උළු වලට පණ දෙන්න ඉවතලන මැටි දෙන්න | Page 2 | සිළුමිණ

උළු වලට පණ දෙන්න ඉවතලන මැටි දෙන්න

වයි­ක්කාල උළු කර්මාන්ත ශාලාවක දසුනක්

 

දිගු ඉතිහාසයකට උරුමකම් කියන උළු කර්මාන්තය පසුගිය යහපාලන සමයේ විනාශ මුඛයට ඇද වැටිණි. මේ වනවිට උළු කර්මාන්ත ශාලා 230ක් පමණ ඇති අතර ඉන් 225ක්ම පෞද්ගලික කර්මාන්ත ශාලා ය. රජයට අයත් කර්මාන්තශාලා ගණන පහකි. වෙන්නප්පුව, කටාන, වයික්කාලේ, දංකොටුව, බංගදෙණිය ආදි ප්‍රදේශවල මෙම උළු කර්මාන්ත ශාලා ස්ථාපනය කර ඇත. උළු කර්මාන්තය මත ඍජු ව හා වක්‍ර ව පවුල් ලක්ෂ 3ක් පමණ යැපෙති. මේ උළු කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳ සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. ජේ. බැප්ටිස් ප්‍රනාන්දු අපට කී කතාවය.

සුනාමියෙන් වෙරළාශ්‍රිත නිවාස බොහොමයක් විනාශ වී ගිය අතර, එහිදී මතු වූ සෙවිලි අවශ්‍යතාව සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම අවැසි විය. ඒ අනුව එවක පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයට මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වූ අතර, මෙම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඇස්බැස්ටෝස් නිෂ්පාදකයන් දිරි ගැන්විය යුතු යැයි යෝජනා විය. ඒ අනුව ඇස්බැස්ටෝස් කෙඳි ආනයනය සඳහා පණවා තිබූ තීරු බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරිණ. ඒ වන විටත් රටේ උළු කර්මාන්ත ශාලා 400 පමණ ක්‍රියාත්මක තලයේ පැවති අතර, රටේ සෙවිලි අවශ්‍යතාවෙන් සම්පූර්ණයෙන් ම පියවීමේ හැකියාවක් මේ කර්මාන්ත ශාලා සතු විය. ඒවනවිට මෙරට දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 4 හැර දිස්ත්‍රික්ක 18 කම සෙවිලි අවශ්‍යතාව සම්පූර්ණ කළේ දේශීය උළු කර්මාන්තයයි. ඒ රටේ 60% ආසන්න ප්‍රමාණයක් සෙවිලි අවශ්‍යතාව සපුරාලමිනි.

ඇස්බැස්ටෝස් කෙඳි ආනයනය සඳහා පනවා තිබූ තීරු බදු ඉවත් කිරීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ ඉන් ප්‍රයෝජන ගත් ඇස්බැස්ටෝස් කර්මාන්ත ශාලා හිමියන් අසීමිතව ඇස්බැස්ටෝස් කෙඳි රැස් කළේය. එමඟින් ඔවුන් අධික ලාභයක් ඉපයීය.

ඇත්තෙන්ම ඇස්බැස්ටෝස් කෙඳි ආනයනය සඳහා පනවා තිබූ තීරු බද්ද ඉවත් කිරීම මඟින් රජය බලාපොරොත්තු වූයේ පරිභෝගිකයන්ට සහනදායි මිලකට සෙවිලි තහඩු ලැබේවි යැයි කියාය. එහෙත් බලාපොරොත්තු වූ ආකාරයෙන් මිල පහළ දැමීමක් සිදු නොවුණු අතර, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඇස්බැස්ටෝස් හිමියන් තමන් සුතු වූ අධික ධනයෙන් විවිධ වෙළෙඳ ප්‍රචාර හරහා පාරිභෝගිකයන් තමන් වෙත ආකර්ෂණය කර ගත්තේය. මීට අමතරව විවිධ සන්තෝසම් ලබාදෙමින් වඩු බාස්ලා, මේසන් බාස්ලා පමණක් නොව අලෙවිකරන ඒජන්තවරුන් පවා වෙනත් රටවල සංචාරයට අවස්ථාව සලසා දීම මඟින් අල්ලා ගත්තේය. මින් දේශීය උළු වලට තිබූ ඉල්ලුම පහළ ගිය අතර,උළු කර්මාන්තයද ක්‍රමයෙන් කඩා වැටීමට පටන් ගත්තේය. මෙහි කනගාටුදායක තත්ත්වය වන්නේ 2004 වසරේ හදිසි අවස්ථාවක් යටතේ ඉවත් කළ තීරුබදු සහනය මේ වනතෙක්ම පැවතීමයි. මෙනිසා දිනෙන්දින මෙහි බලපෑම උළු කර්මාන්තයට දැනෙන්නට විය. එදා සිට අද දක්වා මේ සම්බන්ධයේ පැවති සෑම රජයක්ම දැනුම්වත් කළ ද ඊට විසඳුම් නොලැබුණි.

