ගැහැ­නි­ය­කගේ ධෛර්ය හා විශ්වා­සයේ තරම ලොවටම කී මොන­රා­ගල කළු කෙල්ල | සිළුමිණ

ගැහැ­නි­ය­කගේ ධෛර්ය හා විශ්වා­සයේ තරම ලොවටම කී මොන­රා­ගල කළු කෙල්ල

පැරා ඔලි­ම්පික් නියෝ­ජ­නය කළ පළමු ලාංකේය ක්‍රීඩි­කාව  අමරා ඉන්දු­මතී

අතක් නැති මම ජුකී මැෂින්වල මැහුවා. මවුපියන්ට බරක් නොවීම මට ලොකු සතුටක් වුණා.

 

රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ 400m දිවිමෙන් ලොව පස්වෙනියා වූයේ ඉන්දුමතී ය.

 

අමරා ඉන්දුමතී ඉපදුණේ උපතින්ම අතක් අහිමි කෙල්ලක් ලෙසය. ඒ කෙල්ල අද ලෝකයම දන්නා මේ රටේ ආඩම්බරකාර බලාපොරොත්තුවය. ආත්ම විශ්වාසය හා ධෛර්යය ඇති ගැහැනියකට යා හැකි දුර සම්බන්ධව ලෝක ආදර්ශයක් වී ඇති මේ ගැහැනියට ජාත්‍යන්තර කාන්තා දින අතිරේකයේ ඉඩ හරස විවර වෙන්නේ මෙලෙසිනි.

 

මොනරාගල පොල්ගහගම ග්‍රාමයේ සහෝදරියන් තිදෙනකුට සහ සහෝදරයකුට මැදිව උපන් අමරා ඉන්දුමති කරුණාතිලකය සිප්සතර හදාරන්නේ මොනරාගල මාරිඅරාව විද්‍යාලයෙන්ය. උපතින්ම අතක් අහිමව හැදී වැඩෙන ඇය ලංකාව නියෝජනය කරමින් පළමු වතාවට පැරා ඔලිම්පික් තරගයක් නියෝජනය කළ ක්‍රීඩිකාවය.

මෙතෙක් පැමිණි දුර්ග මඟ අවසානයේ දී ලෝකය දිනා ගත් ආකාරය ගැන ඇය සිය මතකය අවදි කළේ මෙසේය.

“මගේ අත අහිමි වුණේ උපතින්මයි. පොඩි කාලේ මට ඒක දැනුණේ නැතත් පාසල් ඇවිත් සමාජය එක්ක ගැටෙනකොට මම කඩා වැටුණු අවස්ථා ඕන තරම් තිබුණා. මිනිස්සු මම දිහා නැවත නැවත හැරිලා බැලුවා. ඒක මට දරාගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ගොඩක් දවස්වල මම තනියම ඇඬුවා. ඒත් මගෙ තාත්තා මට පුදුම ශක්තියක් දුන්නා ජීවිතය දරාගන්න. ඔහු අතක් නොමැති වීම ජීවිතය ජයගන්න බාධාවක් නෙමෙයි කියලා හැම වෙලාවෙම මට කියලා දුන්නා. ඔවුන් මාව සාමාන්‍ය ජීවිතයට හුරු කළා.

අම්මටයි තාත්තාටයි ස්ථීර රැකියාවක් තිබුණේ නැහැ. මට හිටියේ අක්කයි නංගිලා දෙන්නයි මල්ලියි. තාත්තයි අම්මයි උක්ගස් කපලා තමයි අපිව ජීවත් කළේ. ආර්ථික අපහසුකම් ගොඩක් මැද්දේ අපි හැදුණේ. මමත් පාසල් ගිහින් ඇවිත් අම්මාටයි තාත්තාටයි උදවු කරන්න උක්ගස් මිටි බඳින්න යනවා.“

“මම පාසල් කාලෙදි ජවන හා පිටිය තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ අත් කරන් තිබුණත් අපේ ආර්ථික අපහසුකම් එක්ක මට ඕන වුණේ රැකියාවක් කරන්න.“

අතක් අහිමි තමන්ට කිසිවෙක් රැකියාවක් නොදෙනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් ඇය බලාපොරොත්තු දල්වාගෙන සිටියාය. ඒ බලාපොරොත්තුවට අලෝකයක් වැටුණේ මෙසේය.

