පේරා­දෙ­ණිය සරසවිය ලොව හොඳම මුව ආව­ර­ණය නිප­ද­වයි | සිළුමිණ

පේරා­දෙ­ණිය සරසවිය ලොව හොඳම මුව ආව­ර­ණය නිප­ද­වයි

අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන් නව නිපැ­යුම අධී­ක්ෂ­ණය කළ අයුරු.
අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන් නව නිපැ­යුම අධී­ක්ෂ­ණය කළ අයුරු.

මෙතෙක් ලොව බිහිවූ වයිරස් බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව 99.9 % ක් ඇති හොඳම මුඛ ආවරණය නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ ප්‍රමුඛ නව නිපැයුම් අංශයේ කණ්ඩායමක් සමත් වූයේ ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේම අවධානය දිනා දෙමිනි.

සම්පූර්ණයෙන්ම කපු රෙදි භාවිත කරමින් නිපදවා තිබෙන මෙම මුව ආවරණයේ විශේෂතා රැසකි. ඉන් ප්‍රධාන වන්නේ සාමාන්‍ය මුව ආවරණයක් මඟින් කෙරෙන වයිරස් ඇතුළුවීම හා

නව මුව ආව­ර­ණය වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් උප­කු­ල­පති 
මහ­චාර්ය උපුල් දිසා­නා­යක සහ දේශීය රෙදි­පිළි නිෂ්පා­ද­ක ­සං­ග­මයේ සභා­පති හේමන්ත පෙරේරා වෙළෙඳ ගිවි­සුම හුව­මාරු කර­ගත් අයුරු

පිටවීම වැළැක්වීම වෙනුවට මෙමඟින් වයිරස් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමයි. කපු රෙදි භාවිත කර ස්ථර (Layer) තුනක් පවතින සේ නිපදවා තිබෙන මෙම මුව වැස්ම පස් ආකාරයකට කොරෝනා වයිරසය පමණක් නොව ඕනෑම වයිරසයක්, බැක්ටීරියාවක් විනාශ කරන බව පර්යේෂකයෝ පවසති. නැනෝ තාක්ෂණයද බද්ධ කර ගනිමින් නිර්මාණය කළ මෙම නව මුහුණ ආවරණය Respirone Nano AV 99 ලෙස නම්කර තිබේ. එය නිපදවීමට මහචාර්ය ගාමිණී රාජපක්ෂට විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න, චරක ජයසිංහ, රුවන් නානායක්කාර, නිරෝෂන් සමරසිංහ යන පිරිස සහයෝගය ලබාදී තිබේ.

මෙය නිර්මාණය කිරීමට පෙරමුණ ගත් මහචාර්ය ගාමිණී රාජපක්ෂ මේ පිළිබඳව දැක්වූවේ මෙවන් අදහසකි. අපි වසරක පමණ කාලයක් මේ සඳහා පරීක්ෂණ කළා. දැනට ලෝකයේ පොදුවේ භාවිත කරන මුව ආවරණ අතරින් හොඳම එක බවට පිළිගන්නේ එන්-95 කියන මාස්ක් එකයි. එන්-95 මාස්ක් එක හරහා වයිරස් හා බැක්ටීරියා අතුළු නොවීමට තිබෙන්නේ 95% ක ප්‍රතිශතයක්.

 නව මුව ආව­ර­ණය නිර්මා­ණය කළ මහා­චාර්ය ගාමිණී රාජ­පක්ෂ ඇතුළු කණ්ඩා­යම

අපේ නිපැයුම මඟින් එම ආරක්ෂාව 99.9 % ක් ලැබෙන බව සහතික කර තිබෙනවා. මේක අපි ස්ථර තුනකට ඩිසයින් කළා. පිටත, මැද හා ඇතුළත කියලා මේ ස්ථර තුන නම් කළා. පිටත ස්ථරය නෙළුම් කොළයකට ජලය වැටුණම සිදුවන ක්‍රියාවලියට සමානයි. නෙළුම් කොළයේ වතුර හිටින්නේ නෑ වගේ මේ ස්ථරයේ වතුර රැදෙන්නේ නැහැ. වයිරස් එකක් ආවත් මෙතන රැඳෙන්නේ නැහැ. මෙහි ඇතුළත ස්ථරය කපු රෙද්දෙන් නිම කරලා තියෙන නිසා එයට ජල වාෂ්ප උරා ගන්නවා. අනිත් සුවිශේෂිම කාරණය තමයි මේ මුව ආවරණය පරිසර හිතකාමී නිර්මාණයක් වීම. වයිරස් පෙරණ, වයිරස් මරණ, බාහිර ජල වාෂ්ප උරා ගන්නා, පරිසරයට දැමූ පසු ක්ෂුද්‍ර විසින් ජීවීන් ජීර්ණය කරලා දාන මුව ආවරණයක් මෙතෙක් ලෝකයේ කිසිම රටක නිර්මාණය වී නැහැ. අනිත් කාරණය නව මුව ආවරණයේ වයිරස් රැදෙන්නේ නැති නිසා අපි ඒක සාමාන්‍ය පරිසරයට මුදා හැරියත් එහි වයිරස් අඩංගු නොවන බවට සහතික විය හැකියි.