මෙලෙස පණ ඇදෙමින් තිබුණු උළු කර්මාන්තයට නැවත නඟා සිටු වූයේ එවකට ජනපති මහින්ද රාජපක්‍ෂයන්ය. හෙතෙම තම රජය හරහා උළු මිලදී ගෙන නිවාස නැති සමෘද්ධිලාභීන්ට බෙදා දීමට කටයුතු කළේය. උළු කර්මාන්තකරුවන් මහින්ද රාජපක්ෂයන් හමුවී තම ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේ ම ක්ෂණිකව ඊට පිළියම් යෙදීමට හෙතෙම කටයුතු කළේ ඒ අයුරිනි. 2012 වසරේදී එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් සමඟ උළු නිෂ්පාකයන්ගේ සංගමය කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් දැයට කිරුළ, දිවි නැඟුම වැඩසටහන, රජයේ නිවාස ව්‍යාපෘතිව ආදිය සඳහා දේශීය උළු යොදාගැනීමට තීරණය කළ නිසා කර්මාන්තකරුවන්ට හොඳ කලක් උදා විය. යුද්ධය අවසාන් වීමෙන් අනතුරුව උතුර, නැගෙනහිර නිවාස ව්‍යාපෘතිවලට ද උළු තොග පිටින් මිලදී ගත් අතර, කෙටිකාලයක් තුළ වැසීගිය උළු මෝල් පවා නැවත වැඩ ආරම්භ කළේය. යටතේ දේශීය උළුවලට හොඳ ඉල්ලුමක් ඇති විය. මින් කර්මාන්තය හිමියන්ට මෙන්ම සේවකයන්ටද හොඳ කලක් උදා විය.

නමුත් 2015 දී යහපාලන රජය පැමිණීමත් සමඟ ඒ සියල්ල උඩුයටිකුරු විය. යහපාලන රජය 2015දී බලය ලබා ගත්තද උළු මෝල හිමියන් බිය නොවූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දී දේශීය කර්මාන්ත දියුණු කරන්නට කැපවන බව පොරොන්දු වූ නිසාය. එසේම උළු කර්මාන්තය දියුණු කරන්න විශාල වැඩ කොටසක් කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිවාස ඇමැතිවරයා වීමත් නිසාය.

ඒ ඔහු තම පියාගේ අඩිපාරේ යමින් එතුමා විසින් ගෙන ගිය උදාගම් සංකල්පය යාවත්කාලීන කර තවත් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂාව ඇතිවය. නමුත් උදා වූයේ උළු මෝල් හිමියන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකි. ඔහු උළු වෙනුවට විදේශීය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩුවලට මුල්තැන දුන්නේය. ඒ විතරක් නොව සිය නිවාස ව්‍යාපෘති සඳහා අවස්ථාව හිමිකර දුන්නේ ද ඇස්බැස්ටෝස්වලටය. මින් නිවාස සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් සුදුසු බව රජය අනියමින් ප්‍රචාරයක් ලබා දුන්නේය. මේ හේතුවෙන් සාමාන්‍ය පුරවැසියන්ද ඇස්බැස්ටෝස් සෙවිලි සඳහා යොමු වූ අතර, උළු සඳහා තිබූ ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටුණි. මැටි කැපීමද තහනම් කළ අතර උළු කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දුන්නේය.

