විශ්වය දිනූ යූරි පිළි­ගත් වීර මැගි­ලින් | සිළුමිණ

විශ්වය දිනූ යූරි පිළි­ගත් වීර මැගි­ලින්

ඡායා­රූපය - ගයාන් පුෂ්පික

ගමේ මැගිලින් 'වීර මැගිලින්' කර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නට පදනම දැමුවේ ලේක්හවුසියේ ජනතා පත්තරයයි

 

මම වාහනේ නැගලා එනකොට පාර දෙපැත්තෙ කට්ටිය “අන්න වීර මැගිලින් යනවා“ කියලා කෑ ගහන්න ගත්තා

 

 

 

මැගිලින් අම්මා අප එන පෙරමඟ බලාගෙන උන්නාය. පාදුක්ක හොරණ පාරේ හොරගස් හන්දියෙන් හැරී රබර් වතු මැදින් දිවෙන තල්ගහවත්ත පටු මඟ ඔස්සේ ඇගේ නිවහනට ළඟා වනවිටත් ඇය ආලින්දයේ සිටියේ මඟ දෙස නෙත් යොමාගෙනය.

 

වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්... කලක් නම කී සැණින් රටම දැනඋන් ඒ වීර මාතාව පිළිබඳ මතකය අද බොහෝ අයගේ මතකයෙන් ගිලිහී ගොස්ය.

“ඇත්තටම පුතේ කවුද මං ගැන කිව්වෙ. කොහොමද මාව හොයා ගත්තෙ.“ මැගිලින් අම්මා මුලින් ඇසුවේ ඒ කතාවය. “අම්මා හිතන්නෙ අම්මා ගැන මේ රටට මතක නෑ කියල ද?“ පෙරළා විමසන විට ඇය ගේ බොර පැහැති නෙත් දීප්තියෙන් බබළනු දුටුවෙමි.

අවුරුදු 14 දී ජීවිත 12ක් බේරාගෙන වීර මාතා පදක්කමින් පිදුම් ලැබූ මේ වීර කාන්තාවගේ මානුෂික වටිනාකම අමතක නොවන සේ ඉතිහාසයට එකතු කර තිබිණි. ඒ වටිනාකම ඇයට ප්‍රදානය කරන්නේ එවකට අගැමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක ය. අභ්‍යාවකාශය ට ගමන් කළ ලොව පළමු වීර මිනිසා, රුසියානු ජනරජයේ මහා වීරයා, යුරී ගගාරින් තමන්ගේ ආරාධනාවක් මත ලංකාවට පැමිණි මොහොතේ ඔහුව පිළිගන්නට එවකට අගමැතිනිය විසින් තෝරා ගන්නේ එවකට 14 හැවිරිදි මැගිලින්ය. චන්ද්‍රිකා හා සුනේත්‍රා ද ඇයට සමාන වයස්වල පසුවූවෝය. “වීරයෙක් පිළිගන්නට අප ඉදිරිපත් කරන්නෙ වීරවරියක්.“ ඇගේ කැබිනට් මණ්ඩලයට ඇය කියා තිබිණි.

ඉතිහාස කතාවක පුරාවෘත්තයක් වූ ඇය දැන් මා දෙනෙත් අබියසය. බොර පැහැ ගැනුණ දෙනෙතේ රැඳි සෘජු බැල්මත්, සිහින් සිනාවක් සමඟ මුහුණේ රැඳෙන සිරියාවත් ඇගෙන් වියැකී නැති බව දුටුවෙමි.

“ ඔය සිද්ධිය වෙන්නෙ මගේ පුතේ 1961 අවුරුද්දේ ජූලි 07. මට අවුරුදු 14යි. මගෙ ගම දියගම තෝරමුල්ල. හෝමාගමට තමයි අයිති. ඒ දවස්වල මේවා මහා රබර් වතු.“

“දියගම ඔය හින්දා ගම දෙකට බෙදිලා තිබුණෙ. ඉස්කෝලෙයි පන්සලයි තිබුණෙ ඔයෙන් එගොඩ. අපි එගොඩ මෙගොඩ ගියේ ඔය හරහා දාලා තිබුණු පොල් කොටන් දෙකක් තියන ඒදණ්ඩකින්.“