කුමන නිෂ්පාදනයක් කළත් එහි මිල අපේ පර්ස් එකට ගැළපිය යුතුයි. නොඑසේ නම් සිදුවන්නේ ජනතාව එය ප්‍රතික්ෂේප කිරීමයි. මෙම මුව ආවරණයේ තවත් සුවිශේෂත්වයක් තිබේ. එය නම් විසි වතාවක් සේදුවද එහි මුල් ගුණාංග කිසියක් නොනැසී පෙර ආරක්ෂාවම ලැබීමය. සතියකට එක් වතාවක් සේදුවත් මේක සති 20 ක පමණ කාලයක් පාවචිචි කරන්න පුළුවන්. අපි හිතනවා මේක රුපියල් 150.00 කට වඩා අඩු මුදලකට වෙළෙඳ පොළට හඳුන්වාදීමට පුළුවන් වෙයි කියලා. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීම මත අපට අගමැතිවරයා හමුවීමට අවස්ථාව ලැබුණා. අගමැතිතුමා මේ සඳහා රජයේ අනුග්‍රහය ලබාදීමට එකඟ වුණා. මහචාර්ය රාජපක්ෂ පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායකගේ අදහස මෙසේය. කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේ සිටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල්වී නව නිපැයුම් රැසක් බිහි කළා. ෆේස් ෂීල්ඩ් එකේ සිට රෝබෝවරු දක්වා නිර්මාණ කළා. ඇත්තටම මේක සමාජ වගකීමක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා තියෙනවා. මේ මුව ආවරණය එහි නිර්මාණයක්. ලෝකයේ ඕනෑම තැනක තරග කරන්න පුළුවන් ආකාරයට මෙය නිර්මාණය කර තිබෙනවා. රජය මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ඒක නව නිර්මාණ ඉදිරිපත් කරන අයට විශාල ශක්තියක්.

මෙම මුව ආවරණය නිෂ්පාදනයට හා වෙළෙඳ පොළට විධිමත් ලෙස හඳුන්වා දීමට පසුබිම සකසා ඇත්තේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනි. ඉසබෙලා සහ සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති, දේශීය රෙදිපිළි නිෂ්පාදක සංගමයේ සභාපති හේමන්ත පෙරේරා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක යන අය මෙහිදී මෙම නිෂ්පාදන අලෙවිය සඳහා වෙළෙඳ ගිවිසුමකට එළඹීමද මෙහිදී සිදු කෙරුණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ පැවසුවේය. නවෝත්පාදන වල

ආර­ක්ෂිත මුහුණු ආව­ර­ණය

අයිතිය තහවුරු කෙරෙන පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද නොකරන ලෙස බුද්ධිමය දේපොළ පිළිබඳ නිතිමය කාර්යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා. අද පේටනට් අයිතියක් ලබා ගත්තත් එය වාණිජ භාණ්ඩයක් ලෙස දේශීය හා විදේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේදී බාධක මතු වෙනවා. නව නිපැයුම් කරන නිර්මාණකරුවන්ට අවශ්‍ය දේශපාලන සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඔවුන් ඇගයීමට ලක්කර ඉහළට ඔසවා තබන වැඩපිළිවෙළක් අපට තිබුණේ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීමට පැමිණි අවස්ථාවේ දේශීය රෙදිපිළි නිෂ්පාදක සංගමයේ සභාපතිවරයාටත් ඒ සඳහා සහභාගි වන ලෙස මම ආරාධනා කළා. රජයේ මුදල් යොදවා මේ ආකාර නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීම අසීරුයි. ඒ නිසා පෞද්ගලික අංශයේ දායකත්වයත් මේකට ලබා ගත්තා.

නැනෝ තාක්ෂණය බද්ධ කර කපු රෙදි භාවිතයෙන් සියයට සීයක් වයිරස් හරණය කිරීමට හැකි ලෝකයටම ප්‍රයෝජනවත් වන මුව ආවරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් නිපදවීම රටට විශාල ආඩම්බරයක්.

ලොව සියලු ජනතාව මේවන විට කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පලඳිති. භාවිතයෙන් පසු ඔවුන් පරිසරයට මුදා හරින මුව ආවරණ ප්‍රමාණය කෝටි ගණනකි. මෙරට දිනකට එලෙස පරිසරයට මුදා හැරෙන මුව ආවරණ සංඛ්‍යාව ලක්ෂ හයක් බව පරිසර අමාත්‍යාංශය පවසයි. ඉන් ලක්ෂ 05 ක් ශල්‍ය මුව ආවරණය වන අතර ඉතිරි ලක්ෂය එන්-95 මුව ආවරණ වන අතර මේවයින් පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන්නේය.

එවන් පසුබිමක වයිරස් හා බැක්ටීරියා විනාශ කරන පරිසර හිතකාමී මුව ආවරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල්වී නිපදවීම කොවිඩ් වසංගතයෙන් මිදීමට පමණක් නොව පරිසරය සුරැකීම පැත්තෙන්ද අප ලබන ජයග්‍රහණයකි.

 

ඡායාරූපය- මධ්‍යම පළාත් සමූහ   

නිහාල් ජයවර්ධන

 

Comments