මඟට බැස්සේ මිනිස්සු වෙනු­වෙන් | සිළුමිණ

මඟට බැස්සේ මිනිස්සු වෙනු­වෙන්

ලොව හොඳම සෞඛ්‍ය සේවා නිල­ධා­රිනිය වූ  ලලිතා පද්මිණී

පත්වීම භාර ගෙන වැඩට ගිය මුල්ම දවසේ ලැබූ අත්දැකීම් තවමත් හදවත කම්පා කරනවා.

ගැහැනියකගේ අසීමිත කරුණාව, කැපවීම සමඟ මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවිතය බෙදා ගත හැකි තරම පිළිබඳ වරෙක ජීවමාන ලෝක ආදර්ශය වුණේ ඇයයි.

 

2010 වර්ෂයේ ආසියා ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙස සම්මාන ලැබූ ඇය සෞඛ්‍ය සේවයේ නිලධාරියකුට ලෝකයේ ලැබිය හැකි ඉහළම සම්මානය වූ ලොව හොඳම සෞඛ්‍ය සේවා නිලධාරී සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ඒ 2011 වර්ෂයේ දී.

 

ඇය ලලිතා පද්මිණී. ආරම්භයේ සිට ඇය සේවය කළේ මහවැලි බී කලාපයේ අති දුෂ්කර ප්‍රදේශවල. ලෝක සම්භාවනාවට ලක් වන්නේ රාජකාරිය පසෙකලා ජීවිතය පරදුවට තබමින් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඇය කළ සේවයට. ඇය තවමත් ඒ පරිසරයෙන් මිදී නැහැ. මේ වන විට අරලගංවිල ග්‍රාමීය රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇයයි.

ලලිතා ලෝක සම්භාවනාවට පත් වී දස වසරක් ගිය තැන ඇය දකින්නට අප කොළඹින් ඈත අරලගංවිල ග්‍රාමීය රෝහල අසල ඇති ඇගේ නිවහන වෙත ගියේ ඇගේ ජීවිත අත්දැකීම මේ මොහොතේත් අපේ සමාජයට වටිනාකමක් එක් කරන නිසා...

“ මගේ තාත්තා මාතර,.. අම්මා බද්දේගම. මම ඉපදුණෙත් බද්දේගම. මහවැලි ඉඩම්ලාභීන් විදිහට අපි 1983 අරලගංවිල යාය හයට එනවා. එදා ඉඳන් මම පොලොන්නරුවේ. මම මුලික අධ්‍යාපනය ලැබුවේ අරලගංවිල ලීලාරත්න විජේසිංහ විදුහලෙන්. හතේ පන්තියේදී මම පොලොන්නරුව රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වූ නිසා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළා. තාත්තා පුංචි කාලේ ඉඳන් මට කිව්වේ “සුදු හාමිනේ දොස්තර නෝනා කෙනෙක් වෙන්න“ කියලා. මගේ හිතෙත් එය ගැඹුරින්ම තැම්පත් වුණා.“

“ උසස් පෙළ විභාගය කළේ අසූවෙ දශයක් ආපු භීෂණ කාලෙදි. අපේ ගම් පළාත්වල තිබුණ තත්ත්වය එක්ක අධ්‍යාපනය මේ තරම්වත් කරගත්තු එක ගැන තියෙන්නෙ සතුටක්. වෛද්‍ය වරියක වීමේ සිහිනය සැබෑ කර ගන්න බැරි වුණා. මම හෙද නිලධාරිනි තනතුරට අයදුම් කළා. නමුත් කැඳවීමක් කළේ නැහැ.“

“ඊට පස්සේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී තනතුරට අයදුම් කළා. ඒ තනතුරට මාව තේරුණා. පුහුණුව අවසන් කරලා පත්වීම ලැබුණේ දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට.“

“පත්වීම භාර ගෙන වැඩට ගිය මුල්ම දවසේ ලබපු අත්දැකීම් තවමත් හදවත කම්පා කරනවා. එදා නෙළුම්වැව මහවැලි ගම්මානයට කොටි පැනලා. මුළු ගමම කපලා. බඩ දරු අම්මලාගේ බඩවල් පළලා දරුවෝ එළියට අරගෙන. තව පුංචි දරුවෝ වී ගෝනි ඇතුළේ දාලා හුස්ම හිර කරලා. වැලි කන්ද රෝහල එදා මළ මිනීවලින් පිරිලා. “

“ඒ වගේම තමයි තොප්පිගල හිටිය කොටි කප්පම් ගන්න අරලගංවිල වැලිකන්ද පැත්තට එනවා. මම නිල ඇඳුම ඇදගෙන පා පැදියෙන් යනකොට ඔවුන් කීප සැරයක් හමුවෙලා තිබෙනවා. නමුත් මට කරදරයක් කළේ නැහැ. මම අනාරක්ෂිතව ක්ෂේත්‍රයේ යන බව දන්න මගේ තාත්තා මට රැකියාවෙන් ඉවත් වෙන්න කියලා කීප අවස්ථාවකදී කිව්වා. නමුත් මම ඒ අදහසට එකඟ වුණේ නැහැ. මගේ කොට්ඨාසයේ මිනිස්සු මම යනතුරු මඟ බලාගෙන ඉන්නවා. ඒ අයගේ දුක සැප බලන්න යන එයාලට සමීපතම රාජ්‍ය නිලධාරිනිය මමයි. ඉතිං ඒ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් මම මැරුණත් සේවය කරනවා කියලා මම වැඩට ගියා.“

“සමහර දවස්වලට පැදගෙන යන පා පැදිය ඉදිරියට එන අම්මලා බිම පෙරළිලා අඬනවා. අඬන්නේ ඇයි කියලා බලකොට ඊට කලින් දවසේ රෑ එයාගේ මහත්තයා වෙලේ පැලේ ඉන්නකොට කොටි ගහලා මරලා. ඒ අම්මලාගේ දුක් විලාප අහන මටත් ඇඬෙනවා.“ යුද්ධය නිසා බිඳ වැටුණු ආර්ථිකයත් එක්ක දරුවන්ගේ හා මවුවරුන්ගේ පෝෂණයත් මුළුමනින්ම බිඳ වැටී තිබුණා. ඒ මවුවරුන් හා දරුවන් වෙනුවෙන් ඇය විශේෂ වැඩ සටහනක් දියත් කළා. ලලිතා ඒ අතීත මතකයකට ගියා.