“ඒ දවස්වල හොඳටම වැස්ස. ඔයේ වතුර හොඳටම පිරිලා. අපි දොළොස් දෙනෙක් විතර වෙනදා විදිහටම පෝලිමට ඒදණ්ඩෙ නැගලා එනවා ඔයෙන් එගොඩ වෙන්න. මගෙ දෙයියනේ ! එදා ඔය මැද්දට එද්දි එකපාරටම ඒදණ්ඩ කැඩිලා කට්ටියම ඔයට වැටුණා.“

 

හිටපු අගමැතිනිය විසින් වීරපදක්කම පැලඳ වූ අයුරු

 

“මට පීනන්න පුළුවන්. වැටෙනවත් එක්කම මම පීනලා ඉවුරට ඇවිත් රබර් මුලක් අල්ලගනිද්දි මට පේනවා අපේ කට්ටිය වතුරෙ ගිලි ගිලී උඩට එනවා. මම ඔය මැදට පීනලා දෙන්නා දෙන්නා අරන් කොණ්ඩවලින් ඇදගෙන ඉවුරට ගෙනාවා. හය දෙනෙක් ගේනකොට ඒ දණ්ඩෙ ඉතිරි කෑල්ල කැඩිලා මගෙ කකුලට වැටුණා. “

“දැන් මට හෙල්ලෙන්න බෑ. මම කළේ අනික් අයටත් කියලා පුළුවන් තරම් හයියෙන් කෑ ගහන්න ගත්තා. අහල පහලක ගෙයක් නැති වුණාට මගෙ කෑ ගැහිල්ල ඇහිලා ඈතින් යන්න ආපු දෙන්නෙක් දුවගෙන ආවා. ඇවිත් අපිව ගොඩට ගත්තා. ඒ අතරෙ සැඩ පහරට ගහගෙන ගිය අනික් අයත් වාසනාවට වගේ ඉවුරුවලට කිට්ටු වෙලා රබර් මුල් අල්ලගෙන හිටියෙ. කාටවත් කරදරයක් විපතක් වුණේ නෑ.“

“ අම්මට මේ සිද්ධියත් එක්ක ගමේ ඇත්තන්ගෙන් හොඳ පිළිගැනීමක් ලැබුණද ..?“ මගේ පැනයට ඇය මුවපුරා සිනාසුණාය.

“ අනේ පුතේ... අපේ ගම්වල ඇත්තන්ට මේවා ඉතින් එහෙමටම අරුමත් නෙමෙයි. ඒත් ගමේ මැනේජර් මහත්තයා මුල් වෙලා මේ සිද්ධිය ජනතා පත්තරේට යොමු කළා. සිද්ධිය වාර්තා වුණාම ඒ ගැන ගමෙයි රටෙයි අවධානය යොමු වුණා. 1961 අවුරුද්දෙ වීර පදක්කම හම්බ වුණේ ඒකෙ ප්‍රතිඵලයක් විදිහට.“

ලේක්හවුසියේ ජනතා පත්තරය ගමේ මැගිලින් වීර මැගිලින් කර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නට පදනම දමා තිබුණේය.

ඒ වීර පදක්කම ඇය ලබා ගන්නේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අතිනි. ගමට එවූ බස් එකකින් අරලියගහ මන්දිරයේ තිබූ උත්සවයට ගොස් සම්මානත් ලබා කොළඹත් දැක බලාගෙන නිවෙසට පැමිණි මැගිලින් සුපුරුදු පරිදිම ඒදණ්ඩෙන් එගොඩ වී ඉස්කෝලෙත් ගියාය.

ඒ අවුරුද්දේ දෙසැම්බර් 07 වැනිදා අභ්‍යාවකාශය දිනූ ලොව පළමු මිනිසා, රුසියානු ජාතික යූරි ගගාරින්, ශ්‍රී ලංකා අගමැතිනියගේ ආරාධනාව පිට ලංකාවට ආවේය. ගගාරින් පිළිගන්නට සුදුස්සෙක් ගැන කතා කරන විට වීර මැගිලින් ගේ නමද යෝජනා විය. වීර ගගාරින් පිළිගන්නට අපේ වීර යෞවනිය වූ මැගිලින් තෝරා ගැනීම යහපත් බව අගමැතිනියත් පිළිගත්තාය. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබිණි.