මැටිකැපීම සඳහා පැවති බලපත්‍ර ක්‍රමය යාවත්කාලීන කළ අතර, එය ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය. මීට ප්‍රථම බලපත්‍රයක්‌ අනුමත කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට යෑම ප්‍රමාණවත් වූ නමුත් යහපාලන රජය යටතේ හඳුන්වා දුන් නව නීති හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පරිසර අධිකාරිය ආදී සෑම ආයතනයකින්ම අනුමැතිය ගැනීම අවැසි විය. මෙලෙස බලපත්‍රය අනුමත වී පැමිණෙන විට මාස හයක් හෝ හතක් ගත වී තිබිණ. එය කඩිනම් කර ගැනීමට නම් අල්ලස් ලබාදිය යුතු තත්ත්වයක් ද උදා විය. එහෙත් හොර මැටි ජාවරමට මේ කිසිවක් වලංගු නොවුණි.

මෙලෙස දේශීය උළු කර්මාන්තයට දැක්වූ අඩු සැලකිල්ල හේතුවෙන් 2015ට ප්‍රථම මිලියන 30ක් පමණ තම කර්මාන්ත ශාලා වෙනුවෙන් ආයෝජනය කළ උළුමෝල් හිමියන් ඉතා අසරණ අඩියකය ඇද වැටිණ. සේවකයන්ට පඩිනඩි ගෙවමින් තම කර්මාන්තය කරගෙන යා නොහැකිව වසා දැම්මේය. මේ ආකාරයට උළු මෝල් සීයක් පමණ වැසී ගියේය.

එසේ වුවත් මහින්ද රාජපක්ෂ රජය සහ වත්මන් ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ අපට මේ පිළිබඳව ලොකු ගැටලුවක් ඇති නොවූයේ ඔවුන් රජය මඟින් දියත් කළ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය උළු යොදා ගැනීමට කටයුතු කිරීම නිසාය.

එහෙත් ළදරු කිරිපිටි සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දේ සඳහා අයකරන තීරුබද්ද ඇස්බැස්ටෝස් කෙඳිමත පැනවීමට නොහැකි මන්දැයි ප්‍රශ්නයක් මතුවේ. පරිසරයට අහිතකර, සෞඛ්‍යට අහිතකර දේශීය විනිමය පිටරට වලට ඇදීයන කර්මාන්තයකට තීරුබදු සහනයක් සලසා දීම වැරදි ආදර්ශයකි. ඊට තීරුබදු පැනවිය යුතුය. එවිට ඔවුන් අසීමිතව රැගෙනවිත් ගබඩා කර ඇති ඇස්බැස්ටෝස් කෙඳි භාවිතයට ගෙන ඒවා ආනයනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගනු ඇත. මෙමඟින් රජයට ද අමතර ආදායමක් උපයා ගත හැකි අතර දේශීය විනිමය විදේශගත වීම වැළකී යයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ සංකල්පයක් මත කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු ආරම්භ කර ඇත. මෙහිදී වැව්වලින් ඉවත් කරන රොන් මඩවල මුල කොටස කාබනික පොහොර නිෂ්පාදනය සඳහාත්, ඉතිරි කොටස උළු කර්මාන්තය සඳහාත් ලබා දීම මට කටයුතු කරන්නේනම් මැනවි.

ඒ වගේම රජයේ වේගවත් සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදි කෙරෙන අධිවේගී මාර්ග සැකසීමේදී කුඹුරු ඉඩම්වල කුලුනු ඉදිකිරීමෙදී ඉවත් වන වෙල්මැටි මේ කර්මාන්තය සඳහා ඉතාම යෝග්‍ය වේ. මේ සඳහා ඉඩම් හා වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ උළු කර්මාන්ත කරුවන් අතර කිසියම් සම්බන්ධයක් ඇති කළ හැකි නම් රජයට අමතර ආදායමක් ද උපයා ගත හැකි බව අපේ මතයයි.

 

Comments