“ ඒක විශේෂ වැඩක්... ගැබිනි මවුවරු ඉන්න ගෙවල් කීපයක් එකතු කරලා මම පුංචි මවුහවුලක් හැදුවා. එයාලා උයන ආහාර බෙදා හදා ගෙන කන්න පුරුදු කළා. ඉන් හැම අම්මා කෙනකුටම සමබල ආහාර වේලක් ලැබුණා. ඒ වගේම පුංචි දරුවෝ ඉන්න ගෙවල්වල මවුවරු අතර ඒ වගේ සංගම් හැදුවා. මේ ආහාර පුරුද්ද ඒ අය අතරේ සමගිය ඇති කළා. දරුවෝ නිසි පෝෂණ තත්ත්වයෙන් වැඩුණා.“

“මම ඒ කරන හැම ව්‍යාපෘතියක්ම ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ සිදු කළා. හැම දෙයකම වාර්තා තියා ගත්තා. සමහර දවස්වලට මම ක්ෂේත්‍රයට යනකොට වල් අලි පාර පුරාම. නමුත් ඒ කිසිම සතකුගෙන් මට හිරිහැරයක් වුණේ නැහැ.“

ඇය රාජකාරි කළේ යුද්ධය එක්ක අතිශයින්ම විකෘති වී ගිය සමාජ පරිසරයක. දරිද්‍රතාව නිසා උපන් දුගී බවේ සංස්කෘතිය ගම් දනවු බිලි ගනිමින් තිබුණා. ළමා විවාහ වැඩි වුණා. විවාහ වෙච්චි ළමයි අවුරුදු 20 වෙනතුරු දරුවෙක් හදන්න නොදී රැක බලා ගැනීමේ වගකීම පැවරුණෙත් ඇයට. ඒ සමඟ වේගයෙන් මත්ද්‍රව්‍ය පැතිරිලා ගියා. පවුල් බිඳ වැටෙමින් තිබුණා. ඒ සමාජ ව්‍යසනයෙන් ගැමියන් බේරා ගන්න ඇය දියත් කළ ප්‍රායෝගික වැඩසටහන් සාර්ථක වුණා සේම ඉහළ නිලධාරීන්ගේ ඇගැයිමට හා ප්‍රජාවගෙ ගෞරවයට ලක් වුණා. මේ පරිසරය තුළ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇයව ආසියා ශාන්තිකර කලාපයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය තෝරා ගැනීමේ තරගයට ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ.

“ ඒ අවසාන තරගය තිබුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී. එහිදී ආසියා ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙස මාව තේරුණා. ඊට පස්සේ අමාත්‍යාංශයේ අංශ කීපයකින් ඇවිත් මාව අධීක්ෂණය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නියෝජිතයෙක් ඇවිත් මාව අධීක්ෂණය කරලා ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරී තේරීමේ තරගයට නිර්දේශ කළා.“

“ ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවකයා ලෙස අවසන් වටයට ඇමරිකාවේ හෙද නිලධාරිනියක්, තවත් රටවල් කීපයක වෛද්‍යවරු මගෙත් එක්ක තරගයට හිටියා. මම ජයග්‍රහණය කළා. “

ජාත්‍යාන්තර සම්මාන දිනාගෙන එන ලලිතා පද්මිණි එදා කටුනායක ගුවන් තොටුපළේ දි පිළිගන්නෙ රතු පලස මතින්. කොළඹ ඉඳන් පොලොන්නරුවට එනකම් ඇයව පිළිගන්න උත්සව තිබ්බා. පොලොන්නරුවට ආවට පස්සෙ ජාතික උත්සවයක් පොලොන්නරුව රෝහලේ පැවැත්වුණා.

ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරිනිය වූ ඇය එම සම්මානය දිනාගෙන මවු රටට ඇවිත් දැන් අවුරුදු 10ක්... තවමත් ඇය අරලගංවිල ග්‍රාමීය රෝහලේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියයි. දැන් යුද්ධය ඉවරයි. එහෙත් තවමත් ඒ ගම්මාවල තිබෙන සමාජ ආර්ථික ගැටලු තිබුණු තැනමයි.

“ මා තවමත් දකිනවා ළමා මවුවරු,... මම තවමත් දකිනවා මත්ද්‍රව්‍ය උවදුර පැතිරිලා යන අයුරු... අපට මීට වඩා වැඩ කොටසක් මේ සමාජෙට කරන්න පුළුවන්. අපේ තරුණ පරම්පාරාව මීට වඩා මිනිස්සුන්ට සමීප විය යුතුයි... අලුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට මඟ පෙන්වන්න අවස්ථාව ලැබුණොත් මීට වඩා යහපත් සෞඛ්‍ය සම්පන්න සමාජයක් හදා ගන්න පුළුවන්.“ ඇය බලාපොරොත්තු සහගතව පැවසුවා.

 

Comments