“ ඔය අතරතුරේ තමයි ප්‍රේමදාස දිසානායක සර් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ආවේ ආබාධිත අයට රැකියා ලබාදෙන්න රැස්වීමක් තියන්න. එදා මමත් ඒ රැස්වීමට ගියා. එතුමා එදා මගෙන් කතා කරලා ඇහුවා කොළඹට එන්න කැමැතිද දිගටම ක්‍රීඩා කරන්න කැමැතිද කියලා. මම එදා සර්ට කිව්වා පිං සිද්ධ වෙයි මට රස්සාවක් දෙන්න කියලා. රස්සාවට එන්න කියලා ලිපිය ආවේ ඊට සති දෙකකට පස්සෙ. මගේ ඉහේ මලක් පිපුණා වගේ. “

“ මම කොළඹ ඇවිත් රිහැබ් ලංකා ආයතනයට බැඳුණා. මාස හයක් මහන්න පුරුදු වුණා. අතක් නැති මම ජුකී මැෂින්වල මැහුවා. ටාගට් කවර් කළා. අම්මට තාත්තාට බරක් නොවී මට රස්සාවක් කරන්න ලැබුණා කියන එක මට ලොකු සතුටක් වුණා.“

ඇයට මලල ක්‍රීඩිකාවක් ලෙස දිගු ගමනකට දොරගුළු හැරෙන්නට ගත්තේද එතැන් සිටය

“ ප්‍රේමදාස සර් මට කිව්වා ආබාධිත අයට වෙනම තරගාවලි තියෙනවා. ඔයාගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කරගන්න පුහුණුවීම් ලෑස්ති කරලා දෙන්නම් කියලා. මට පුහුණුවීම්වලට යන්න එන්න ආයතනයෙන් දවසකට පැය තුනක් දුන්නා. මට පඩියකුත් හම්බුණා.“

ඉන්දුමති පළමුවෙන්ම සහභාගී වූයේ 2004 පැවැති පැරා නැෂනල් තරගාවලියටය. එහිදි තරග තුනකදීම පළමුවැනියා ඇය විය. ඇය ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වුයේ 2006 වර්ෂයේදීය. ඒ වසරේ ආසියානු චැම්පියන්ෂිප් තරගයේදි මීටර 100 දිවීමෙන් ලෝකඩ පදක්කමක් ලංකාවට දිනා දෙන්නට ඇයට හැකියාව ලැබුණි. එය ඇගේ ලැබුණු පළමු අන්තර්ජාතික පදක්කම විය. එතැන් සිට ඇය මොනරාගලින් බිහි වූ 'කළු කෙල්ල' යන ආදරණීය ආමන්ත්‍රණයටද හිමිකම් කීවාය.

ඇගෙ ක්‍රීඩා ගමනට අත්වැල් සැපයූ රිහැබ් ලංකා ආයතනය 2008 වර්ෂයේදී වැසී ගියේය. එහෙත් ඇයට තවත් දොරක් විවෘත විය.

“ රිහැබ් ලංකා ආයතනය වැහුණට පස්සේ ප්‍රේමදාස සර් මට කිව්වා මාව ස්ලිම්ලයින් ආයතනයට දාලා දෙන්නම් කියලා. එතුමා මට කිව්වා ක්‍රීඩාව නතර කරන්න එපා කියලා. මාව ස්ලිම්ලයින් ආයතනයට බඳවා ගත්තා. කලින් මම වැඩ කළේ මම වගේම ආබාධිත අය එක්ක. හැබැයි ස්ලිම්ලයින් ආයතනයේදී වෙනස් පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණා.. ඔවුන් මාව ආබාධිතයි කියලා හිතුවේ නැහැ. “

