අඹු සැමි ගැටුමට මැදිව මාස 9 දරුවා කෝටුමස් වූ හැටි | Page 3 | සිළුමිණ

අඹු සැමි ගැටුමට මැදිව මාස 9 දරුවා කෝටුමස් වූ හැටි

කනිස්ටලා ළමයාට පහර දෙන ආකාරය වීඩියෝවේ දිස්වූ අයුරු.
කනිස්ටලා ළමයාට පහර දෙන ආකාරය වීඩියෝවේ දිස්වූ අයුරු.

සුගිය දිනවල සමාජ මාධ්‍ය කලඹමින් වීඩියෝවක් සැරිසරනු දක්නට විය. තත්පර 26ක කාලයක් පුරා දිවෙන එම වීඩියෝවෙන් පෙනෙන්නට වූයේ තරුණ කාන්තාවක විසින් නිවෙසේ සාලයේ සිටින කුඩා බිලිඳකුට කෝටුවකින් අමානුෂික ලෙස පහර දෙමින් බිලිඳාගේ අතකින් ඇද උස්සාගෙන කාමරයකට ගෙන ගොස් නැවතත් කෝටුවෙන්ද පහර දී පාදයෙන්ද පහර දෙන ආකාරයයි.

එම පහර දීමට කුඩා බිලිඳා මරහඬ දෙන්නෙ පහර දීමේ ක්‍රෑරත්වය මොනවට පසක් කරමිනි.

එසේම එය නෙත ගැටෙන ඕනෑම කෙනෙකුට ‘අනේ අපොයි‘ කියැවෙන්නෙ නිතැතිනි. එලෙස සතුරකුගේ දරුවකුටවත් පහර නොදිය යුතු බව සිත්පිත් ඇත්තන්ට නම් සිතෙන බව නම් සැබෑය.

පොලිස් කොස්තාපල් ශිවන්ති ඇතුළු නිලධාරිනියන් පහර කෑමට ලක්වූ බිලිඳා අස්වසාලමින් සිටි අවස්ථාව

මේ පිළිබඳව විමර්ශනයක් සිදුකළ පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලැබුණේ යාපනය පොලිස් වසමේ නිවෙසක කාන්තාවක් මෙකී පහර දීම සිදුකර ඇති බවයි.

එලෙස පොලිසිය සමාජ මාධ්‍යයේ සැරිසරන විඩියෝව පිළිබඳව විමර්ශන සිදුකරමින් සිටියදී යාපනය පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබී තිබුණේ අරියාලෙයි ප්‍රදේශයේ ප්‍රදීපන් නමැති තරුණයෙකුගෙනි. ඒ පසුගිය දෙවැනිදා පෙරවරු 7.30ට පමණය.

“සර්... වීඩියෝවේ දරුවට පහර දෙන ගෑනු කෙනා ඉන්නෙ වෙල්ලන්කණ්ණි... මාතා කෝවිල් පාරේ නිවෙසක...“

ප්‍රදීපන්ගෙන් ලැබුණු හෝඩුවාවට සැණින් ක්‍රියාත්මක වූ යාපනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් යාපනය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක සේන බණ්ඩාර ප්‍රමුඛ කණ්ඩායමක් අදාළ නිවෙස සොයා ගොස් හිත්පිත් නොමැති කාන්තාව අත්අඩංගුවට ගත්තෙ දෙවැනිදා පෙරවරුවේමය. යාපනය පොලිසියට එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට යාපනය ළමා රක්ෂක අධිකාරියේ නිලධාරිහුද මනා සහායක් ලබා දුන්හ.

බිලිඳාට පහරදීම නිසා අත්අඩංගුවට පත්වූයේ ජොන්ස්ටන් කනිස්ටලා නමැති 24 හැවිරිදි දමිළ කතකි. ඇය 2018 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යයට ගොස් සිටි තැනැත්තියකි.

එලෙස කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයෙහි නිරතව සිටියදී ඇයට ෆේස්බුක් හරහා මුණ ගැසුණේ ඉන්දීය ජාතික මුස්ලිම් තරුණයකු වන අබ්දුල්ය. දෙදෙනා අතර කාලයක් යද්දී ප්‍රේම සබඳතාවක් හටගෙන තිබුණේය. එම ප්‍රේම සබඳතාව කෙළවර වී තිබුණේ දෙදෙනා එරටදීම විවාහ වීමෙනි.

එම විවාහයෙන් ඇයට 2020 ජුනි 07 වැනිදා මෙලොව එළිය දුටුවේ අබ්දුල් සාම් නමැති බිලිඳායි.

සැකකාරිය කනිස්ටලා පොලිස් අත්අඩංගුවට පත්වෙමින් 

කොවිඩ් වසංගතයත් සමඟ එරට තුළ සිරවී සිටි කනිස්ටලා බිලිඳා සමඟ පසුගිය ජනවාරියේ මෙරටට පැමිණියාය. ඇගේ සැමියා අබ්දුල් ඉන්දියාවට ගොස් ඇත.