“ ගගාරින් මැතිතුමා පිළිගන්න උත්සවයට සහභාගී වෙන්න ආයෙත් අපේ ගමට වාහනයක් එව්වා. වාහනේ අම්මයි තාත්තායි මමයි තුන් දෙනාම ගියා.“

“ගගාරින් මැතිතුමා පිළිගන්න කටයුත්ත ලෑස්ති වෙලා තිබුණෙ රත්මලාන ගුවන්තොටුපළේ. මම එතෙන්ට ගිහින් ගුවන් යානයෙන් බැහැලා එන ගගාරින් මහත්තයයි, එතුමගෙ මැතිනියයි පිළිගත්තා. එතුමා බොහොම ප්‍රතාපවත් උස රතු මනුස්සයෙක් .“

“ පස්සේ එතුමයි මැතිනියයි එක වාහනය නැගලා රජ ගෙදරට ගියා. මම තව වාහනයක නැගලා රජගෙදරට ආවා. මටම පුදුමයි. මම වාහනේ නැගලා එනකොට පාර දෙපැත්තෙ කට්ටිය ගගාරින් මැතිතුමා ගැන වගේම මගෙ ගැනත් අවධානයෙන් හිටියෙ. ඒ ඇත්තො කෑ ගහන්න ගත්තා අන්න වීර මැගිලින් යනවා“ කියලා.

යූරි ගගාරින් පිළිගනිමින්

ඇය කියන්නී සිනාසෙමිනි. ගගාරින් පිළිගෙන ගමට පැමිණි ඇයව අගමැතිනිය අමතක කළේ නැත. මැගිලින්ට අවශ්‍ය දේ ඇය විමසා සිටියාය.

“ මේ ගැන අහනකොට තාත්තා කිව්වෙ දරුවට ඉගෙන ගන්න හොඳ ඉස්කෝලයක් දෙන්න කියලා. මට හම්බවුණා පිලියන්දල සෙන්ට්‍රල් එක. එතකොට අධ්‍යාපන ඇමති බදියුදීන් මොහොමඩ්. තාත්ත එතුම හම්බවෙලා ඉල්ලීමක් කළා කොළඹ ඉස්කෝලයක් දුවට දෙන්න කියලා. අධ්‍යාපන ඇමතිතුමා මට කොළඹ විශාඛා විද්‍යාලය හදලා දුන්නා. නේවාසිකාගරයෙ නවතින්න අවස්ථාවත් හදලා දුන්නා. සාමාන්‍යපෙළ දක්වා මම විශාඛා විද්‍යාලයෙ ඉගෙන ගත්තා.“

මැගිලින් අම්මාගේ තාත්තා ජීවිතය හැර යන්නේ මේ අතරය. අම්මාට පවුලේ වගකීම තනිව දරා ගන්නට ඉඩ නොදී මැගිලින් තරුණිය විශාඛාවෙන් ඉවත් වී ගෙදර පැමිණ මැලිබන් කොම්පැනියේ වැඩට ගියාය.

“ අවුරුදු 25ක් වැඩ කළා. නංගිලා දෙන්න බන්ඳලා දුන්නා. ඊට පස්සෙ තමයි මම විවාහ වුණේ.“ ඇය සිනාවෙමින් මා දෙස බැලුවාය. මැගිලින් අම්මලා ඒදණ්ඩෙන් එගොඩ වූ තැන අද තරමක පාලමකි. පාලම ‘වීර මැගිලින්‘ නමින් නම් කර තිබේ. මැගිලින් අම්මා මේ වනවිට සිය මුනුපුරු මිනිබිරියන් සමඟ නිස්කාංසුවේ පැහැසර ජීවිතයක් ගෙවමින් හිඳී. වීර මැගිලින් අයිති අතීතයටය. මැගිලින් අම්මා නම් කියන්නේ වීරයන් නිර්මාණය වන්නේ විශාල හිත් ඇති මිනිසුන් අතර බවය.

Comments