 1929 දී රාජගිරියේ ඔබේසේකර පරපුරේ ඉඩමකය. සර් ඩී.බී. ජයතිලක ඇතුළු විද්වතුන් පිරිසක් එහි සමාරම්භකයන් විය. පෞද්ගලික හේතූන් නිසා ඉන් සති කිහිපයකට පසු පණ්ඩිත වික්‍රමාරච්චි විසින්ද ගම්පහ යක්කල සිය පෞද්ගලික ඉඩමක ශ්‍රී ලංකා සිද්ධායුර්වේද විද්‍යාලය නමින් විද්‍යාලයක්ද පිහිටුවන ලදී. ශිෂ්‍යයන් 20ක් සමඟ ආරම්භ වූ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය එදා සිට අද දක්වා නොයෙකුත් හිමිකාරිත්ව හා නාමකරණ යටතේ ක්‍රියාත්මක වූ අතර 1951 ජූලි 13 වැනිදා අංක 10270 දරන ගැසට් පත්‍රය මඟින් ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය නම් වූ මෙම ආයතනය ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ අධ්‍යන කටයුතු කරන ශිල්පායතනයක් බවට පත්විය. පනස් හයේ බිහිවූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ එක් යෝජනාවක් වූයේ ස්වදේශීය වෛද්‍යවරුන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතු බවය. එහෙයින් 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ වූ ප්‍රතිපාදන අනුව යමින් මෙය රජයේ ආධාර ලැබීමට යෝග්‍ය ආයතනයක් බවට පත්විය. 1982 වසරේදි මෙය රජයට පවරා ගත්තේ 1982 අංක 30 දරන ගැසට් පත්‍රයට අනුවය. එතැන් පටන් මෙම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විය.

සරසවිය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසක්ද එක්වූ අයුරු

ජවිපෙ 2 වැනි කැරැල්ලේ පරාජයෙන් පසු වසර 1990 දී නැවත ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ කරන විට සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාල පිරී පැවතුණේ ඔත්තුකරුවන් ගෙනි. අවමඟුල් දැන්වීමක් ඇලවීමට පවා පරිපාලනයෙන් අවසර ගතයුතු තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. අන්තරේ කැඳවුම්කරු වශයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ සිවුවන වසරේ සිසු අතුල සේනාරත්න සහ සරත් විජේවර්ධනගේ මැදිහත් වීමෙන් 1990 අගෝස්තු මාසය වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නැවත පණ ගන්වනු ලැබීය. අධ්‍යාපනික ගැටලු පිළිබදව දේශීය වෛද්‍ය පීඨ අරගලය 1991දී ජයග්‍රහණය වීමෙන් සහ යක්කල ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ඒමේ 1993දී ඇරඹූ සටන ජයග්‍රාහීව කෙළවර වීමෙන් පසු අළු දූවිලි මතින් ශිෂ්‍ය ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්විය.

ආයුර්වේද උපාධිය හැදැරිමේ පාඨමාලා කාලය වසර 6 ක් වූවද පළමු කණ්ඩායම ලෙස 1983 දී එක්වූ සිසුන්ගේ පාඨමාලා කාලය නිමාවූයේ 1992 දීය. දේශීය වෛද්‍ය සටන සහ ජවිපෙ 2 වැනි කැරලි සමයේදී සරසවි කඩින් කඩ වසා දැමිම නිසා ප්‍රථම කණ්ඩායමට උපාධිය ලබාගැනීම සඳහා වසර 9 ක කාලයක් ගත වූවද ආයුර්වේද පීඨයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා පසු කලෙක ඉවහල් වූයේද වර්තමානයේ රාජගිරියේ සහ ගම්පහ යක්කල ආයුර්වේද උපාධි අපේක්ෂකයන්ට විධිමත් පහසුකම් හිමිවූයේද එම ඓතිහාසික සටනේ ජයග්‍රාහී ප්‍රතිඵලයන් වශයෙනි. 1995 මාර්තු මස 1 වැනිදා සිට මෙය ගම්හ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය නමින් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් බවට පත්වීම මෙහි ඉතිහාසයේ සුවිශේෂි යුගයක් විය. එතැන් සිට අද දක්වාම ‘ගම්පහ වික්‍රමාරච්චි දේශිය වෛද්‍ය විද්‍යාලයක් ‘ බවට පත් වූ මෙම ආයතනය වසර 92 ට පසු ඉතිහාසයේ 16 වැනි ජාතික විශ්වවිද්‍යාලය බවට පත් වූවා පමණක් නොව දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගොඩ නැඟීමට ඇති එකම විශ්වවිද්‍යාලය බවට පත් වන්නේය.

මෙය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව මුල්වරට පැමිණ ඇත්තේ 2014 වසරේදියි. වත්මන් උපකුලපතිනිය වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ විසින් කළ ඒ යෝජනාව යොමු වූයේ වත්මන් අගමැති, එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂයන්ටය.

නමුත් රජයන් මාරුවීම් ආදි හේතු සාධක මත එම යෝජනාවලිය ක්‍රියාත්මක නොවූ අතර යළිත් වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂයන් බලයට පත්වීමේදි මේ යෝජනාව යළිත් ඉදිරිපත් වූයේද වත්මන් උපකුලපතිනියගේ මැදිහත් වීමෙනි. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසුව පසුගිය මාර්තු 1 වැනිදා සිට මෙය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එක්විය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගය.