ඇය 2012 වර්ෂයේ මැලේසියාවේ පැවැති පැරා තේරීම් තරගාවලියට එක් වූවාය. එහිදි 100m, 200m, 400m දිවිම තරගවලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට ඇය සමත් විය. එතෙක් පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට ලංකාවෙන් අවස්ථාව හිමිවී තිබුණේ ක්‍රීඩකයන්ට පමණකි. ප්‍රථම වරට පැරා ඔලිම්පික් තරගයකට සහභාගි වීමට ක්‍රීඩිකාවකට අවස්ථාව ලැබුණි. ඒ අවස්ථාව හිමි වුයේ ඉන්දුමතීටය.

“ 2012 පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණත් මට අවසන් වටයට එන්න ලැබුණේ නැහැ. එදා මම හිතුවා කවදාහරි මම පැරා ඔලිම්පික් ජය ගන්නවා කියලා. මට මතකයි පැරා ඔලිම්පික් තරගයට ගිහින් ආවට පස්සේ මං ගැන ලියපු පළවෙනි පුවත්පත් ලිපිය අරගෙන තාත්තා ගම වටේම ගියා.“

එතැන් සිට ඇය ජාත්‍යාන්තර පදක්කම් රැසකට හිමිකම් කීවාය. 2014 පැවැත්වුණ ආසියානු ක්‍රීඩා තරගාවලියේදි මීටර 200 ලෝකඩ පදක්ක දුර පැනීමෙන් රිදී පදක්කම 2016 පැවැත්වූ ඒෂියා ඕෂනියා තරගාවලියෙන් දිනූ රන් පදක්කම් 02 සහ රිදී පදක්කම, 2016 චීනයේ පැවැත්වුණ ග්‍රෑන්ෆික්ස් තරගාවලියේ දුර පැනීමෙන් ලෝකඩ පදක්කම, 2016 ප්‍රංශයේ පැවැත්වුණ IDM පැරා චැම්පියන්ෂිප් තරගයෙන් රිදී සහ ලෝකඩ පදක්ක ඇය දිනා ගත්තාය.

රියෝ පැරා ඔලිම්පික් තරගයේදි 400m දිවිමෙන් ලෝකයේම පස්වෙනියා වීම ඇය පැරා ඔලිම්පික් තරගාවලියක ලැබූ ආසන්න විශිෂ්ටත්වය ය. ලංකාවේ දක්ෂතම ආබාධිත ක්‍රීඩිකාව ලෙස ඇය ජනාධිපති සම්මාන ත්‍රිත්වයකින් සම්මානිත වූවාය.

අමරා ඉන්දුමතී ඩී.එම් .සමරසේකර සමඟ යුගදිවි ඇරඹුවේ 2019 වර්ෂයේදීය. පියාගෙන් ලැබූ රැකවරණය සේම රැකවරණයක් දැන් ඇයට ලැබෙන්නේ සැමියාගෙනි.

“මගේ සැමියා හොඳ බොක්සින් ක්‍රීඩකයෙක්. දැන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඔහු උතුම් මනුෂ්‍යයෙක්. මම හරිම වාසනාවන්තයි කියලා මට දැනෙනවා.“

මේ වසරේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගීවීමෙන් අනතුරුව ඉන්දුමති ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිතය. ඒ මවක් වන සිහිනය සැබෑ කරගැනීමේ අපේක්ෂාවෙනි. අවසාන වශයෙන් අපට ඇය ගැන මෙසේ ලියා තබන්නට සිතේ...

ගැහැනියකගේ ධෛර්ය මොනතරම් විශාල දැයි යමෙක් ප්‍රශ්න කළොත් අමරා ඉන්දුමතීව පෙන්වන්න. ඇය ගැහැනියකගේ ධෛර්යයේ හා දරාගැනීම ප්‍රමාණය පිළිබඳ අපේ කාලයේ ආදර්ශය ය.

 

Comments