ත්‍රිකුණාමලයේ කාන්තාවක වුවත් කනිස්ටලා කුවේට් සිට පැමිණියේ වෙල්ලන්කණ්ණිහි නිවෙසටයි. ඒ, වෙනත් අයකුට අයත් එම නිවෙස සහ භූමිය රැකබලාගෙන එහි කනිස්ටලාගේ පියා විසූ හෙයිනි. ඇය අටමස් වියැති බිලිඳාට අමානුෂික ලෙස පහර දුන්නෙ එම නිවෙසේ සිටියදියි.

කනිස්ටලා දැරියට පහර දීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු හෙළි වී ඇත්තෙ සිය සැමියා දෛනික වියදම් සඳහා මුදල් එවීම සිදු නොකළ හෙයින් ඇතිවූ මානසික පීඩනයත් සමඟ වූ කෝපය නිසාවෙන් තම බිළිඳාට පහර දුන් බවයි. එසේම ඇය හිතුමනාපෙට විදේශ රටකදී විවාහයක් කරගත් හෙයින් දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන්ද ඇයට නිතර නෝක්කාඩු කියූ බවත් ඉන් ඇය තව තවත් පීඩනයට ලක්ව සිටි බවත් එයද තම බිලිඳාට එලෙස පහර දීමට හේතු වූ බවයි. අවස්ථා කීපයකදීම එසේ බිළිඳාට අමානුෂික ලෙස පහර දී ඇති බවත් එලෙස කනිස්ටලා පසුගිය දිනෙක පහර දෙන මොහොතකදී ඇයගේ මල්ලි විසින් වීඩියෝ කර තිබිණි.

එලෙස මල්ලි රූගත කළ වීඩියෝව ඔහු විසින් යවා තිබුණේ කනිස්ටලාගේ නැඟණියගේ දුරකථනයටයි. ඇය එම වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණාය.

එසේම වාර්තා වන්නේ එම වීඩියෝව කනිස්ටලාගේ මල්ලි විසින් ඇයගේ ස්වාමියා අබ්දුල්ටද යවා ඇති බවයි. එම වීඩියෝ පටය දුටු අබ්දුල් දරුවාට පහර නොදෙන ලෙසත් තමන් ලබන අගෝස්තුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් දන්වා ඇති බවයි.

බිලිඳාට පහර දීම නිසාවෙන් අත්අඩංගුවට පත් කනිස්ටලා ළමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බිලිඳා සමඟ පරිවාස බාරයට පත්කෙරිණි.

අනතුරුව පරිවාස බාරයට යටත්ව දෙදෙනාම යාපනය රෝහලට ඇතුළත් කෙරිණි. එහිදී කනිස්ටලා මානසික රෝගයකින් පෙළෙනවාද යන්නත් බිලිඳා වෛද්‍ය පරීක්ෂණයකටද ලක්කෙරිණි.

මෙලෙස ක්‍රෑර ලෙස දරුවන්ට වැඩිහිටියන්ට පහර දුන් වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සෙ බලධරයන්ගේ ඇස ගැටීම නිසාවෙන් පසුගිය කාලයේ බොහොමයක් දෙනෙකු අත්අඩංගුවට පත්විණි.

ඒ අනුව ඉකුත් දිනෙක ගම්පොළ ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවකට පහර දුන් ගුරුවරියක්ද අත්අඩංගුවට පත්වූවාය.

තවද කොටවෙහෙර පොලිස් වසමෙන්ද මීට කලෙකට පමණ පෙරදී කාන්තාවන් දෙදෙනෙකු විසින් ක්‍රිකට් පිත්තකින් බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සැරිසැරීමත් සමඟ එම කාන්තාවන් දෙපළද අත්අඩංගුවට පත්වූවාය.

මෙවන් ආකාරයට දරුදැරියන් ක්‍රෑර වධ බන්ධනවලට ලක්වීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ,

“ළමයින් ක්‍රෑරත්වයට, හිංසනයට පත්කිරීම, පහර දීම, දරුවන්ගේ දෙමාපියන් විසින්ම දරුවන් හිංසනයට පත්කිරීමේ යම් ප්‍රවණතාවක් මෙරට තුළ දක්නට ලැබෙනවා. එවැනි ක්‍රියාවලට එරෙහිව පොලිසිය විසින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නවා. එම නිසා මෙලෙස වයස මාස අටක් වැනි කුඩා බිලිඳකුට පහර දුන් කාන්තාවට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

මල් වැනි චූටි දරු පැටවුන්ට සිය වැදූ මව විසින්ම අමානුෂික ලෙස පහර දෙන්නෙ කුමන හිතකින්ද යන්න අපට අසන්නට තිබෙන එකම පැනයයි.

Comments