දේශීය වෛද්‍ය විද්‍යා පාඨමාලා අර්බුද විසඳන මෙන් ඉල්ලමින් 90 දශකයේ දී එහි සිසුන් විසින් සිදුකළ අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැති අවස්ථාවක්.

මෙම නව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ ගේ බිරියය. ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල දෙකක එකම අවස්ථාවක ස්වාමිය හා බිරිය උපකුලපති තනතුර දරන මුල්ම අවස්ථාවක් ලෙසද මෙය ඉතිහාසගත වන්නේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායනයේ අධ්‍යක්ෂිකාව බවට පත්වන්නේ 2008 වසරේදිය. එතැන් සිට වසර 6 ක් ඇය සිය කාලය කැප කරන්නේ මෙම විද්‍යායතනය විශ්වවිද්‍යාල මට්ටමට ගෙනෙන පසුබිම සැකසීමටය. අනතුරුව ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ උප සභාපතිනිය වන අතර 2019 වසරේදි එම තනතුරේම හිඳිමින් මෙම විද්‍යායතනයේ නිසි බලධාරිනිය වශයෙන් වැඩ බාර ගන්නේය. නව අධ්‍යාපන අංශ ස්ථාපිත කිරීම, තාක්ෂණය මුල් වූ නව විෂය ධාරාවන් සකස් කිරීම, පශ්චාද් උපාධි අධ්‍යයන ආයතනය පිහිටුවීම, පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීම ඇය විසින් සිදුකළ මෙහෙවරයන්ගෙන් කොටසකි.

“මෙම විද්‍යාලය විශ්වවිද්‍යාල මට්ටමට උසස් වීම අපි සැවොම ලද භාග්‍යයක්. මෙතෙක් මේ ආයුර්වේද විද්‍යාලයෙන් ලබා දුන්නේ ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපාධි පාඨමාලාව පමණයි. පසුගියදා උසස් පෙළට මුහුණ දුන් 2020 වසර සිසුන්ගෙන් අපි අලුත්ම පාඨමාලා 7 කට සිසුන් බඳවා ගන්නවා. මෙතෙක් අපි ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපාධි පාඨමාලාවට සිසුන් වසරකට බඳවා ගත්තේ 176 දෙනෙක් පමණයි. නමුත් ඉදිරියේදි ආරම්භ කිරමට නියමිත දේශීය කෘෂි විද්‍යාව, දේශීය ඹෟෂධ නිශ්පාදනය, යෝග පාඨමාලා, ආයුර්වේද ආයතන කළමනාකරණය හා පරිපාලනය, දේශිය සමාජ විද්‍යාව, සංචාරක වෛද්‍ය විද්‍යාව වැනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය යටතේ ආරම්භ කරන නවතම උපාධි 7 ක් වෙනුවෙන් අලුතින් සිසුන් 350 ක් වසරකට බඳවා ගන්නවා. මේ පාඨමාලා සඳහා කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ වැනි සියලූම විෂය ධාරාවල සිසුන්ට ඉල්ලුම් කළ හැකියි. මේ අනුව මෙම විශ්වවිද්‍යාලය පීඨ 4 කින් හා අධ්‍යයන අංශ 13 කින් සැදුම් ලබනවා. ඒ වගේම මේ සිසුන් අවශ්‍ය සියලු පහසුකම් විධිමත් කරන අතර මෙම විශ්වවිද්‍යාල ඉදිරියේදී පහසුකම් අතින් තවත් පුළුල් වෙනවා.....“ ඒ නව උපකුලපතිනියගේ අදහසයි.

දේශීය අවශ්‍යතාවයන්ට ගැළපෙන උපාධිධාරියකු බිහි කිරීම මෙන්ම ගෝලීය සමාජය ජය ගත හැකි උපාධිධාරිය‍කු බිහිකිරිම මේ නව විශ්වවිද්‍යාලයේ අරමුණ වී ඇත්තේය. දේශීය වෛද්‍ය ක්‍රමයට අයත් පාරම්පරික වෛද්‍යක්‍රම සංරක්ෂණය කිරීම, වෛද්‍යවරුන් ලියාපදිංචිය ක්‍රමවත් කිරිම, දේශීය වෛද්‍ය ක්‍රම නියාමනයට යාන්ත්‍රණයක් සැකසීම, ප්‍රමිතියෙන් ඉහළ ඹෟෂධ නිශ්පාදනයට යොමු වීම මේ යටතේ සිදුවනු ඇතැයි අපේක්ෂිතය.

මෙම නව පෙරළිය හරහා දේශීය වෛද්‍ය විද්‍යාව රැකගැනීම සඳහා විශාල කාර්ය භාරයක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. සාම්ප්‍රදායික ගුලි, කල්ක වෙනුවට නව ඖෂධ හදුන්වාදීමටත්, දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නවීන තාක්ෂණය අනුව දියුණු කිරීමට එහිලා අපේක්ෂිතය. මෙරටට ආවේණික ශාඛ හා බෙහෙත් වර්ග රැකගැනීම වෙනුවෙන් ද මෙම ආයතනය ඉදිරියේදී කටයුතු කරනු ඇත.

 

Comments